8. කොසම්බි සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ “අඤ්ඤත්රෙව” යනු ඇතමෙක් අනිකකු විශ්වාස කර යනුයි. “මොහු යමක් කියයිද එයම සත්යයැ”යි පිළිගනියි. තව අයෙක් හිඳ කල්පනා කරනුයේ යම් කරුණක් රුචි වේ ද ඔහු “එය ඇත”යි රුචිය නිසා පිළිගනියි. තව අයෙක් “බොහෝ කලක සිට මෙකරුණ පරපුරින් පැවත ආවේය. එනිසා එය සත්යයකි”යි පරපුරින් පැමිණි නිසා පිළිගනියි. තව කෙනෙකු විතර්ක කරනුයේ එක කරුණක් වැටහේ. ඔහු එය “සත්ය වශයෙන් ම ඇත”යි ආකාර පරිවිතර්කයෙන් පිළිගනියි. තවත් අයෙකු එසේම කල්පනා කරනවිට එක් දෘෂ්ටියක් උපදියි. යම් කරුණක් නැවත නැවත විමසා බලා එය රුචි වේ. කැමති වේ. ඔහු එය “සත්ය වශයෙන් ඇත”යි දෘෂ්ටි වැටහීමට අනුවම පිළිගනියි. තෙරුන් වහන්සේ මේ අයුරින් ගන්නා පිළිගැනීම් ප්රතික්ෂේප කර, ප්රත්යක්ෂයෙන් ම අවබෝධ කරගත් බැවින් විමසනුයේ “අඤ්ඤත්රෙව ආවුසො! මූසිල සද්ධාය....” යනාදිය වදාළහ. එහි “අඤ්ඤත්ර” යනු ශ්රද්ධාවෙන් ඇදහීම් ආදිය දුරුකර, මෙකරුණුවලින් අත්හැර යනුයි. “භවනිරෝධො නිබ්බාණං” අරහත්ය.
නමුත් “මම රහතන් වහන්සේ නමක් වෙමි. නොවෙමි” යනුවෙන් නොපවසා නිශ්ශබ්දවම සිටි සේක.
“ආයස්මා නාරදො ආයස්මන්තං සවිට්ඨං එතදවොච” යනු කවර හේතුවකින් පැවසූවක් ද? උන්වහන්සේ මෙසේ සිතූහ. “භව නිරෝධය නිවණ නම් වේ. මේ ප්රශ්නය සේඛයන් විසින් ද දැනගත යුත්තකි. මේ තෙරහු, මූසිල තෙරුන්ව අසේඛ භූමියෙහි තබයි. මෙකරුණ විමසා දැනගතිමි”යි සිතා මෙසේ ඇසූහ.
“සම්මප්පඤ්ඤාය සුදිට්ඨං” යනු විදර්ශනාවත් සමග මාර්ග ප්රඥාවෙන් වහා දක්වන ලදී. “න චම්හි අරහං” අනාගාමී මාර්ගයේ සිටි බැවින් “රහත් නොවෙමි”යි දක්වයි. යම් ඤාණයකින් “මේ භව නිරෝධයෙන් නිර්වාණය වේ”යැයි වැටහේද ඒ දහනවයක් වූ ප්රත්යවේක්ෂණ ඤාණයෙන් මිදුණු, ප්රත්යවේක්ෂණ ඤාණයයි. “උදපානෝ” යනු රියන් විස්සක්-තිහක් ගැඹුරු පැන් බොන ලිඳයි. “උදකවාරකො” යනු දිය ඉසින වාරයයි. “උදකන්ති හි ඛො ඤාණං අස්ස” යනු ඉවුරේ සිට බලන තැනැත්තාට මේ ඤාණය වේ යනුයි. “න ච කායෙන ඵස්සිත්වා” යනු දිය ඉවතට ගෙන සිරුරේ තවරා ගැනීමට නොහැකි වන්නේය යනුයි.
ළිඳෙහි ජලය දැකීම මෙන්ම අනාගාමී පුද්ගලයා නිවණ දැකීම දතයුතුයි. ග්රීෂ්මයෙන් දැවුණු පුද්ගලයා මෙන් අනාගාමී පුද්ගලයා දතයුතුයි. අර්හත් මාර්ගය දියගන්නා බඳුන මෙනි. ග්රීෂ්මයෙන් පීඩිතයා ළිඳේ ජලය දැකීම මෙන් අනාගාමියා ප්රත්යවේක්ෂණ ඥාණයෙන් මතුයෙහි අරහත්ඵල අවබෝධය ඇතැයි දනියි. පීඩිතයාට බඳුනක් නොමැති බැවින් දියගෙන කය තෙමාගත නොහැකි වන්නාක් මෙන් අනාගාමී පුද්ගලයාට අර්හත් මාර්ගය නොමැති බැවින් නිවන අරමුණු කරගෙන, අරහත් ඵල සමවතට නොපැමිණ හිඳීමට නොලැබේ.
අටවන සූත්රයයි.
9. උපයන්ති සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ “උපයන්තො” යනු ජලය වැඩෙන සමයේ, දිය උඩුගං බලා ගලන කාලයයි. “මහානදියො” යනු ගංගා-යමුනාදී මහාගංගාවෝය. “උපයාපෙති” යනු මතුයෙහි පෝෂණය කරයි. වඩයි. පුරවයි යන අර්ථයයි. “අවිජ්ජා උපයන්ති” යනු අවිද්යාව මත්තෙහි ඇතිවනුයේ සංස්කාරාදී ප්රත්ය ඇතිවීමට හැකියාව ලබයි යනුයි. “සංඛාරෙ උපයා පෙති” යනු සංස්කාරයන් මතුයෙහි පෝෂණය වේ. වර්ධනය වේ. මෙසේ සෑම පදයකම අර්ථ දතයුතුයි. “අප්පයන්තො” පහල යනුයේ, බැස යනුයේ. “අවිජ්ජා අපයන්ති” යනු අවිද්යාව ඉවත යනුයේ. බැහැර වනුයේ. ඉන්පසු ඇතිවන සංස්කාරාදී ප්රත්ය ඇතිවීමට හැකියාවක් නැත. “සංඛාරෙ අපයාපෙති” යනු සංස්කාරයන් ඉවත්ව යයි. සෙසු පදයහිද මේ ක්රමයෙන් අර්ථ දතයුතුයි.