6. සුද්ධික සූත්‍ර වර්ණනාව
සවැනි සූත්‍රය ද එසේමය. අවබෝධ කරන්නාගේ අදහස අනුව දෙසන ලදී.
සවැනි සූත්‍රයයි.
7. ගද්දුලබද්ධ සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - “යං මහා සමුද්දො” යනු යම් සමයක සූර්යයන් පස්දෙනෙකු පහළවූ කල්හි (නැගීසිටිවිට) මහමුහුද වියලේ යනුයි. “දුක්ඛස්ස අන්තකිරියං” යනු චතුරාර්ය සත්‍යය අවබෝධ නොකර, අවිද්‍යාවෙන් වසාගන්නා ලද්දේම සසර පවතින දුකෙහි අවසන් කිරීම, ක්‍ෂය කිරීම නොදෙසමි. “සාගද්දූලබද්ධො” යනු දම්වලින් බැඳි සුනඛයා යනුයි. “ඛීලෙ” යනු පොළවෙහි තලා මට්ටම් කළ මහා හුලකය. “ථම්භෙ” යනු හාරා තබන ලද, සිටවූ ටැඹෙහිය. “එවමෙව ඛො” යන මෙහි සුනඛයා මෙන් සසර පවතින සංසාරික වූ බාල පුහුදුන් පුද්ගලයාත් දම්වැල මෙන් දෘෂ්ටියත් (වැරදි පිළිගැනීම්) ටැඹ කණුව මෙන් සත්කාය දෘෂ්ටියත් (සිය කය සාර වශයෙන් ගැනීමත් දතයුතුයි. දම්වැලින් ටැඹෙහි බඳින ලද සුනඛයාගේ ටැඹ වටා දිවීම පමණක් වීම මෙන් දෘෂ්ටි තණ්හාවෙන් කය සාර වශයෙන් ගෙන බැඳුණු පුහුදුන් පුද්ගලයාගේ සිය ශරීරය වටා දිවීම දතයුතුයි.
සත්වන සූත්‍රයයි.
8. දුතිය ගද්දුලබද්ධ සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ “තස්මා” යනු යම්හෙයකින් දෘෂ්ටි නම් දම්වැල නිසා තණ්හාව නම් රැහැනින් තම ශරීරය සාර වශයෙන් ගැනීම නම් ටැඹෙහි බඳිනා ලදුයේ, සසර පවත්නා බාල පුහුදුන් පුද්ගලයා සෑම ඉරියව්වකම ස්කන්‍ධ පංචකය නිසාම පවතියි. යම් හෙයකින් බොහෝ කාලයක පටන් මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටු වූයේද එහෙයිනි. “චිත්ත සංකි ලෙසා” යනු මනාසේ නාගත් සත්ත්‍වයෝ සිත කිලිටි වීමෙන්ම කිලුටට පත්වෙති යනුයි. අශුචි සහිත ශරීරයක් ඇති පුද්ගලයාගේ සිත පිරිසිදු නම් ඔහු පිරිසිදු සත්ත්‍වයෙකි. එනිසා පැරැන්නෝ මෙසේ කීහ.
“මහර්ෂීන් වහන්සේ බුදුපියාණන් වහන්සේ ශරීරය කිලුටුකල්හි මානවයෝ කිලුටුවෙන බවත් ශරීරය පිරිසිදු කළ කල්හි පිරිසිදු වන බවත් නොදෙසූහ.”
“මහර්ෂීන් වහන්සේ මානවයෝ සිත කිලුටු වනවිට, කිලුටට පත්වන බවත් සිත පිරිසිදු වනවිට සත්ත්‍වයෝද පිරිසිදු බවට පත්වන බවත් වදාළහ.”
“මරණ නාම චිත්තං” යනු බ්‍රාහ්මණ, පාසාණ්ඩාදීන්ගේ සිත විවරණ චිත්ත” (සසර හැසිරෙන සිත) නම් වේ. ඔවුහු වස්ත්‍ර කොටුවක් සාදාගෙන, එහි නානාප්‍රකාර වූ සුගති දුගති වශයෙන් සැපසම්පත් හා විපත් පිළිබඳව ලියවා - “මේ කර්මය කොට මෙහි උපදියි.” “මේ ක්‍රියාව කොට මෙහි උපදියි” ආදී වශයෙන් දක්වමින් ඒ සිත ගෙන හැසිරෙති. “චිත්තෙනෙව චිත්තිතං” යනු විසිතුරු ආකාරයෙන් සිතා කරන ලද බැවින් සිතින්ම විසිතුරු කරන ලද යනුයි. “චිත්තඤ්ඤෙව චිත්තතරං” යනු ඒ සිතේ උපාය පර්යේෂණ සිත ඊටද වඩා විසිතුරුය යනුයි. “තිරච්ඡානගතා පාණා චිත්තෙනෙව චිත්තිතා” යනු කර්ම චිත්තයෙන්ම විසිතුරු කරන ලද යනුයි. ඒ කර්ම චිත්තය වනාහී මේ වටු-තිත්වටු ආදීන්ගේ “මෙසේ සිත් වන්නෙමු”යි උත්සාහ කිරීමක් නම් නැත. කර්මය විසින් සත්ත්වයා නියමිත යෝනියට පමුණුවයි. ඔවුන් චිත්තභාවයන් ඉන්පසු එම යෝනිය මුල් කරගෙන පවතී. යෝනියට සපැමිණි ඒ සත්ත්‍වයෝ ඒ ඒ යෝනියටම ගැලපෙන සිත් ඇත්තෝ වෙති. මෙසේ යෝනියෙන් සිදුකරන චිත්ත ස්වභාවය දතයුතුයි. කර්මයෙන් යෝනිය තීරණය කරන ලදැයි දතයුතුයි.
තවද මේ සිත නම් සහජාත වූවකි. එක්ම උපන් ධර්ම චිත්තතාවයෙනුත්, භූමි චිත්තතාවයෙනුත්, වස්තු චිත්තතාවයෙනුත්, ද්වාර චිත්තතාවයෙනුත්, ආරම්මණ චිත්තතාවයෙනුත් කර්මය නානාවිධ වේ. කර්මයේ නානාවිධ භාවයෙන් කර්මය නානාකාර බව මුල් වූ ලිංග නානාවිධ බව, සංඥා නානාවිධ බව, ව්‍යවහාර නානාවිධ බව ආදී වශයෙන් අනේකවිධ වූ චිත්තයෝ නිෂ්පාදනය කිරීම් වශයෙන් තිරිසන් ගතවුවන්ගේ ද සිතින් සිත විසිතුරුම වේ යැයි දතයුතුයි.