5. අත්තදීප වර්ගය
1. අත්තදීප සූත්‍ර වර්ණනාව
අන්තදීප වර්ගයේ පළමු සූත්‍රය - “අත්තදීපා” යනු තමා දිවයිනක්, පිහිටක්, ආරක්‍ෂාවක්, ගතියක්, පිහිටක්, උපකාරයක් කර වෙසෙවු යන අර්ථයයි. “අත්තසරණා” යනු මෙයටම සමාන වචනයකි. “අනඤ්ඤසරණා” මෙය අනෙකෙකුගේ පිහිට සෙවීම ප්‍රතික්‍ෂේප කරයි. අනිකෙක් අනිකකුට පිහිට නොවේ. අනිකකුගේ වෑයමෙන් අනිකකුගේ දුකින් මිදීම සිදු නොවේ. මෙය කියන ලදී.
“තමාට පිහිට තමාමය. තමාට පිහිටවන වෙන අයෙක් සිටින්නේ කොහිද?”
එනිසා “අනඤ්ඤසරණා” (අනිකකු පිහිට නොවේ) යැයි කියන ලදී. මෙහි “අත්ත” නම් කවුද? “අත්තා” (තමා) යනු ලෞකික-ලෝකෝත්තර ධර්මයන්ය. එනිසා “ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා” යනුවෙන් කියන ලදී. “යොනි” යනු කාරණයයි. හේතුවයි. “මෙය භූමියේ උපන් ඵලයන් අවබෝධයට හේතුවකි.” ආදියෙහි මෙනි. “කිං පහොතිකා” යනු “කුමක් ප්‍රමුඛ කොට ඇත්තේද? කොතැනින් හටගනී ද?” යන අර්ථයි. “රූපස්සත්‍වෙව” මෙය ඒ ශෝකාදියේ ප්‍රහාණය දැක්වීමට ම අරඹන ලදී. “නපරිතස්සති” යනු නොගනියි. බිය නොවේ යනුයි. “තදංග නිබ්බුතො” එයින් විපස්සනා (විදසුන්) අංගයන්ගෙන් ශෝකාදිය නිවුණු බැවින් තදංග වශයෙන් (තාවකාලිකව) නිවුණෙකි. මේ සූත්‍රයෙහි විදර්ශනාවම කියන ලදී.
පළමු සූත්‍රයයි.
2. පටිපදා සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයෙහි - “දුක්ඛසමුදයගාමිණී සමනුපස්සනා” යනු යම් හෙයකින් කය සාර වශයෙන් ගැනීම දුකකි යනුයි. එයද සමුදයගාමිණි ප්‍රතිපදාව නම් රූපය ආත්ම වශයෙන් බලන්නේය” යනුවෙන් මෙසේ දෘෂ්ටිය සලකා බැලීම කියන ලදී. එනිසා දුක් ඇතිවීමේ මාර්ගය දැක්වෙන සමනුපස්සනාව (සලකා බැලීම) යැයි මෙහිදී අර්ථ දතයුතුය. “දුක්ඛනිරොධ ගාමිණී සමනුපස්සනා” යන මෙහි විදර්ශනාවත් සමග සිවුමාර්ග ඥානය “සමනුපස්සනාව’ (මැනවින් බැලීම-දැකීම) යැයි කියන ලදී. මෙසේ මෙම සූත්‍රයෙහි සසර පැවැත්ම හා නැවැත්ම පිළිබඳව කියන ලදී.
දෙවැනි සූත්‍රයයි.
3. පළවැනි අනිච්චතා සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං” යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් දතයුතුයි යනුයි. “විරජ්ජති විමුච්චතී” යනු මාර්ගක්‍ෂණයෙහි නොඇලේ. විපාක ක්‍ෂණයෙහි මිදෙයි යනුයි. “අනුපාදාය ආසවෙහි” යනු නූපදින නිරෝධයෙන් නිරුද්ධ වූ, ආශ්‍රවයන් නොගෙන මිදෙයි යනුයි. “රූපධාතුයා” ආදිය ප්‍රත්‍යවේක්‍ෂණය දැක්වීමට කියන ලදී. විපාකය සමග ප්‍රත්‍යවේක්‍ෂණ දර්ශනය යැයි කියත්මය. “ඨිතං” යනු මතුයෙහි කරන ලද කෘත්‍යානුභාවයෙන් සිටි යනුයි. “ඨිතත්තා සන්තුස්සිතං” යනු පැමිණිය යුත්ත පැමිණි බවින් සතුටු වූ යනුයි. “පච්චත්තංයෙව පරිනිබ්බායති” යනු තමාම පිරිනිවේ යනුයි.
තෙවන සූත්‍රයයි.
4. දෙවැනි අනිච්චතා සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ “පුබ්බන්තානුදිට්ඨියො” යනු පූර්වාන්තයට අනුගත වූ අටළොස් දෘෂ්ටීහු නොවෙති. “අපරන්තානුදිට්ඨියො” යනු අපරාන්තයට අනුගත වූ සිවුසාළිස් ධාතූහු නොවෙති. “ථාමසා පරාමසො” යනු දෘෂ්ටි ශක්ති විසින් දෘෂ්ටි අල්ලා ගැනීමක් සිදු නොවෙයි යනුයි. මෙපමණෙකින් පළමු මාර්ගය දක්වන ලදී. දැන් විදර්ශනාව සමග තුන් මාර්ගයන්ද ඵලයන්ද දැක්වීමට “රූපස්මිං” ආදිය අරඹන ලදී. නැතහොත් දෘෂ්ටීහු නම් විදර්ශනාවෙන්ම ප්‍රහීනය. මෙය වනාහී මතුයෙහි විදර්ශනාව සහිතව සිවු මාර්ගය දැක්වීමට අරඹන ලදී.
සිවුවන සුත්‍රයයි.
5. සමනුපස්සනා සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - “පඤ්චුපාදානක්ඛන්‍ධෙ සමනුපස්සන්ති එතෙසං වා අඤ්ඤතරං” යනු පිරිපුන්ව ගැනීම් වශයෙන් පංචස්කන්‍ධය දකිති. අපරිපූර්ණව ගැනීම් වශයෙන් මෙයින් අන්‍ය වූ දෙයක් හෝ දකියි යනුයි. “ඉති අයංචෙව සමනුපස්සනා” යනු මේ දෘෂ්ටි සමනුපස්සනාවයි. “අස්මීති චස්ස අවිගතං හොති” යනු යමෙකුට මේ සමනුපස්සනාව ඇත්නම් එහි “මම වෙමි”යි තහා-මාන-දෘෂ්ටි සංඛ්‍යාත වූ ප්‍රපඤ්චත්‍රය ඉවත් නොවුයේ ම ය. “පඤ්චන්නං ඉන්‍ද්‍රියානං අවක්කන්ති හොති” යනු ඒ ක්ලේශයන් උපන් කල්හි කර්ම ක්ලේශ ප්‍රත්‍යයන්ගේ වූ පසිඳුරන්ගේ ඉපදීම වේ.
“අත්‍ථි භික්ඛවෙ මනො” යන මෙය කර්මය සඳහා කියන ලදී. “ධම්මා” යනු අරමුණයි. “අවිජ්ජාධාතු” යනු ජවන ක්‍ෂණයෙහි අවිද්‍යාවයි. “අවිජ්ජා සම්ඵස්සජෙන” අවිද්‍යාවෙන් යුක්ත වූ ස්පර්ශයෙන් හටගත්. තවද “මනො” යනු භවංගක්‍ෂණයෙහි විපාක මනෝධාතුවයි. ආවර්ජන ක්‍ෂණයෙහි ක්‍රියා මනෝ ධාතු කර්මාදිය කියන ලද පරිදිමය. “අස්මීති පිස්සහොති” යනු තණ්හා-මාන-දෘෂ්ටි වශයෙන් “මම වෙමි”යි ඔහුට සිත්වේ යනුයි. මෙයින් අන්‍ය වූ “අයම්හස්මී” යි රූපාදියෙහි කිසියම් හෝ ධර්මයක් ගෙන මෙය “මම වෙමි”යි ආත්ම දෘෂ්ටි වශයෙන් කියන ලදී. “භවිස්සන්ති” යනු ශාස්වත දෘෂ්ටි වශයෙනි. “සභවීස්සන්ති” යනු උච්ඡේද දෘෂ්ටි වශයෙනි. “අථෙත්‍ථා” යනු ඉක්බිති ඒ ආකාරයෙන්ම සිටි මේ ඉන්‍ද්‍රියයන්හිය. “අවිජ්ජාපහීයති” යනු සිවු සත්‍යයන්හි නොදන්නා බව වූ අවිද්‍යාව ප්‍රහීන වේ යනුයි. “විජ්ජා උප්පජ්ජතී” යනු අර්හත් මාර්ග විද්‍යාව උපදියි. “අස්මි” යනු තෘෂ්ණා-මාන දෘෂ්ටීහුය. මෙසේ මේ කර්මයාගේ පසිඳුරන් අතරෙහි එක් සන්‍ධියකි. විපාකමය වූ පංචින්‍ද්‍රිය පාක්‍ෂික වූ පසිඳුරන්ගේ කර්මය අතර එක් සන්‍ධියකි. මෙසේ ත්‍රිවිධ ප්‍රපඤ්චයෝ ඒකාන්තයෙන් ඉක්මගියෝය. ඒකාන්තයෙන් ඉන්‍ද්‍රියාදිය ප්‍රත්‍යුත්පන්නය. එහි කර්ම මනස ආදීකොට අනාගතයේ ප්‍රත්‍ය දක්වන ලදී.