5. සමනුපස්සනා සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - “පඤ්චුපාදානක්ඛන්‍ධෙ සමනුපස්සන්ති එතෙසං වා අඤ්ඤතරං” යනු පිරිපුන්ව ගැනීම් වශයෙන් පංචස්කන්‍ධය දකිති. අපරිපූර්ණව ගැනීම් වශයෙන් මෙයින් අන්‍ය වූ දෙයක් හෝ දකියි යනුයි. “ඉති අයංචෙව සමනුපස්සනා” යනු මේ දෘෂ්ටි සමනුපස්සනාවයි. “අස්මීති චස්ස අවිගතං හොති” යනු යමෙකුට මේ සමනුපස්සනාව ඇත්නම් එහි “මම වෙමි”යි තහා-මාන-දෘෂ්ටි සංඛ්‍යාත වූ ප්‍රපඤ්චත්‍රය ඉවත් නොවුයේ ම ය. “පඤ්චන්නං ඉන්‍ද්‍රියානං අවක්කන්ති හොති” යනු ඒ ක්ලේශයන් උපන් කල්හි කර්ම ක්ලේශ ප්‍රත්‍යයන්ගේ වූ පසිඳුරන්ගේ ඉපදීම වේ.
“අත්‍ථි භික්ඛවෙ මනො” යන මෙය කර්මය සඳහා කියන ලදී. “ධම්මා” යනු අරමුණයි. “අවිජ්ජාධාතු” යනු ජවන ක්‍ෂණයෙහි අවිද්‍යාවයි. “අවිජ්ජා සම්ඵස්සජෙන” අවිද්‍යාවෙන් යුක්ත වූ ස්පර්ශයෙන් හටගත්. තවද “මනො” යනු භවංගක්‍ෂණයෙහි විපාක මනෝධාතුවයි. ආවර්ජන ක්‍ෂණයෙහි ක්‍රියා මනෝ ධාතු කර්මාදිය කියන ලද පරිදිමය. “අස්මීති පිස්සහොති” යනු තණ්හා-මාන-දෘෂ්ටි වශයෙන් “මම වෙමි”යි ඔහුට සිත්වේ යනුයි. මෙයින් අන්‍ය වූ “අයම්හස්මී” යි රූපාදියෙහි කිසියම් හෝ ධර්මයක් ගෙන මෙය “මම වෙමි”යි ආත්ම දෘෂ්ටි වශයෙන් කියන ලදී. “භවිස්සන්ති” යනු ශාස්වත දෘෂ්ටි වශයෙනි. “සභවීස්සන්ති” යනු උච්ඡේද දෘෂ්ටි වශයෙනි. “අථෙත්‍ථා” යනු ඉක්බිති ඒ ආකාරයෙන්ම සිටි මේ ඉන්‍ද්‍රියයන්හිය. “අවිජ්ජාපහීයති” යනු සිවු සත්‍යයන්හි නොදන්නා බව වූ අවිද්‍යාව ප්‍රහීන වේ යනුයි. “විජ්ජා උප්පජ්ජතී” යනු අර්හත් මාර්ග විද්‍යාව උපදියි. “අස්මි” යනු තෘෂ්ණා-මාන දෘෂ්ටීහුය. මෙසේ මේ කර්මයාගේ පසිඳුරන් අතරෙහි එක් සන්‍ධියකි. විපාකමය වූ පංචින්‍ද්‍රිය පාක්‍ෂික වූ පසිඳුරන්ගේ කර්මය අතර එක් සන්‍ධියකි. මෙසේ ත්‍රිවිධ ප්‍රපඤ්චයෝ ඒකාන්තයෙන් ඉක්මගියෝය. ඒකාන්තයෙන් ඉන්‍ද්‍රියාදිය ප්‍රත්‍යුත්පන්නය. එහි කර්ම මනස ආදීකොට අනාගතයේ ප්‍රත්‍ය දක්වන ලදී.
පස්වන සූත්‍රයයි.
6. ඛන්ධ සූත්‍ර වර්ණනාව
සවැනි සූත්‍රයේ - රූපස්කන්‍ධය කාමාවචරය. සිවු ස්කන්‍ධයෝ සිවුභූමිකය. “සාසවං” යනු ආශ්‍රවයන්ගේ අරමුණු ස්වභාවයෙන් ප්‍රත්‍ය වූ යනුයි. “උපාදානීයං” යනු එසේම උපාදානයන්ගේ ප්‍රත්‍ය වූ යනුයි. මෙහි වචනාර්ථය වනාහී - අරමුණු කොට පවත්වයි. ආශ්‍රවයන් සහිත වූයේ සාශ්‍රවය. දැඩිව ගතයුතු යනු උපාදානීය වූ. මෙහිද රූපස්කන්‍ධය කාමාවචරය. ඉතිරි වූ ත්‍රෛභූමික විදර්ශනාව වාර වශයෙන් කියන ලදී. මෙසේ මෙහි රූපය රාශි අර්ථයෙන් ස්කන්‍ධයන්හි පිවිසියේය. ආශ්‍රව සහිත වූ යන අර්ථයෙන් උපාදානස්කන්‍ධයන්හි පිවිසියේය. වේදනාදියෙහි ආශ්‍රව සහිත වූත් ආශ්‍රව රහිත වූත් වශයෙන් ප්‍රභේද වේ. ඒවා ද රාශි අර්ථයෙන් සියලුම ස්කන්‍ධයන්හි පිවිසියේය. ත්‍රෛභූමික වූ ධර්මයෝ මෙහි ආශ්‍රව සහිත වූ යන අර්ථයෙන් උපාදානස්කන්‍ධයන්හි පිවිසේ.
සයවන සූත්‍රයයි.
7. පළමුවැනි සොණ සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “සෙය්‍යො හමස්මි” යනු විශිෂ්ට වූ උතුම් වූ “මම වෙමි” යැයි සිතයි යනුයි. “කිමඤ්ඤත්‍ර යථාභූතස්ස අදස්සනා” යනු තත් වූ පරිද්දෙන් නොදැකීමෙන් අනික් කිසිවක් වන්නේය. නොදැකීම අඥානකම පිණිසම වේ යන අර්ථයි. මෙහි දී දැන් ඔහුට ත්‍රිවිධ වෘත්තයක් ඇති වජ්‍රභේද දේශනාව අරඹන සේක් “තං කිං මඤ්ඤසි සොණා” යනාදිය දෙසූහ.
සත්වන සූත්‍රයයි.
8. දෙවැනි සොණ සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.
9-10. පළවැනි නන්දික්ඛය ආදි සූත්‍ර වර්ණනා
නවවන හා දසවන සූත්‍රයන්හි - “නන්‍දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්‍දික්ඛයො” යන මෙහි නන්‍දිය (ඇලීම) හෝ රාගය යන අර්ථයෙන් එතෙර කරවීම අර්ථයෙන් කියන ලදී. නිර්වේද අනුපස්සනාවෙන් හෝ කළකිරීමට පත්වනුයේ තෘෂ්ණාව දුරු කරයි. විරාග අනුපස්සනාවෙන් නො ඇලෙන්නේ රාගය දුරු කරයි. මෙපමණකින් විදර්ශනාව නිමාකර, “රාගක්ඛයා නන්‍දික්ඛයො” යනුවෙන් මාර්ගය දක්වා “නන්‍දිරාගක්ඛයා චිත්තං විමුච්චතී” යනුවෙන් ඵලය (විපාකය) දක්වන ලදී.
නවවන හා දසවන සූත්‍රයන්ය.
පස්වන අත්තදීප වර්ගය නිමියේය.
මූල පණ්ණාසකය සමාප්ත විය.
2. මජ්ඣිමපණ්ණාසකය
1. උපය වර්ගය
1. උපය සූත්‍ර වර්ණනාව
උපය වර්ගයේ පළමු සූත්‍රය - “උපයො” යනු තණ්හා-මාන-දෘෂ්ටි වශයෙන් පංචස්කන්‍ධයට පැමිණි යනුයි. “විඤ්ඤාණං” යනු කර්ම විඥානයයි. “ආපජ්ජෙය්‍ය” යනු කර්මය දක්වා ප්‍රතිසන්‍ධිය ඇදීමට සමත් වූ වෘද්ධි ආදියට පැමිණෙන්නේ ය. “විඤ්ඤාණුපයං” යන පදයේ නොගැනීමෙන් හේතුව කියන ලද්දේමය. “වොච්ඡිජ්ජතාරම්මණං” යනු ප්‍රතිසන්‍ධිය ඇදීමට සමත් වූ ශක්තිය නොමැතිවීමෙන් අරමුණු ගැනීම සිඳී-කැඩී යයි යනුයි. “පතිට්ඨා විඤ්ඤාණස්ස” යනු කර්ම විඥානයට පිහිටක් නොවේ යනුයි. “තදප්පතිට්ඨිතං” යනු එය නොපිහිටීමෙනි. “අනභි සංඛච්ච විමුත්තං” යනු ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නොකර මිදුණු යනුයි.