6. ඛන්ධ සූත්‍ර වර්ණනාව
සවැනි සූත්‍රයේ - රූපස්කන්‍ධය කාමාවචරය. සිවු ස්කන්‍ධයෝ සිවුභූමිකය. “සාසවං” යනු ආශ්‍රවයන්ගේ අරමුණු ස්වභාවයෙන් ප්‍රත්‍ය වූ යනුයි. “උපාදානීයං” යනු එසේම උපාදානයන්ගේ ප්‍රත්‍ය වූ යනුයි. මෙහි වචනාර්ථය වනාහී - අරමුණු කොට පවත්වයි. ආශ්‍රවයන් සහිත වූයේ සාශ්‍රවය. දැඩිව ගතයුතු යනු උපාදානීය වූ. මෙහිද රූපස්කන්‍ධය කාමාවචරය. ඉතිරි වූ ත්‍රෛභූමික විදර්ශනාව වාර වශයෙන් කියන ලදී. මෙසේ මෙහි රූපය රාශි අර්ථයෙන් ස්කන්‍ධයන්හි පිවිසියේය. ආශ්‍රව සහිත වූ යන අර්ථයෙන් උපාදානස්කන්‍ධයන්හි පිවිසියේය. වේදනාදියෙහි ආශ්‍රව සහිත වූත් ආශ්‍රව රහිත වූත් වශයෙන් ප්‍රභේද වේ. ඒවා ද රාශි අර්ථයෙන් සියලුම ස්කන්‍ධයන්හි පිවිසියේය. ත්‍රෛභූමික වූ ධර්මයෝ මෙහි ආශ්‍රව සහිත වූ යන අර්ථයෙන් උපාදානස්කන්‍ධයන්හි පිවිසේ.
සයවන සූත්‍රයයි.
7. පළමුවැනි සොණ සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “සෙය්‍යො හමස්මි” යනු විශිෂ්ට වූ උතුම් වූ “මම වෙමි” යැයි සිතයි යනුයි. “කිමඤ්ඤත්‍ර යථාභූතස්ස අදස්සනා” යනු තත් වූ පරිද්දෙන් නොදැකීමෙන් අනික් කිසිවක් වන්නේය. නොදැකීම අඥානකම පිණිසම වේ යන අර්ථයි. මෙහි දී දැන් ඔහුට ත්‍රිවිධ වෘත්තයක් ඇති වජ්‍රභේද දේශනාව අරඹන සේක් “තං කිං මඤ්ඤසි සොණා” යනාදිය දෙසූහ.
සත්වන සූත්‍රයයි.
8. දෙවැනි සොණ සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.
9-10. පළවැනි නන්දික්ඛය ආදි සූත්‍ර වර්ණනා
නවවන හා දසවන සූත්‍රයන්හි - “නන්‍දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්‍දික්ඛයො” යන මෙහි නන්‍දිය (ඇලීම) හෝ රාගය යන අර්ථයෙන් එතෙර කරවීම අර්ථයෙන් කියන ලදී. නිර්වේද අනුපස්සනාවෙන් හෝ කළකිරීමට පත්වනුයේ තෘෂ්ණාව දුරු කරයි. විරාග අනුපස්සනාවෙන් නො ඇලෙන්නේ රාගය දුරු කරයි. මෙපමණකින් විදර්ශනාව නිමාකර, “රාගක්ඛයා නන්‍දික්ඛයො” යනුවෙන් මාර්ගය දක්වා “නන්‍දිරාගක්ඛයා චිත්තං විමුච්චතී” යනුවෙන් ඵලය (විපාකය) දක්වන ලදී.
නවවන හා දසවන සූත්‍රයන්ය.
පස්වන අත්තදීප වර්ගය නිමියේය.
මූල පණ්ණාසකය සමාප්ත විය.
2. මජ්ඣිමපණ්ණාසකය
1. උපය වර්ගය
1. උපය සූත්‍ර වර්ණනාව
උපය වර්ගයේ පළමු සූත්‍රය - “උපයො” යනු තණ්හා-මාන-දෘෂ්ටි වශයෙන් පංචස්කන්‍ධයට පැමිණි යනුයි. “විඤ්ඤාණං” යනු කර්ම විඥානයයි. “ආපජ්ජෙය්‍ය” යනු කර්මය දක්වා ප්‍රතිසන්‍ධිය ඇදීමට සමත් වූ වෘද්ධි ආදියට පැමිණෙන්නේ ය. “විඤ්ඤාණුපයං” යන පදයේ නොගැනීමෙන් හේතුව කියන ලද්දේමය. “වොච්ඡිජ්ජතාරම්මණං” යනු ප්‍රතිසන්‍ධිය ඇදීමට සමත් වූ ශක්තිය නොමැතිවීමෙන් අරමුණු ගැනීම සිඳී-කැඩී යයි යනුයි. “පතිට්ඨා විඤ්ඤාණස්ස” යනු කර්ම විඥානයට පිහිටක් නොවේ යනුයි. “තදප්පතිට්ඨිතං” යනු එය නොපිහිටීමෙනි. “අනභි සංඛච්ච විමුත්තං” යනු ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නොකර මිදුණු යනුයි.
පළමු සූත්‍රයයි.
2. බීජ සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ - “බීජාජාතානි” යනු බීජයෝය. “මූලබීජං” යනු වදකහ, කහ, ඉඟුරු ආදියයි. “ඛන්‍ධබීජං” යනු ඇසතු-නුග ආදියයි. “එළුබීජං” යනු උක්, උණ, බට ආදියයි. “අග්ගබීජං” යනු කුඹුක්-මුරුවා ගස් ආදිය. “බීජ බීජං” යනු හැල්-වී ආදී පුබ්බන්න ධාන්‍ය හා මු-මෑ ආදී අපරන්න ධාන්‍ය වර්ගයන්ය. “අඛණ්ඩානි” යනු නොබිඳුණා වූ ඒවායි. බිඳුණු කාලයේ පටන් බීජයත්, බීජ සඳහා සුදුසු නොවේ. “අපූතිකානී” යනු ජලය වැටීම් ආදියෙන් නොතෙමුණු ඒවායි. කුණු වූ බීජයන්ද බීජ ලෙස යෙදීමට සුදුසු නොවේ. “අවතාතපහතානි” යනු සුළඟින් ද අව්වෙන් ද නො නැසුණු, ඕජස් නැති බවට පත් නොවූ යනුයි. ඕජස් රහිත කසට බීජයන් ද බීජ ලෙස නොයොදයි. “සාරාදානි” යනු ගන්නා ලද සාරවත් භාවය ඇති. පිහිටි සාරය ඇති යනුයි. නිසරු බීජ, බීජ සංඛ්‍යාවෙහි ලා නොසැලකේ. “සාඛසියිතානි” යනු තුන්-සතර මාසයක් කොටුවෙහි තබා ආරක්‍ෂා කිරීමෙන් සුවසේ තැබූ යනුයි. “පඨවි” යට පිහිටන බැවින් පඨවි නම් වූ, “ආපො” මතුපිට තෙත්කරන වතුර (ජලය). “චතස්සො විඤ්ඤාණට්ඨිතියො” යනු කර්ම විඥානයට ආරම්මණ වූ රූපාදී සිවු ස්කන්‍ධයෝ ය. ඒවායෙහි අරමුණු වශයෙන් පිහිට වූ පඨවි ධාතුව සමාන වූ නන්දි රාගයයි. තෙත් කිරීම්-වැගිරීම් අර්ථයෙන් ආපෝ ධාතුව හා සමාන වූ. “විඤ්ඤාණං සාහාරං” යනු ප්‍රත්‍ය සහිත වූ කර්ම විඥානයයි. එය වනාහී පොළවේ වැඩෙන බීජ මෙන් අරමුණ නැමති පොළවෙහි වැඩේ. (වර්ධනය වේ.)
දෙවන සූත්‍රයයි.
3. උදාන සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “උදානං උදානෙසි” යනු බලවත් සොම්නස් බව හටගැනීමෙන් ප්‍රීතිවාක්‍යයක් පහළ කල සේක යනුයි. කුමක් නිසා මෙසේ ප්‍රීතියක් බුදුපියාණන්ට ඇති වූ සේක්ද? සසුනේ නෛර්යාණික බව නිසයි. කෙසේද? මෙසේ උන්වහන්සේට සිත්විය. මේ සසුනෙහි මූලාධාරයෝ තුනකි. දානය, සීලය, භාවනාව යන උපනිශ්‍රය සම්පත් තුනයි. ඒ තුන අතුරින් දාන උපනිශ්‍රය සම්පත්තිය දුර්වලය භාවනා උපනිශ්‍රය සම්පත්තිය ප්‍රබලය. දාන හා සීල උපනිශ්‍රය සම්පත් දෙකින් ත්‍රිවිධ මාර්ගයන්ට හා ඵලයන්ට පැමිණේ. භාවනා උපනිශ්‍රය සම්පත්තියෙන් රහත් බවට පත්වේ. මෙසේ දුර්වල උපනිශ්‍රයෙහි පිහිටි භික්‍ෂුව උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ පඤ්ච ඕරම්භාගිය බන්‍ධනයන් සිඳ තුන්මාර්ග ඵල උපදවයි. අහෝ! නෛර්යාණික සසුනේ බලමහිමය පුදුමයි.” ආවර්ජනය කරන්නාට මෙසේ සිත් පහළ වේ.