6. සම්බුද්ධ සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “කො අධිප්පායො” යනු අධික වූ ප්‍රයෝග කවරේද යනුයි. “අනුප්පන්නස්ස” මේ මාර්ගය කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපිදවූහ. අනතුරුව වෙනත් ශාස්තෲවරයෙකුට ඉපිදවීමට නොහැකි විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවන්නාහු නම් වෙති. නගරයට සමාන වූ පරිහරණය නොකරන තැනක පිහිටි පැරණි මාර්ගයක් ඇතිවිය. එහි නොපවතින අර්ථයෙන් “නො ඉපදුණු මාර්ගය” නම් වේ. “අසඤ්ජාතස්ස” යනු ඊටම සමාන වදනකි. “අනක්ඛා තස්ස” යනු නොකියන ලද යනුයි. මාර්ගය දන්නේය යනු “මග්ගඤ්ඤු” නම් වේ. මාර්ගය දන්නා ලදී. ප්‍රකට කළේය යන අරුතින් “මග්ගවිදු” නම් වේ. මාර්ගයෙහිද අමාර්ගයෙහිද (මග නොමග දෙකෙහිම) දක්‍ෂ වූ යනු “මග්ගකොවිදො” නම් වේ. “මග්ගානුගා” යනු මාර්ගය අනුව යන්නා වූය. “පච්ඡාසමන්නාගතා” යනු මම පළමුව ගියේ ශ්‍රාවකයෝ පසුව යෙදී ගමන් කරති. වාසය කරති යනුයි.
සයවන සූත්‍රයයි.
7. පඤ්චවග්ගිය සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - “පඤ්චවග්ගියෙ” යනු “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” ආදී පැරණි උපස්ථායකයන් වූ තෙරවරු පස්දෙනා වහන්සේ. “ආමන්තෙසි” යනු ඇසළ පුන් පොහෝදින දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වීමේ සිට අනුක්‍රමයෙන් සෝවාන් ඵලයෙහි පිහිටි කල්හි, දැන් මොවුන්ට ආශ්‍රවක්‍ෂය පිණිස ධර්මයක් දේශනා කරන්නෙමි”යි පස්වැනි දිනයෙහි එම භික්‍ෂූන් ඇමතු සේක. “එතදවොච” යනු මේ “මහණෙනි! රූපය අනාත්මය” ආදී වශයෙන් පැවැත්වූ අනන්ත ලක්ඛණ සූත්‍රය දේශනා කළ සේක යනුයි. එහි “අනත්තා” යනු පූර්වයෙන් පැවසූ සිවු කාරණයන්ගෙන් අනාත්මීය වේ යනුයි. “තං කිං මඤ්ඤථ භික්ඛවෙ” යන මෙය කුමක් නිසා ඇරඹූ සේක් ද? මේ ස්ථානය දක්වා අනත්ත ලක්ඛණ සූත්‍රය දේශනා කරන ලදී. අනිත්‍ය-දුක්ඛ ලක්‍ෂණයන් නොවේ. දැන් ඒ අනිත්‍ය-දුක්ඛාදී ත්‍රිවිධ ලක්‍ෂණයම ගලපා දැක්වීමට මෙය ආරම්භ කරන ලදැයි දතයුතුයි. “තස්මා” යනු යම් හෙයකින් මේ පඤ්චස්කන්‍ධය ම අනිත්‍යය, දුක් සහගත හා අනාත්ම වූවක් වන්නේද එහෙයිනි. “යං කිඤ්චිරූපං” ආදියෙහි විස්තර කථාව විසුද්ධි මාර්ගයේ ප්‍රඥාභාවනාධිකාරයෙහි ඛන්‍ධ නිර්දේශයේ දැක්වේ. එය සෑමතැනම පවසා ඇති අයුරින් දතයුතුයි. මේ සූත්‍රයෙහි වනාහී අනන්ත ලක්‍ෂණය ම කියන ලදී.
සත්වන සූත්‍රයයි.
8. මහාලි සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - “එකන්ත දුක්ඛං” ආදිය ධාතු සංයුත්තයේ කියූ ක්‍රමයෙන් දතයුතුයි.
අටවන සූත්‍රයයි.
9. ආදිත්ත සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “ආදිත්තං” යනු එකොළොස් ගින්නකින් දැවෙන, ඇවිලගත්. මෙසේ මේ සූත්‍ර දෙකෙහිම “දුක්ඛ” ලක්‍ෂණය ම කියන ලදී.
නවවන සූත්‍රය යි.
10. නිරුක්තිපථ සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - නිරුත්තිය ම “නිරුත්තිපථා” නැතහොත් - නිරුත්තිය ද ඒ නිරුත්ති වශයෙන් දැන්විය යුතු අර්ථයන්ගේ මාර්ගය බැවින් “පථ” යැයි “නිරුත්තිපථා” නම් වේ. සෙසු දෙපදය ද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි. මේ පද තුනම අන්‍යෝන්‍ය වශයෙන් සමාන වචනයැයි දතයුතුයි. “අසංකිණ්ණා” යනු දුරු නොකළ, මේවායේ අර්ථ කවරේද? යි කියා අත්නොහළ යනුයි. “අසංකිණ්ණපුබ්බා” යනු අතීතයෙහිත් අත්නොහල විරූය. “නසංකීයන්ති” යනු මේවායින් කවර වැඩක්ද?යි අත් නොහරිති යනුයි. “න සංකියිස්සන්ති” යනු අනාගතයේද අත් නොහරින්නේය යනුයි. “අප්පතිකුට්ඨා” යනු නො වළක්වන ලද - ප්‍රතික්‍ෂේප නොකරන ලද යනුයි. “අතීතං” යනු තමාගේ ස්වභාවය භංග වූයේ ම යැයි ඉක්මවා ගිය යනුයි. “නිරුද්ධං” යනු වෙනත් දේශයකට නොයා එතැනම නිරුද්ධ වූ - සංසිඳුණු යනුයි. “විපරිණතං” යනු පරිණාමයට, වෙනස්වීමට ගිය, විනාශ වූ යනුයි. “අජාතං” යනු නූපන්නා වූ යනුයි. “අපාතුභුතං” යනු අප්‍රකට වූ යනුයි.