8. පිණ්ඩොල්‍ය සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ “කිස්මිඤ්චි දෙව පකරණෙ” යනු කිසියම් කරුණකින්ය. “පණාමෙත්‍වා” යනු බැහැරකර යනුයි. කවර කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූහු බැහැර කළ සේක්ද? එක් ඇතුල් වසක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වස් වැස, පවාරණය කළ සේක් මහත්වූ භික්‍ෂු සමූහයක් පිරිවරාගෙන සැවතෙන් නික්ම ජනපද චාරිකාවෙහි හැසිරෙමින් කපිලවස්තුවට පැමිණ නිග්‍රෝධාරාමයට වැඩම කළ සේක. ශාක්‍ය රජවරු බුදුරදුන් වැඩම කළබව අසා පසුබත් කළ, කැපවූ තෙල්, මීපැණ, උක්පැණි මෙන්ම නොයෙක් සියගණන් පානවර්ග පිරි කත් ද ගෙන්වාගෙන විහාරයට ගොස් සංඝයාට පවරා දී, බුදුරදුන්ට වැඳ - පිළිසඳර කථා කරමින් එකත්පසෙක සිටියහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට මිහිරි ධර්මකථාවක් කරමින් වැඩහුන්හ. එකෙණෙහි ඇතැම් භික්‍ෂූහු සෙනසුන් පනවති. ඇතැම්හු ඇඳ-පුටු පණවති. සාමණේරවරු බැහැර කරවීම් ආදිය කරති. බඳුන් තබන තැන් පැමිණි භික්‍ෂූන්ද ඇත. නොපැමිණි භික්‍ෂූන්ද ඇත. පැමිණි භික්‍ෂූහු, නොපැමිණි භික්‍ෂූන්ට ලැබෙන දේද ගනිමින් “අපට දෙන්න” “අපගේ ආචාර්යවරයාට දෙන්න” “අපගේ උපාධ්‍යායවරයාට දෙන්න” යනුවෙන් පවසමින් මහාශබ්ද පැවැත්වූහ.
ශාස්තෲන් වහන්සේ මේ ශබ්දය අසා තෙරුන් වහන්සේගෙන් විචාළ සේක. “ආනන්දය! මෙසේ මාළු විකුණන තැනක කෙවුලෝ මෙන් මහාශබ්ද-උස් ශබ්ද කරන්නෝ කවරහුද?” යනුවෙනි. තෙරුන්වහන්සේ මේ බව දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ ඒ අසා “ආනන්දය! ආමිස හේතුවෙන් භික්‍ෂූහු මහා ශබ්ද කරති”යි වදාළහ. “එසේය ස්වාමීනි!” “ආනන්දය මෙය සුදුසු දෙයක් නොවේ. ප්‍රතිරූප වූ දෙයක් නොවේ. මවිසින් කල්ප ලක්‍ෂයකට අධික වූ සතර අසංඛෙය්‍ය කාලයක් පාරමී සම්පූර්ණ කරන ලද්දේ සිවුරු ආදී ප්‍රත්‍ය පිණිස නොවේ. මෙම භික්‍ෂූහුද සිවුරු ආදී ප්‍රත්‍ය ලැබීමටම ගිහිගෙයින් නික්ම පැවිදි වූවාහුද නොවෙති. රහත්බව පිණිස පැවිදි වූවාහු අනර්ථය අර්ථය හා සමාන කරති. අසාර වූ දෙය සාරවූවක් හා සමාන කරති. “ආනන්දය! යන්න. ඒ භික්‍ෂූහු නෙරපන්න.”
“පුබ්බණ්හසමයං” යනු දෙවැනි දිනයේ පෙරවරු සමයෙහිය. “බෙලුවලට්ඨිකාය මූලෙ” යනු තරුණ(ලා) බෙලිගස්මුලයි. “පබාළ්හො” යනු බැහැර කරන ලදී යනුයි. “පවාළ්හො” යන පාඨය ද සුදුසුය. එළවා දැමූ යන අර්ථයි. පද දෙකින්ම බැහැර කරන ලද බව කියැවේ. “සියා අඤ්ඤථත්තං” යනු ප්‍රසාදයෙන් අන්‍ය ස්වභාවයකට යෑම හෝ අදහස්වලින් අන්‍ය තත්වයකට යෑම හෝ වන්නේය යනුයි. කෙසේද? සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අපි සැහැල්ලු කරුණක් නිසා එළවා දමන ලදැයි ප්‍රසාදය-ශ්‍රද්ධාව අඩුකර ගැනීම, ප්‍රසාදයෙන් අන්‍ය භාවයකට පත්වීම නම් වේ. තම පැවිදි පිරිකර සහිතවම වෙනත් අන්‍යාගමික ආයතනයකට යෑම භාවයෙන් (අදහස් වලින්) අන්‍ය භාවයකට යෑමකි. “සියා විපරිණාමො” යනු මෙහිදී - “අපි ශාස්තෲන් වහන්සේගේ අදහස් උකහා ගැනීමට සමත් වන්නෙමු” යි සිතා පැවිදි වූයෙමු. එසේ ගැනීමට අපි අසමත් වෙමු. (බුදුරදුන් හා අනුව පැවතීමට අපට නොහැක.) කුමක් නිසා අපි පැවිදිව සිටිමුද?”යි ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කර - ගිහි බවට පත්වීම විපරිණාමයකියි දතයුතුයි.
“වච්ඡස්ස” යනු කිරිබොන වසුපැටවාටයි. “අඤ්ඤථත්තං” යනු මැලවීමෙන් අන්‍ය තත්ත්‍වයකට පත්වූ යනුයි. කිරිබොන වස්සා මව නොදැකීමෙන්-කිරි නොලැබ මැලවේ. කම්පා වේ. වෙවුලයි. “විපරිණාමො” යනු මරණයයි. වසුපැටවා කිරි නොලබා, කිරි පිපාසාවෙන් වියලී වැටී මැරේ.
“බීජානං තරුණානං” යනු ජලයෙන් අනුග්‍රහ කළයුතු වැපිරූ බීජයන්ටය. “අඤ්ඤථත්තං” යනු මැලවෙන ස්වභාවයකට මය. ඒවා ජලය නොලැබ - වියලී වැනසී යයි. පිදුරු බවට පත්වේ. “අග්ගනුහීතො” යනු ආමිෂ අනුග්‍රහයෙන් මෙන්ම ධර්මානුග්‍රහයෙන්ද අනුග්‍රහ කරන ලද්දේ යනුයි. “අනුග්ගණ්හෙය්‍ය” යනු මේ දෙයාකාර වූම අනුග්‍රහයන්ගෙන් අනුග්‍රහ කරන ලද්දේ යනුයි. “අචිර පබ්බජිතා” යනු සාමණේරවරු හා ළදරු භික්‍ෂූහුය. සිවුරු ආදී ප්‍රත්‍ය විකලත්වය (අඩුපාඩු) ඇතිවිට හෝ ගිලන් වූ විට හෝ ශාස්තෲන් වහන්සේ හෝ ආචාර්ය-උපාධ්‍යායවරු ආමිෂ අනුග්‍රහයෙන් අනුග්‍රහ නොකරන ලද විට ක්ලාන්ත වූවාහු සජ්ඣායනා කිරීමට හෝ මෙනෙහි කිරීමට අසමත් වෙති. ධර්මානුග්‍රහයෙන් අනුග්‍රහ නොලැබුවාහු උදෙසීමෙන් මෙන්ම අවවාද අනුශාසනාවන්ගෙන් ද පිරිහුනාහු අකුසල් දුරලා කුසල් වැඩීමට අසමත් වෙති. මේ දෙවිධ අනුග්‍රහයන්ගෙන් අනුග්‍රහ ලැබූ සාමණේරවරු ක්ලාන්ත නොවී සජ්ඣායනා කළ දේ සිතෙහි තබාගෙන තත්වූ පරිදි පිළිපදිනු ලබන්නාහු, මෑත කාලයෙහි එම අනුග්‍රහයන් නැතුව ගියත් - මුලදී ලබන ලද ශක්ති ඇති බැවින් සසුනේ නොපිරිහී පිහිටා සිටිති. එනිසා භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතුවිල්ලක් පහළවිය.