5. සත්තට්ඨාන සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “සත්තට්ඨානකුසලො” යනු සත්වැදෑරුම් අවකාශයන්හි දක්ෂ වූ යනුයි. “වුසිතවා” යනු විසූ බඹසර ඇති යනුයි. “උත්තම පුරිසො” යනු ශ්රේෂ්ඨ පුරුෂයායි. සෙසු පදයන්ගේ විස්තර පෙර පැවසූ පරිදි දතයුතුයි. මේ සූත්රය වනාහී උත්සාහවත් කරන්නක් මෙන් ද පෙළඹවීම් ඇති කරන්නක් ලෙස ද දතයුතුයි. යම්සේ විජිත සංග්රාමය ජයගත් රජතුමා යෝධයන්ට උසස් තනතුරු දී ඔවුන්ට සත්කාර කරයි. කුමන කරුණක් නිසාද? මෙම සත්කාර දුටු සෙසු ජනයා ද ශූරයන් වීමට සිතන බැවිනි. ඊට උත්සාහවත් වන බැවිනි. මේ අයුරින්ම භාග්යවතුන් වහන්සේ අප්රමාණ කාලයක් පාරමී පුරා, මහබෝ මැඩදී කෙලෙස් මරුන් පරදා, සර්වඥත්ත්වයට පත්වූ සේක්, සැවැත්නුවර ජේතවන මහාවිහාරයෙහි වැඩහිඳිමින් මේ සූත්රය දේශනා කළ සේක. එහිදී රහතන් වහන්සේලා ඔසවා ස්තුති කළ සේක. වර්ණනා කළ සේක. කුමන කරුණක් නිසා ද? මෙසේ අවශේෂ පුද්ගලයෝද අර්හත්ඵලය ලබාගැනීමට යොමුවන උත්සාහවත් වන බැවිනි. මේ අයුරින් මේ සූත්රය රහතුන් වහන්සේ ඔසවා තබමින් ප්රශංසා කරන බැවින් උත්සාහවත් කරති. සේඛයන් පොළඹවන බැවින් (රහත්ඵලය ලබාගැනීමට) පෙළඹවීම් ඇතිකරන්නක් ද වේ යැයි දතයුතුයි.
“එවං භික්ඛවෙ භික්ඛූ සත්තට්ඨාන කුසලො හොති” යනු මෙපමණකින් මෙහි මාර්ගඵල ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් දේශනාව නිමවා නැවත යනුයි. “කථඤ්ච භික්ඛවෙ භික්ඛූ තිවිධූපපරික්ඛී හොති” යනු මේ රහතන් වහන්සේ යම් අරමුණක නිරන්තරව සිත පිහිටුවාගෙන වෙසේ නම් “එය සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නොවේ. ධාතු ආදියේ පැවැත්ම පමණක් වේ” යැයි යනුවෙන් රහතන් වහන්සේ නිරන්තර විහරණයෙන් “මේ ධර්මයන්හි කර්මකොට මොහු පැමිණියේයැ” යි. පැමිණියා වූ පිළිවෙල ද දැක්වීමට කියන ලදී. එහි “ධාතුසො උපපරික්ඛති” යනු ධාතු ස්වභාවයෙන් බලයි. දකියි යනුයි. සෙසු දෙපදයෙහි අර්ථද මේ ක්රමයෙන්ම දතයුතුයි.
පස්වන සූත්රයයි.
6. සම්බුද්ධ සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ “කො අධිප්පායො” යනු අධික වූ ප්රයෝග කවරේද යනුයි. “අනුප්පන්නස්ස” මේ මාර්ගය කාශ්යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපිදවූහ. අනතුරුව වෙනත් ශාස්තෲවරයෙකුට ඉපිදවීමට නොහැකි විය. මෙසේ භාග්යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවන්නාහු නම් වෙති. නගරයට සමාන වූ පරිහරණය නොකරන තැනක පිහිටි පැරණි මාර්ගයක් ඇතිවිය. එහි නොපවතින අර්ථයෙන් “නො ඉපදුණු මාර්ගය” නම් වේ. “අසඤ්ජාතස්ස” යනු ඊටම සමාන වදනකි. “අනක්ඛා තස්ස” යනු නොකියන ලද යනුයි. මාර්ගය දන්නේය යනු “මග්ගඤ්ඤු” නම් වේ. මාර්ගය දන්නා ලදී. ප්රකට කළේය යන අරුතින් “මග්ගවිදු” නම් වේ. මාර්ගයෙහිද අමාර්ගයෙහිද (මග නොමග දෙකෙහිම) දක්ෂ වූ යනු “මග්ගකොවිදො” නම් වේ. “මග්ගානුගා” යනු මාර්ගය අනුව යන්නා වූය. “පච්ඡාසමන්නාගතා” යනු මම පළමුව ගියේ ශ්රාවකයෝ පසුව යෙදී ගමන් කරති. වාසය කරති යනුයි.
සයවන සූත්රයයි.
7. පඤ්චවග්ගිය සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ - “පඤ්චවග්ගියෙ” යනු “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” ආදී පැරණි උපස්ථායකයන් වූ තෙරවරු පස්දෙනා වහන්සේ. “ආමන්තෙසි” යනු ඇසළ පුන් පොහෝදින දම්සක් පැවතුම් සූත්ර දේශනාව පැවැත්වීමේ සිට අනුක්රමයෙන් සෝවාන් ඵලයෙහි පිහිටි කල්හි, දැන් මොවුන්ට ආශ්රවක්ෂය පිණිස ධර්මයක් දේශනා කරන්නෙමි”යි පස්වැනි දිනයෙහි එම භික්ෂූන් ඇමතු සේක. “එතදවොච” යනු මේ “මහණෙනි! රූපය අනාත්මය” ආදී වශයෙන් පැවැත්වූ අනන්ත ලක්ඛණ සූත්රය දේශනා කළ සේක යනුයි. එහි “අනත්තා” යනු පූර්වයෙන් පැවසූ සිවු කාරණයන්ගෙන් අනාත්මීය වේ යනුයි. “තං කිං මඤ්ඤථ භික්ඛවෙ” යන මෙය කුමක් නිසා ඇරඹූ සේක් ද? මේ ස්ථානය දක්වා අනත්ත ලක්ඛණ සූත්රය දේශනා කරන ලදී. අනිත්ය-දුක්ඛ ලක්ෂණයන් නොවේ. දැන් ඒ අනිත්ය-දුක්ඛාදී ත්රිවිධ ලක්ෂණයම ගලපා දැක්වීමට මෙය ආරම්භ කරන ලදැයි දතයුතුයි. “තස්මා” යනු යම් හෙයකින් මේ පඤ්චස්කන්ධය ම අනිත්යය, දුක් සහගත හා අනාත්ම වූවක් වන්නේද එහෙයිනි. “යං කිඤ්චිරූපං” ආදියෙහි විස්තර කථාව විසුද්ධි මාර්ගයේ ප්රඥාභාවනාධිකාරයෙහි ඛන්ධ නිර්දේශයේ දැක්වේ. එය සෑමතැනම පවසා ඇති අයුරින් දතයුතුයි. මේ සූත්රයෙහි වනාහී අනන්ත ලක්ෂණය ම කියන ලදී.
සත්වන සූත්රයයි.
8. මහාලි සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ - “එකන්ත දුක්ඛං” ආදිය ධාතු සංයුත්තයේ කියූ ක්රමයෙන් දතයුතුයි.
අටවන සූත්රයයි.
9. ආදිත්ත සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ - “ආදිත්තං” යනු එකොළොස් ගින්නකින් දැවෙන, ඇවිලගත්. මෙසේ මේ සූත්ර දෙකෙහිම “දුක්ඛ” ලක්ෂණය ම කියන ලදී.
නවවන සූත්රය යි.
10. නිරුක්තිපථ සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ - නිරුත්තිය ම “නිරුත්තිපථා” නැතහොත් - නිරුත්තිය ද ඒ නිරුත්ති වශයෙන් දැන්විය යුතු අර්ථයන්ගේ මාර්ගය බැවින් “පථ” යැයි “නිරුත්තිපථා” නම් වේ. සෙසු දෙපදය ද මේ ක්රමයෙන් අර්ථ දතයුතුයි. මේ පද තුනම අන්යෝන්ය වශයෙන් සමාන වචනයැයි දතයුතුයි. “අසංකිණ්ණා” යනු දුරු නොකළ, මේවායේ අර්ථ කවරේද? යි කියා අත්නොහළ යනුයි. “අසංකිණ්ණපුබ්බා” යනු අතීතයෙහිත් අත්නොහල විරූය. “නසංකීයන්ති” යනු මේවායින් කවර වැඩක්ද?යි අත් නොහරිති යනුයි. “න සංකියිස්සන්ති” යනු අනාගතයේද අත් නොහරින්නේය යනුයි. “අප්පතිකුට්ඨා” යනු නො වළක්වන ලද - ප්රතික්ෂේප නොකරන ලද යනුයි. “අතීතං” යනු තමාගේ ස්වභාවය භංග වූයේ ම යැයි ඉක්මවා ගිය යනුයි. “නිරුද්ධං” යනු වෙනත් දේශයකට නොයා එතැනම නිරුද්ධ වූ - සංසිඳුණු යනුයි. “විපරිණතං” යනු පරිණාමයට, වෙනස්වීමට ගිය, විනාශ වූ යනුයි. “අජාතං” යනු නූපන්නා වූ යනුයි. “අපාතුභුතං” යනු අප්රකට වූ යනුයි.