7. ඛජ්ජනීය සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ - “පුබ්බෙනිවාසං” යන මෙය අභිඥා වශයෙන් සිහිකිරීම සඳහා නොකියන ලදී. විදර්ශනා වශයෙන් පූර්වෙනිවාසය (පෙර විසූ කඳපිළිවෙල) සිහිකර ශ්රමණ-බ්රාහ්මණයන් සඳහා ම කියන ලදී. එනිසා මෙසේ කීහ. “සබ්බෙ තෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනුස්සරන්ති එතෙසං වා අඤ්ඤතරං” යනුවෙනි. (ඒ සියලුම පඤ්චස්කන්ධයන් සිහිපත් කරයි. ඒ අතරින් වෙන එකක් හෝ සිහිපත් කරයි.) අභිඥා වශයෙන් සිහිකරන්නහුට ස්කන්ධයන් ද උපාදානස්කන්ධයන්ද ස්කන්ධ හා බැඳුණු ප්රඥප්තීන් ද අරමුණු වෙත්මය. “රූපඤ්ඤෙව අනුස්සරති”යි සිහිකරනුයේ අනික් කිසියම් හෝ පුද්ගලයෙක් සිහිපත් නොකරයි. අතීතයේ නිරුද්ධව ගිය රූපස්කන්ධයම සිහිපත් කරයි. වේදනාදියෙහි ද මෙම ක්රමය ම දතයුතුයි.
ශුන්ය පර්වය නිමියේය.
දැන් ශුන්යතාවයේ ලක්ෂණ දැක්වීමට “කිඤ්ච භික්ඛවෙ රූපං වදෙය්යාථ” යනාදිය දෙසූහ. යම්සේ නැතිවූ ගොනෙකු සොයන මිනිසා, ගව සමූහයා අතර හැසිරෙන රතු වූ හෝ කළු වූ හෝ ගොනෙකු දැක මෙපමණකින් ම “මේ මගේ ගොනා” යැයි නිශ්චයට පැමිණේ. මේ අයුරින්ම ශුන්යතාව දේශනා කිරීමේදී ශුන්ය ලක්ෂණ නොපැවසුයේ ද ඒ තාක් ශුන්ය කථාව නොදෙසන ලද්දේමය. ශුන්ය ලක්ෂණ ද පෙන්වූ විට ශුන්ය දේශනාව පවසන ලද්දේම වේ. ශුන්යතාව ගොනා මෙනි. ගොනා හඳුනා ගන්නා ලක්ෂණ ශුන්යතාව හඳුනාගන්නා ලක්ෂණ මෙනි. යම් සේ ගොනාගේ ලක්ෂණ නොසලකා හැරිවිට ගොනා මැනවින් හඳුනා ගැනීමට නොහැකි වන්නේද එසේ ගොනුගේ ලක්ෂණ සිහිපත් කර බැලීමෙන් ඌ හඳුනාගත්තේ වේ. මේ අයුරින්ම ශුන්යතා ලක්ෂණ නොපැවසූ විට ශුන්යතාව නොකියන ලද්දේය. එය දේශනා කල කල්හි ශුන්යතාව දේශනා කළේ වේ. ශුන්යතා ලක්ෂණ දැක්වීමට “කිඤ්ච භික්ඛවෙ රූපං වදෙථ” යනාදිය දෙසූහ.
එහි “කිඤ්ච” යනුවෙන් හේතුව විමසයි. කුමන කරුණකින් රූපය යැයි කියවුද? කුමන කරුණක් නිසා මෙයට “රූපය” යන නම යෙදේද? “රුප්පතීති ඛො” යන මෙහි “ඉති” යනුවෙන් කරුණු දැක්වීමයි. යමකින් විකාරයකට පැමිණේද එය “රූපය” යැයි කියන ලදී යන අර්ථයි. “රුප්පතී” යනු කිපේ. ගැටේ. පෙළේ. බිඳේ යන අර්ථයි. “සීතෙනපි රුප්පති” ආදියෙහි සීතලෙන් වෙනසට - විකාරයට පත්වීම ලෝකන්තරික නිරයෙහි ප්රකටය.
සක්වල තුනක් තුනක් අතර එක් එක් ලෝකාන්තරික නිරය බැගින් ඇත. එය අටදහසක් යොදුන් ප්රමාණයක් පුරා පැතිර පවතී. එහි යට පොළවක් නැත. මත්තෙහි සඳහිරු, පහන්, මැණික් ආදී කිසිදු ආලෝකයක් නැත. නිත්ය වූ අඳුර පවතී. එහි උපන් සතුන්ට තුන්ගවුවක් පමණ වූ විශාල සිරුරක් ලැබේ. ඔවුහු වවුලන් මෙන් පර්වත පාදයෙහි දිග-මහත නියවලින් එල්ලී සිටිති. යම්කලෙක ඔවුහු දඟලන්නාහු ඔවුනොවුන්ගේ ශරීර ළංවෙති. එවිට “අපට අනුභව කිරීමට කෑමක් ලැබුණි” යැයි සිතමින් එහි යෙදී සිටීමෙන් ඔවුනොවුන් පෙරලී ලෝකය දරාසිටින ජලයෙහි වැටෙති. සුළඟින් ගසාගෙන ගොස්ද ඇතැම්හු මීඅඹ මෙන් ගිලිහී දියෙහි වැටෙති. වැටුණු මොහොතේම අතිශයින් කැකෑරුණු දියෙහි - රත්කල කබලක වැටුණු පිටිපිඩක් මෙන්න - පට පටා ගාමින් විනාශ වෙති. මෙසේ සීතලෙන් වෙනස්වීම ලෝකාන්ත නරකයෙහි අතිශයින් ප්රකටය.
මහිස ආදී රටවල හිම වැටෙන ශීතල ප්රදේශවල මෙය ඉතා ප්රකටම වේ. එහි සත්ත්වයෝ ශීතලෙන් බිඳුණු ශරීර ඇතිව ජීවිතක්ෂයට පැමිණෙති.
උණුසුමින් වන විපර්යාසය අවීචි මහනිරයේ ඉතා ප්රකටය. බඩසයින් වන පීඩාව ප්රේත ලෝකයෙහිද මනුලොව දුර්භික්ෂ කාලවලද ප්රකට වේ. පිපාසාවෙන් වෙනස්වීම කාලකඤ්ජක නම් අසුර ලෝකාදියෙහි ප්රකටය. එක් කාලකඤ්ජක අසුරයෙක් පිපාසය ඉවසා ගැනීමට නොහැකිව යොදුනක් ගැඹුරු හා පළල් වූ මහ ගඟකට බැස්සේය. එහි ගිය ගිය තැන දිය සිඳී යයි. දුම උඩට නගියි. රත්වූ පිටිගලක සක්මන් කරන්නාක් මෙන් විය. එහි ජල ශබ්දය අසා ඔබි-නොබ හැසිරෙනුයේ රැය ගෙවී ගියේය. එවිට ඔහු උදෑසන පිඬු පිණිස හැසිරෙන තිහක් පමණ වූ භික්ෂූන් වහන්සේ ඔහු දැක “සත්පුරුෂය! නුඹ කවරෙක්ද?”යි ඇසූහ. එවිට ඔහු “ස්වාමීනි! මම ප්රේතයෙක් වෙමි”යි කීය. “කුමක් සොයන්නේද?” යි ඇසූවිට ඔහු “ස්වාමීනි! පැන්යැ”යි කීය. “මේ ගංගාව පිරී ඇත. කිම නුඹට නොපෙනේද?”යි භික්ෂූහු ඇසූවිට; ඔහු “ස්වාමීනි! මට ඊට ළංවිය නොහැක” යි කීය. එවිට කරුණාවන්ත වූ තෙරවරු “එසේනම් නුඹ ගඟ ඉවුරේ දිගාවෙන්න. නුඹගේ මුවෙහි දිය ඉසින්නෙමු”යි කියා ඔහු වැලි තලාවේ උඩුකුරුව හොවා-තිස් දෙනා වහන්සේම ප්රාතාවලින් දිය ගෙනවුත් ඔහුගේ මුවෙහි දැමූහ. උන්වහන්සේලා එසේ කරද්දීම කල්වේලා පැමිණියේය. එවිට “සත්පුරුෂය! අපට පිඬු පිණිස කල් පැමිණියේය. නුඹට වතුර බීමෙන් ආශ්වාදයක් පමණවත් ලැබුණේද?”යි ඇසූහ. එවිට ප්රේතයා “ස්වාමීනි! ඉදින් ආර්යයන් වහන්සේලා පාත්රා තිහකින් දිය ගෙනවුත් මුවෙහි ඉසිනු ලැබුවත් අල්ලකින් අඩක්වත් උගුර වෙත නොගියේය. ප්රේතභාවයෙන් මිදීමක් මට නැතැ”යි පැවසීය. මෙසේ පිපාසාවෙන් වෙනස්වීම ප්රේත ලෝකයෙහි අතිශය ප්රකටය.