මෙසේ භාග්‍යවතුන් වහන්සේ යම් මේ සමාන වූ සහ වෙන් වෙන් වූ ධර්මයන්ගේ ලක්‍ෂණ දෙකින් ඒ රූප ස්කන්‍ධයෙහි වෙන් වෙන් වූ ලක්‍ෂණ දක්වන ලදී. මෙය රූපස්කන්‍ධයෙහි පමණි. වේදනාදීන්ගේ නොවේ. එනිසා පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත් ලක්‍ෂණයැයි කියයි. අනිත්‍ය-දුක්ඛ-අනාත්ම ලක්‍ෂණ වනාහී වේදනාදියෙහි ද වේ. එනිසා එය සමාන වූ ලක්‍ෂණයන් යැයි කියයි.
“කිඤ්ච භික්ඛවෙ වෙදනං වදෙථ” ආදියෙහි පෙරදී කියන ලද පරිදිම දතයුතුයි. යමක් මුලදී කියූ දෙයට අසමාන වේද එහි මේ ප්‍රකට කිරීමයි. “සුඛම්පි වෙදීයති” යනු සැප අරමුණ විඳියි. අනුභව කරයි යනුයි. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමයි. මේ අරමුණ කෙසේනම් සැපය, දුකය, දුකසැප දෙකම ඇති මැදහත්බවය යන නම් උපදීද? සැප ආදී ප්‍රත්‍ය වශයෙනි. එහි මේ අර්ථයයි. “මාතලිය! යම්හෙයකින් රූපය සුවයක් වේද, සැපය අනුව වැටේද, සුව ගෙනදෙයිද” යනුවෙන් මහාලී සූත්‍රයෙහි මෙය සඳහන් වූයේය. “වෙදීයති” යන මෙහි වේදනාවම විඳියි. අනික් සතෙක් හෝ පුද්ගලයෙක් හෝ වේදනාවෙන් විඳීම් ලක්‍ෂණයක් නැත. එනිසා වස්තු ආරම්මණයක් නිසා වේදනාවම විඳගනීයැයි මෙසේ මෙතැන්හි භාග්‍යවතුන් වහන්සේ වේදනාව ද වෙන් වෙන් වූ ලක්‍ෂණ වශයෙන් බෙදා දැක්වූ සේක.
“නීලම්පි සඤ්ජානාති” යනු නිල් මල් හෝ වස්ත්‍ර හෝ පරිකර්ම කර - උපචාරයකට හෝ අර්පණාවකට හෝ පැමිණෙමින් එය හඳුනාගනියි යනුයි. මෙය සංඥා නම් වේ. පරිකර්ම සංඥාවද උපචාර සංඥාවද අර්පණා සංඥාව ද මෙහි සුදුසුමය. පීත (කහ) වර්ණ සංඥාදියේද මේ ක්‍රමයමය. මෙහිද භාග්‍යවතුන් වහන්සේ හැඳිනගැනීමේ ලක්‍ෂණ සහිත සංඥාවෙන් වෙන් වෙන් වූ ලක්‍ෂණ බෙදා දැක්වූ සේක.
“රූපං රූපත්‍ථාය සංඛත මභි සංඛරොති” යනු යසේ කැඳම, කැඳ සඳහා කැවුම්ම, කැඳ සඳහා පිසයි නම් වේ. මෙසේ ප්‍රත්‍යයන් සමග පැමිණ කළ බැවින් (හේතු ප්‍රත්‍ය එක්වී සෑදුණු බැවින්) ‘සංඛත’ යන ලබන ලද නම් ඇති රූපයමය. රූපය සඳහා යම් සේ අභිසංස්කරණය කරන ලද්දේ රූපය නම් වේ. එසේ ඒ සඳහා, රූපබව පිණිස රූප රැස්කරයි. උත්සාහ කරයි. සම්පිණ්ඩනය කරයි. නිෂ්පාදනය කරයි. වේදනාදියේ ද මේ ක්‍රමයමයි. මේ පැවසුයේ සංක්‍ෂිප්ත වශයෙනි. තමා සමග උපදින රූපය හා එක්ව යෙදුණු වේදනාදිය ධම අභිසංස්කරණය කරයි. උපදවයි. මෙහිද භාග්‍යවතුන් වහන්සේ විඳීම් ලක්‍ෂණ සහිත සංස්කාරයන්ගේ වෙන් වෙන්වූ ලක්‍ෂණ ම බෙදා දැක්වූ සේක.
“අම්බිලම්පි විජානාති” යනු අඹ, ඇඹරැල්ල, නාරන් ආදී ඇඹුල් දේ ඇඹුල් ලෙස දැනගනියි යනුයි. සෙසු පදයන්හිද මෙම ක්‍රමයමයි. තවද මෙහි “තිත්තකං” යනු කොහොඹ, පතෝලාදී නානාප්‍රකාර දේය. “මධුරකං” යනු ගිතෙල්, පැණි ආදී නානාප්‍රකාර දෙයයි. “ඛාරිකං” යනු වම්බටු, බෙරු, කරඹ, පුහුල්, වේවැල් ආදී නානාප්‍රකාර දේය. “අඛාරිකං” යනු යම් ඒ ගෙඩි හටගන්නා කරකොළ ආදී මිශ්‍ර වූ කොළය. “ලොණිකං” යනු ලුණු කැඳ-ලුණු මාළු - ලුණු බත් ආදී නානාවිධ දේය. “තස්මා විඤ්ඤාණන්ති වුච්චති” යනු යම්හෙයකින් මේ ඇඹුල් ආදී භේදයන් ඔවුනොවුන්ට විශිෂ්ට වූ ඇඹුල් ආදී කරුණුවලින් දැනගනියිද එහෙයින් ‘විඤ්ඤාණය’ යැයි කියයි. මෙසේ මෙහිද භාග්‍යවතුන් වහන්සේ දැනගැනීම් ලක්‍ෂණ වූ විඥානයේ වෙන් වෙන් වූ ලක්‍ෂණම බෙදා දැක්වූ සේක.
යම් අරමුණක ආකාරය - පෙනීම - ගැනීම වශයෙන් සංඥාව ප්‍රකට වේ. එහෙයින් ඒ චක්‍ෂුද්වාරය බෙදන ලදී. යම්හෙයකින් ආකාර-පෙනීම ආදී අරමුණුවල පවතින භේද ගැනීම් වශයෙන් විඥානය ප්‍රකට වේ. එනිසා එය ජිව්හාද්වාරයේ බෙදා දක්වන ලදී. මේ සංඥා, විඥාන හා ප්‍රඥා වශයෙන් මුළා නොවීම් වශයේ ස්වභාවය, ලක්‍ෂණ සහිතව දැනගනියි. අවබෝධ කරගනියි. විශේෂයෙන් දැනගනියි. මෙහි විශේෂය දතයුතුයි. මෙහි විශේෂය නම් උපසර්ගය පමණකි. “ජානාති” (දැනගනියි) යන පදයෙහි විශේෂයක් නැත. එහි දැනගැනීම් අර්ථයෙන් විශේෂත්වය දතයුතුයි. නීලාදී අරමුණ හඳුනාගැනීම් පමණකි. අනිත්‍යය, දුකය, අනාත්මයැයි ලක්‍ෂණ අවබෝධ කරගැනීමට නොහැකි වේ. විඥානය නීලාදී වශයෙන් අරමුණ ම දැනගනියි. අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ අවබෝධ කරගැනීමටද පැමිණෙයි. උත්සාහ කර, මාර්ගය පහළ කරගැනීමටද නොහැකි වේ. ප්‍රඥාව නීලාදී වශයෙන් අරමුණ ද දැනගනියි. අනිත්‍යාදී වශයෙන් ලක්‍ෂණ ප්‍රතිවේධයටද පැමිණේ. උත්සාහ කර, ආර්ය මාර්ගාවබෝධයට ද පැමිණේ.