4. උපාදාන පරිවත්ත සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ - “චතුපරිවත්තං” යනු එක් එක් ස්කන්ධයක් සතර සතර බැගින් වූ පෙරලීම් වශයෙනි. “රූපං අබ්භඤ්ඤාසිං” යනු රූපය දුක්ඛ සත්යයයැයි අවබෝධ කළෙමි යනුයි. මෙසේ සියලු පදයන්හි චතුරාර්ය සත්ය වශයෙන් අර්ථය දතයුතුයි. “ආහාර සමුදයා” යනු මෙහි ස්වච්ඡන්ද රාග සහිත වූ කබලිංකාර ආහාරය ‘ආහාරය’ නම් වේ. “පටිපන්නා” යනු සීලයේ පටන් අර්හත් මාර්ගය දක්වා පිළිපන්නෝ වෙති යනුයි. “ගාධන්ත” යනු පිහිටුවති. මෙපමණකින් සේඛ භූමිය දක්වා, දැන් අසේඛ භූමිය දේශනා කරන සේක් - “යෙ ච ඛො කෙචි භික්ඛවෙ” යනාදිය දෙසූහ. “සුවිමුත්තා” යනු අර්හත් ඵල විමුක්තියෙන් වහා මිදුණු යනුයි. “කෙවලිනො” යනු කටයුතු නිමවූ යනුයි. කරන ලද සියලු කටයුතු ඇති. “වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය” යනු ඔවුන්ට ඉතිරි වූ සසර පැවැත්මක් දැක්වීමට නොහැක. ඔවුහු සසර පැවැත්ම සිඳ දමන ලදැයි යන අර්ථයයි. නැතහොත් වර්තයක්, පැවැත්මක් යැයි දැක්විය කරුණක් ඔවුන්ට නැත. මෙපමණකින් අසේඛ භූමිවාරය කියන ලදී.
සිවුවන සූත්රයයි.
5. සත්තට්ඨාන සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “සත්තට්ඨානකුසලො” යනු සත්වැදෑරුම් අවකාශයන්හි දක්ෂ වූ යනුයි. “වුසිතවා” යනු විසූ බඹසර ඇති යනුයි. “උත්තම පුරිසො” යනු ශ්රේෂ්ඨ පුරුෂයායි. සෙසු පදයන්ගේ විස්තර පෙර පැවසූ පරිදි දතයුතුයි. මේ සූත්රය වනාහී උත්සාහවත් කරන්නක් මෙන් ද පෙළඹවීම් ඇති කරන්නක් ලෙස ද දතයුතුයි. යම්සේ විජිත සංග්රාමය ජයගත් රජතුමා යෝධයන්ට උසස් තනතුරු දී ඔවුන්ට සත්කාර කරයි. කුමන කරුණක් නිසාද? මෙම සත්කාර දුටු සෙසු ජනයා ද ශූරයන් වීමට සිතන බැවිනි. ඊට උත්සාහවත් වන බැවිනි. මේ අයුරින්ම භාග්යවතුන් වහන්සේ අප්රමාණ කාලයක් පාරමී පුරා, මහබෝ මැඩදී කෙලෙස් මරුන් පරදා, සර්වඥත්ත්වයට පත්වූ සේක්, සැවැත්නුවර ජේතවන මහාවිහාරයෙහි වැඩහිඳිමින් මේ සූත්රය දේශනා කළ සේක. එහිදී රහතන් වහන්සේලා ඔසවා ස්තුති කළ සේක. වර්ණනා කළ සේක. කුමන කරුණක් නිසා ද? මෙසේ අවශේෂ පුද්ගලයෝද අර්හත්ඵලය ලබාගැනීමට යොමුවන උත්සාහවත් වන බැවිනි. මේ අයුරින් මේ සූත්රය රහතුන් වහන්සේ ඔසවා තබමින් ප්රශංසා කරන බැවින් උත්සාහවත් කරති. සේඛයන් පොළඹවන බැවින් (රහත්ඵලය ලබාගැනීමට) පෙළඹවීම් ඇතිකරන්නක් ද වේ යැයි දතයුතුයි.
“එවං භික්ඛවෙ භික්ඛූ සත්තට්ඨාන කුසලො හොති” යනු මෙපමණකින් මෙහි මාර්ගඵල ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් දේශනාව නිමවා නැවත යනුයි. “කථඤ්ච භික්ඛවෙ භික්ඛූ තිවිධූපපරික්ඛී හොති” යනු මේ රහතන් වහන්සේ යම් අරමුණක නිරන්තරව සිත පිහිටුවාගෙන වෙසේ නම් “එය සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නොවේ. ධාතු ආදියේ පැවැත්ම පමණක් වේ” යැයි යනුවෙන් රහතන් වහන්සේ නිරන්තර විහරණයෙන් “මේ ධර්මයන්හි කර්මකොට මොහු පැමිණියේයැ” යි. පැමිණියා වූ පිළිවෙල ද දැක්වීමට කියන ලදී. එහි “ධාතුසො උපපරික්ඛති” යනු ධාතු ස්වභාවයෙන් බලයි. දකියි යනුයි. සෙසු දෙපදයෙහි අර්ථද මේ ක්රමයෙන්ම දතයුතුයි.
පස්වන සූත්රයයි.
6. සම්බුද්ධ සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ “කො අධිප්පායො” යනු අධික වූ ප්රයෝග කවරේද යනුයි. “අනුප්පන්නස්ස” මේ මාර්ගය කාශ්යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපිදවූහ. අනතුරුව වෙනත් ශාස්තෲවරයෙකුට ඉපිදවීමට නොහැකි විය. මෙසේ භාග්යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවන්නාහු නම් වෙති. නගරයට සමාන වූ පරිහරණය නොකරන තැනක පිහිටි පැරණි මාර්ගයක් ඇතිවිය. එහි නොපවතින අර්ථයෙන් “නො ඉපදුණු මාර්ගය” නම් වේ. “අසඤ්ජාතස්ස” යනු ඊටම සමාන වදනකි. “අනක්ඛා තස්ස” යනු නොකියන ලද යනුයි. මාර්ගය දන්නේය යනු “මග්ගඤ්ඤු” නම් වේ. මාර්ගය දන්නා ලදී. ප්රකට කළේය යන අරුතින් “මග්ගවිදු” නම් වේ. මාර්ගයෙහිද අමාර්ගයෙහිද (මග නොමග දෙකෙහිම) දක්ෂ වූ යනු “මග්ගකොවිදො” නම් වේ. “මග්ගානුගා” යනු මාර්ගය අනුව යන්නා වූය. “පච්ඡාසමන්නාගතා” යනු මම පළමුව ගියේ ශ්රාවකයෝ පසුව යෙදී ගමන් කරති. වාසය කරති යනුයි.