9. පාරිලෙය්‍යක සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ “චාරිකං පක්කාමි” යනු කෝසම්බිය නුවර භික්‍ෂූන්ගේ කලහ කාලයේ දී එක්දිනක් බුදුරජාණන් වහන්සේ දීඝිති කෝසල රජුගේ කථාවස්තුව ගෙනහැර දක්වා - “නහි වෙරෙන වේරානි, සම්මන්තීධ කුදාචනං” යන ගාථාවෙන් අවවාද දුන් සේක. එදින රාත්‍රිය ගෙවුණු කල්හි දෙවන දවසෙහිද එම කලහකාරීන්ටම බුදුපියාණෝ එම කථාවම ගෙනහැර දැක්වූහ. එදවසද ඔවුන්ට කලහ කිරීමෙන්ම රාත්‍රිය ගතවිය. තෙවැනි දිනයේදී බුදුහු මේ කථාවම දේශනා කළහ. එවිට එක්තරා භික්‍ෂුවක් මෙසේ කීවේය. “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ අල්ප උත්සාහ ඇතිවන සේක්වා. දිට්ඨධම්මසුඛ විහාරයේ යෙදී වැඩවාසය කරන සේක්වා. අපි මෙසේ කලහ කිරීමෙන්, කෝලාහල කිරීමෙන් විග්‍රහ කිරීමෙන්, විවාද කිරීමෙන් ප්‍රකට වන්නෙමු”යි යනුවෙනි. ශාස්තෲන් වහන්සේ “හාත්පසින් රූප චිත්තයෙන් මඬනා ලද මේ හිස් පුරුෂයෝ, සන්සිඳවීමට, සමාදාන කිරීමට නොහැක. මා දැන් කුමක් කරම්ද? හුදකලාව වාසය කරමි”යි සිතා උදෑසනම සිරුර පිළිදැගුම්කොට, කොසඹෑවෙහි පිඬුපිණිස හැසිර, කිසිවෙකුට නොදන්වා තනිව හුදකලාවම චාරිකාවෙහි පිටත්වූ සේක.
“යස්මිං ආවුසො සමයෙ” යනු මේ තෙරුන්වහන්සේට යම්හෙයකින් අද භාග්‍යවතුන් වහන්සේ එක් භික්‍ෂුවක් සමග වඩින සේක. අද දෙදෙනෙකු සමග, අද සියයක් සමග, අද දහසක් සමග, හුදකලාවම වඩින සේකැ”යි සියලුම භාග්‍යවතුන් වහන්සේගේ හැසිරීම් දන්නා ලදී. ඉතා ප්‍රකටය. ඉතා ප්‍රත්‍යක්‍ෂය. එනිසා මෙසේ වදාළහ.
“අනුපුබ්බෙන” යනු ගම් නියම්ගම් පිළිවෙලින් පිඬු පිණිස වඩින සේක් හුදකලාවම වසන භික්‍ෂුවක් දකිනු කැමති වී බාලකලෝණකාර ග්‍රාමයට වැඩි සේක. එහි භගු තෙරුන් වහන්සේගේ සියලු පසුබත් කාලයේද තුන්යම් රාත්‍රියේද හුදකලා වාසයේ අනුසස් දේශනා කළසේක්, දෙවැනි දිනයේ ඔහු පසුපස කොටගෙන පිඬු පිණිස හැසිර, උන්වහන්සේ එහිම නවත්වා, සමගිව වෙසෙන කුලපුතුන් තිදෙනා දකින්නෙමි” යි ප්‍රාචීන වංස මිගදායට වැඩිසේක. ඔවුන්ට ද මුළු පසුබත් කාලයේත් තුන්යම් රාත්‍රිය මුළුල්ලේත් හුදකලා වාසයේ අනුසස් දේශනා කළසේක. ඔවුහු එහිම නැවැත්වූ උන්වහන්සේ තනිවම පාරිලෙය්‍ය නගරයට අභිමුඛව වැඩ අනුපිළිවෙලින් පාරිලෙය්‍ය නුවරට පැමිණි සේක. එනිසා කියන ලදී. - “අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන පාරිලෙය්‍යනගරං තදවසරි” යැයි කියන ලදී.
“භද්දසාලමූලෙ” යනු පාරිලෙය්‍ය වැසියෝ භාග්‍යවතුන් වහන්සේ දන් දුන්හ. පාරිලෙය්‍ය නුවරට නුදුරෙහි ‘රක්‍ෂිත’ නම් වන ලැහැබක් ඇත. එහි භාග්‍යවතුන් වහන්සේට පන්සලක් කරවා දී, එහි වසනු මැනව’යි ප්‍රතිඥා දී වාසය කරවූහ. එහි භද්‍රසාල යන නම ඇති ප්‍රියජනක-සිත්කලු සල්රුකක් ඇත. භාග්‍යවතුන් වහන්සේ ඒ නගර ඇසුරු කරගෙන ඒ වන ලැහැබෙහි පන්සල සමීපයේ එම රුක්මුලෙහි වැඩවාසය කරන සේක. එනිසා ‘භද්දසාල මූලෙ’ යනුවෙන් කියන ලදී.
මෙසේ තථාගතයන් වහන්සේ වැඩවෙසෙන කල්හි එක්තරා ඇත්නායකයෙක්, ඇතින්නියන්-ඇත් පැටවුන් විසින් ගොදුරු බිමේදී, නානතොටේදී කරදරයට පැමිණියේ; රැළ කෙරෙහි කළකිරි “මට මේ ඇතුන්ගෙන් කවර වැඩක්ද?” යි රැළ අත්හැර මිනිස් පථයට යනුයේ පාරිලෙය්‍ය වනලැහැබෙහි වැඩහුන් බුදුපියාණන් වහන්සේ දැක කළදහසකින් නිවන ලද සන්තාපයක් (තැවීමක්) මෙන් නිවුණු සිතැතිව තථාගතයන් සමීපයේ සිටියේය. ඒ ඇතා එතැන් පටන් ශාස්තෲන් වහන්සේට වත්පිළිවෙත් කරමින් මුව දෝනා පැන් සපයයි. නෑමට දිය ගෙනවුත් දෙයි. දත්මදින උපකරණ ගෙනවිත් දෙයි. පිරිවෙන අමදියි. කැළයෙන් මිහිරි ඵලවැල ගෙනවුත් උන්වහන්සේට දෙයි. බුදුහු ඒවා පරිභෝග කරති.
එක් දිනක් බුදුපියාණන් වහන්සේ මුලු රෑම සක්මන් කර, ගල්තලාවෙහි වැඩහුන්හ. ඇතා ද නුදුරු තැනක සිටියේය. ශාස්තෲන් වහන්සේ පසුපස බලා කිසිවකු නුදුටු සේක. එසේම ඉදිරියෙහිද කිසිවකු නුදුටු සේක. දෙපැත්තෙහිද කිසිවකු නුදුටු සේක. එවිට උන්වහන්සේට “මම ඒකාන්තයෙන් සුවසේ වෙසෙමි. මෙහි කලහ කරන්නෝ නොමැත. එබැවින් සුවසේ වෙසෙමි”යි සිතක් පහළ වූ සේක. ඇතාටද “මවිසින් නැමූ අත්ත අනිකකු නොකයි” ආදි වශයෙන් “මම ද හුදකලාව සැපසේ වසමි. ශාස්තෲන් වහන්සේට වත්පිළිවෙත් කිරීමට ඉඩ ලද්දෙමි”යි යන සිත පහළවිය. බුදුහු තමන්වහන්සේ සිත බලා “මට මෙබඳු සිතක් පහළවිය. ඇතුට කවර සිතක් වේද?”යි විමසා දැන ඔහුගේ සිතද එබඳුම බව දැන “අප දෙදෙන සම සිත් ඇත්තෝය”යි මේ ප්‍රීති වාක්‍යය පහළ කල සේක.
“මේ නගුලිස වැනි දික් දත් ඇති හස්ති නාගයා සමග හුදකලාව වනයේ ඇලී වෙසෙන බුද්ධනාගයන් වහන්සේගේ සිතින් සිත සමාන වේ.”
“අථ ඛො සම්බහුලා භික්ඛු” යනු ඉක්බිති මෙසේ තථාගතයන් වහන්සේ එහි වැඩවසන කල්හි පිටිසර වස් විසූ පන්සීයක් භික්‍ෂූහු “යෙනායස්මා ආනන්‍දො” ශාස්තෲන් වහන්සේ භික්‍ෂු සංඝයා බැහැර කර, කැළයට පිවිසි බැවින් තමාගේ ස්වභාවයෙන් බුදුරදුන් සමීපයට යෑමට අසමත් වූ තෙරවරු ආනන්ද තෙරුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණියහ.