6. සීහොපම සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “සීහො” යනු සිංහයෝ සතර දෙනෙකි. තිණ සිංහ, කාළසිංහ, පණ්ඩුසිංහ හා කේසරසිංහ වශයෙනි. ඔවුන් අතුරින් තිණ සිංහයා පරෙවියන්ගේ පාට ඇති ගවදෙනක් හා සමානව තණ අනුභව කරන සිංහයායි. කාළ සිංහයා නම් කළු ගවදෙනක් හා සමාන වූ තණ අනුභව කරන්නෙකි. පණ්ඩුසිංහ නම් පලාවන් පැහැ ඇති ගවදෙනක් හා සමවූ මස් කන සත්ත්‍වයෙකි. කේසර සිංහ නම් ලාක්‍ෂා පැහැයෙන් වර්ණවත් කරන ලද්දකු මෙන් මුවින් ද වලිග අගින්ද සිවුපාදයෙන්ද යුක්ත වූවෙකි. ඔහුගේ මස්තකයේ සිට ලාකඩ තෙලිතුඩකින් පාටකලාක් වැනි වූ රේඛා තුනක් පිටමැදින් ගොස් දෙකලවා අතර දක්‍ෂිණාවර්ත වී සිටියි. ඔහුගේ කඳෙහි වනාහි ලක්‍ෂයක් අගනා කම්බිලියක් පෙරවූවාක් මෙන් කේසර සමූහයක් ඇත. ශරීරයේ සෙසු ස්ථාන පිරිසිදු වූ හාල්පිටි, හක්සුණු, පුලුන් මෙන් සුදුපාට වූයේ වෙයි. මේ අතර සිංහයන් අතුරින් මේ කේශර සිංහයාම මෙහිදී අදහස් කරන ලදී.
“මිගරාජා” යනු තිරිසන් සතුන්ගේ රජතුමාය. “ආසයා” යනු වසන ස්ථානයෙනි. රන් ගුහාවකින් හෝ රිදී, මැණික්, ස්ඵටික, රත්සිරියල් ආදී ගුහාවකින් හෝ නික්මුණේ යැයි කියන ලදී. නික්මීම ද සිවු කාරණයකින් සිදුවේ. අන්ධකාරයෙන් පෙලීම නිසා ආලෝකය සොයාගෙන නික්මීම, මලමුත්‍රාදියෙන් පෙලීම නිසා ඒවා බැහැර කිරීමට නික්මීම, බඩසයින් පෙළුණේ ගොදුරු-ආහාර පිණිස නික්මීම සහ ශුක්‍රධාතු කිපීම නිසා මෛථුන ධර්මයෙහි යෙදීම පිණිස නික්මීම යන සතරයි. මෙතැනදී ගොදුරු පිණිස නික්මුණේයැයි දතයුතුය.
“විජම්භති” යනු රන් තලයක හෝ රිදී- මැණික්-ස්ඵටික-රත්සිරියල් තලයක හෝ යන කිසියම් තලයක පසු පාදෙක සමව පිහිටුවාගෙන, පෙර පාදෙක ඉදිරියට දිගුකර, සිරුරේ පසුභාගය ඇඳ - පෙරභාගය ඉදිරියට ගෙනවුත්, පිට නමා-ගෙල ඔසවා හෙනහඬක් ගසන්නාක් මෙන් නාස්පුට ගසාදමා ශරීරයේ ඇලී ඇති දූවිලි කම්පා කරවමින් (ඉවත් කරමින්) ශරීරය ගසා දමයි යනුයි. එසේ සිරුර ගසාදමන බිමෙහි ද තරුණ වසු පැටවකු මෙන් එහෙ මෙහෙ දුවයි. දුවනු යේ ද ඔහුගේ ශරීරය අඳුරෙහි කැරකෙන ගිනිපෙනෙල්ලක් මෙන් වැටහේ.
“අනුවිලොකෙති” කුමක් නිසා පරික්‍ෂා කර බලන්නේ ද? යනුයි. පරහට අනුග්‍රහ පිණිසයි. ඒ සිංහනාදය පවත්වන කල්හි ප්‍රපාත-ආවාටයන්හි විසමතැන්හි හැසිරෙන ඇත්-ගෝන-මීහරක් ආදී ප්‍රාණීහු එම ප්‍රපාතයේම ආවාටයේම වැටෙති. ඔවුන්ට අනුග්‍රහ පිණිස (එසේ නොවැටීම සඳහා) පරීක්‍ෂා කර බලයි. කිම මේ දඩයම් කරමින් සත්ත්‍ව මාංසයෙන් යැපෙන මොහුට කරුණාවක් තිබේද? එය ඇත. “මෙසේ කලබලවීමෙන් බොහෝ දෙනෙකු මරණයට පත්කිරීමෙන් මාහට ඇති ප්‍රයෝජනය කුමක්ද?” තමාගේ ගොදුර සඳහා කුඩා සතෙකු නොගැනීමද සිංහයාගේ සිරිතකි. මෙසේ සෙසු සතුන් කෙරෙහි අනුකම්පා කරයි. මෙය කියන ලදී. “කුඩා වූ විෂම ස්ථානවලට පැමිණි ප්‍රාණීහු විනාශයට නොපැමිණේවා!”යි යනුවෙන්.
“සිංහනාදං නදති” යනු තෙවරක්ම සිංහනාද පවත්වයි යනුයි. මෙසේ වැජඹෙන භූමියක සිට නාද කරන්නහුගේ ශබ්දය හාත්පස තුන් යොදුනක් පමණ ප්‍රදේශය එකනින්නාද කරයි. ඔහුගේ ඒ ශබ්දය අසා තුන් යොදුනක් තුල සිටි දෙපා සිවුපා සමූහයා හුන් තැන සිටීමට අසමත් වෙති.
“ගොචරාය පක්කමති” යනු ආහාර සඳහා යයි යනුයි. කෙසේද? ඔහු වැජඹි භූමියේ සිට දකුණට හෝ වමට උඩපනිනුයේ වෘෂභයෙක් පමණ උසතැන් පනියි. ඉන් අනතුරුව උඩ පනිනවිට උසභ සතරක් හෝ අටක් වූ හෝ උස පනියි. සමතැන්හි ඍජුව පැන දුවනවිට දාසයක් හෝ විස්සක් වූ උසභ ප්‍රමාණයක දුර පැන දුවයි. ගොඩබිමක හෝ පර්වතයක සිට පැන දුවනවිට උසභ සැටක් හෝ උසභ අසූවක් පමණ තැන් පනියි. අතරමග ගසක් හෝ පර්වතයක් දැක, එය වට වමට හෝ දකුණට කැරකෙමින් උසභයක් පමණ තැන් ඉක්මවයි. තෙවැනිවර සිංහනාද කර, ඒ සමගම තුන්යොදුන් පමණ තැන් පෙනී යයි. එම යොදුන් තුන ගෙවා ගොස් නැවතී තමාගේම නාදයේ, අනුනාදය අසයි. මෙවැනි වේගවත් ජවයකින් ඔහු පැන දුවයි.
“යෙභුය්‍යෙන” යනු බොහෝ සෙයින් යනුයි. “භයං සන්තාසං සංවෙගං” යන මේ සියල්ල සිත්තේ තැතිගැනීම පිණිස වූ නාමයන්ය. සිංහයාගේ ශබ්දය අසා බොහෝ සත්ත්‍වයෝ භයවෙති. අල්ප වූ දෙනෙක් බිය නොවෙති. ඔවුහු කවරහුද? ඊට සමාන වූ සිංහයා, අජානීය අශ්වයා, අජානීය හස්තියා, අජානීය පුරුෂයා, රහතන් වහන්සේ. මොවුහු කුමක් නිසා බිය නොවෙත්ද? සමාන වූ සිංහයා නම් ජාති, ගෝත්‍ර, කුල, ශුර භාවයන්ගෙන් සමාන වේයැයි බිය නොවේ. අජානීය හස්ති ආදී සත්ත්‍වයෝ තමාගේ සක්කාය දෘෂ්ටිය බලවත් හෙයින් (තමාගේ යැයි දැඩිව ගැනීම) බිය නොවෙති. රහතන් වහන්සේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීන කළ බැවින් බියනොවන සේක.
“බිලාසයා” යනු බිලයෙහි නිදන - බිලයෙහි වෙසෙන්නෝය. සර්ප, මුගටි, තලගොයි ආදීහු. “දකාසයා” යනු ජලයෙහි වසන මත්ස්‍ය-කැසිබු ආදීහුය. “වනාසයා” යනු වනයේ වෙසෙන ඇත්, අස්, ගෝන, මුවාදීහුය. “පවිසන්ති” යනු දැන් පැමිණ අප අල්ලා ගත්තේයැයි මගබලමින්ම පිවිසෙති යනුයි. “දළ්හෙහි” යනු ස්ථිර වූ දැඩි වූ යනුයි “වරත්තෙහි” යනු හම් රැහැනින්ය. “මහිද්ධිකො” ආදියෙහි වැජඹි (කිලිපෙලූ) බිමෙහි සිට දකුණු ආදී දිශාවකට උසභයක් පමණද ඍජුව උසභ විස්සක් පමණ ද පැනීම් වශයෙන් මහත් වූ සෘද්ධි ඇති, සෙසු මෘගයන්ට අධිපති බව නිසා මහේශාක්‍ය බවද, හාත්පස තුන්යොදුන් පමණ ප්‍රදේශයේ සත්ත්‍වයෝ හඬ අසා පලායෑම් වශයෙන් මහානුභාව සම්පන්නතාවයද දතයුතුයි.