10. පුණ්ණමා සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ “තදහුපොසථෙ” යන්න මුල් පවාරණ සූත්රයෙහි විස්තර කරන ලද්දේම ය. “තදහුපොසථෙ” යන්න මුල් පවාරණ සූත්රයෙහි විස්තර කරන ලද්දේම ය. “කිඤ්චිදෙව දෙසං” කිසියම් කරුණක්ය. “සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකංඛසී” කුමක් නිසා මෙසේ කීසේක්ද? ඒ භික්ෂුවට පන්සීයක් භික්ෂූහු පිරිවර වෙති. ගුරුවරයා සිටගෙන විචාරන කල්හි ඉදින් ඒ භික්ෂූහු වාඩිවී සිටිත් නම් ශාස්තෲන් වහන්සේට ගෞරව කළෝ වෙත්. ගුරුවරයාට, අගෞරව කළෝ වෙත්. ඉදින් සෙසු භික්ෂූහු නැගී සිටියේ නම් ගුරුවරයාට ගෞරව කළෝ වෙත්. ශාස්තෲන් වහන්සේට අගෞරව කළහු වෙත්. මෙසේ වීනම් ඒ භික්ෂූන්ගේ සිත නොයෙක් අතට යන්නේය. දේශනාව පිළිගැනීමට නොහැකි වන්නෝය. එහි හිඳ ප්රශ්නය විචාළ විට ඔවුන්ගේ සිත් එකඟ වේ. දේශනාව මැනවින් පිළිගැනීමට හැකිවන්නේ යැයි දැන බුදුහු මෙසේ වදාළහ. “ඉමෙ නු ඛො භන්තෙ” මේ තෙරුන් වහන්සේ පන්සීයක් භික්ෂූන්ගේ ගුරුවරයා ලෙස සිටිමින් පංචස්කන්ධය පමණවත් නොදන්නේ යැයි නොකිව යුතුයි. ප්රශ්න විචාරන්නහු විසින් මේ පංච උපාදානා ස්කන්ධයෝ ‘අනිකක් නොවේ’ යැයි මෙසේ දැනගෙනම විචාරීමට සුදුසු නොවේ. එනිසා නොදන්නකු මෙන් විචාරයි. උන්වහන්සේගේ අන්තේවාසිකයෝ - “අපගේ ගුරුවරයා ‘ මම දන්නෙමි’ යි නොපවසයි. සර්වඥ ඥානය සමග ගලපමින්ම ප්රශ්න විචාරන්නේ” යැයි ඇසිය යුතු-ඇදහිය යුතු දෙයක් කර සිතන්නාහුයැ”යි නොදන්නකු මෙන් විචාරයි.
“ජන්දමූලතා” යනු තණ්හා-ඡන්ද මූලික වූ යනුයි. “න ඛො භික්ඛු! තඤ්ඤෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා” යනු යම් හෙයකින් ඡන්දරාගය පමණ වූ පංචස්කන්ධය නොවේ. එනිසා මෙය කියන ලදී. යම් හෙයකින් සහජාත ප්රත්යයෙන් හෝ ආරම්මණයෙන් හෝ ස්කන්ධයන්ගෙන් මිදී උපාදානයක් නැත. “තස්මා නපි අඤ්ඤත්ර පඤ්චහි උපාදානක්ඛන්ධෙහි උපාදානං” යනුවෙන් කියන ලදී. තණ්හා සම්ප්රයුක්ත වූ සිත පවතින කල්හි ඒ සිත හටගන්නා රූපය, රූපස්කන්ධයයි. තණ්හාව අත්හැර සෙසු අරූප ධර්ම සතර ස්කන්ධ යැයි සහජාත වුවත් ස්කන්ධයන් හැර උපාදානයක් නම් නැත. උපාදානයේ වනාහී රූපාදියෙහි එක්තරා අරමුණක් කොට උපදින්නා වූ අරමුණින් ද පංචස්කන්ධය අත්හැර උපාදානයක් නම් නැත. “ඡන්දරාග වෙමත්තතා” යනු ඡන්දරාගයේ නානා ස්වභාවයයි. “එවං ඛො භික්ඛු” යනු මෙසේ රූපාරම්මණ වූත් ඡන්දරාගයේ වේදනාදී අන්ය වූ අරමුණක් නොකිරීමෙන් ඡන්දරාගයේ විවිධත්වය වන්නේය යනුයි. “ඛන්ධා ධිවචනං” යනු මේ ස්කන්ධයන්ගේ ප්රඥප්තියයි. (පැනවීමයි) මේ අනුසන්ධිය නොගැටේ. නොගැටුනත් ප්රශ්නය අනුසන්ධි සහිතවය. විසඳුමද අනුසන්ධි හෙවත් ගැලපීම් සහිතවය. මේ තෙරුන් වහන්සේ වනාහී ඒ ඒ භික්ෂූන්ගේ අදහස් අනුව විමසයි. ශාස්තෲන් වහන්සේද ඔවුන්ගේ අදහස් අනුවම එම ප්රශ්න විසඳන සේක. සෙසු පද විස්තර සැමතැන්හි ප්රකටමය.
දසවන සූත්රයයි.
මේ වර්ගයේ එක් එක් සූත්රාවසානයේදී පන්සීය බැගින් භික්ෂූහු රහත් බවට පත් වූහ.
තෙවැනි ඛජ්ජනීය වර්ගයයි.
4. ථෙර වර්ගය
1. ආනන්ද සූත්ර වර්ණනාව
ථෙර වර්ගයේ පළමු සූත්රයේ “මන්තාණි පුත්තො” යනු මන්තාණි නම් බැමිණියගේ පුත්රයාය. “උපාදාය” යනු පැමිණ, අරබයා, සඳහා, නිසා යනුයි. “අස්මීති හොතී” යනු “මම වෙමි”යි මෙසේ පවතින තණ්හා-මාන-දෘෂ්ටි ප්රපංචත්රය වේ. “දහරො” යනු තරුණ වූ යනුයි. “යුවා” යනු යෞවන බවින් යුක්ත වූ යනුයි. “මණ්ඩනක ජාතියො” යනු සැරසෙන ස්වභාවයයි. සැරසීම් ස්වභාවයයි. “මුඛ නිමිත්තං” මුවෙහි පිළිබිඹුවයි. එය වනාහී පිරිසිදු වූ කැටපත් මණ්ඩලයක් මෙන් ප්රකට වේ. කිම එය බලන කල්හි සිය මුහුණ පෙනේද? නැතිනම් වෙනත් අයෙකුගේ මුහුණක් පෙනේද? ඉදින් සිය මුහුණ නම් ඉවතට හැරවී පෙනෙන්නේය. ඉක්බිති අනිකකුගේ වේනම් වර්ණාදියෙන් අසමාන වී පෙනෙන්නේය. එනිසා කැඩපතින් පෙනෙන රුව තමාගේද නොවේ. අනුන්ගේද නොවේ. කැඩපත නිසා සමාන වූම රූපයක් පෙනෙන්නේයැයි කියති. ඉක්බිති යමක් දියෙහි පෙනෙනුයේද ඒ කිනම් කරුණක් නිසාද? මහාභූතයන්ගේ ඉතා පිරිසිදු බව නිසයි. “ධම්මො මෙ අභිසමෙතා” මවිසින් ඥානයෙන් චතුරාර්ය සත්ය ධර්මයන් අවබෝධ කරගෙන “සෝවාන් වූයෙමි”යි කියයි.