9. උපයන්ති සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ “උපයන්තො” යනු ජලය වැඩෙන සමයේ, දිය උඩුගං බලා ගලන කාලයයි. “මහානදියො” යනු ගංගා-යමුනාදී මහාගංගාවෝය. “උපයාපෙති” යනු මතුයෙහි පෝෂණය කරයි. වඩයි. පුරවයි යන අර්ථයයි. “අවිජ්ජා උපයන්ති” යනු අවිද්‍යාව මත්තෙහි ඇතිවනුයේ සංස්කාරාදී ප්‍රත්‍ය ඇතිවීමට හැකියාව ලබයි යනුයි. “සංඛාරෙ උපයා පෙති” යනු සංස්කාරයන් මතුයෙහි පෝෂණය වේ. වර්ධනය වේ. මෙසේ සෑම පදයකම අර්ථ දතයුතුයි. “අප්පයන්තො” පහල යනුයේ, බැස යනුයේ. “අවිජ්ජා අපයන්ති” යනු අවිද්‍යාව ඉවත යනුයේ. බැහැර වනුයේ. ඉන්පසු ඇතිවන සංස්කාරාදී ප්‍රත්‍ය ඇතිවීමට හැකියාවක් නැත. “සංඛාරෙ අපයාපෙති” යනු සංස්කාරයන් ඉවත්ව යයි. සෙසු පදයහිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.
නවවන සූත්‍රයයි.
10. සුසීම සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ “ගරුකතො” යනු සියලු දෙව්මිනිසුන් විසින් ගල්කුඩයක් (ඡත්‍රයක්) මෙන් සිතින් ගරුකරන ලද “මානිතො” යනු සිතින් ප්‍රියකරනුයේ. “අපචිතො” යනු පහත් පැවතුම් ගැනීම් ආදී වශයෙන් පුදන ලද. මිනිස්සු බුදුපියාණන් වහන්සේ දැක ඇතුන්ගේ පිටින් බසිති. මග ඉඩදෙති. උරයේ ඇති සළුව අතට ගනිති. අසුනින් නැගිටිති. වඳිති. මෙලෙස ඔවුහු ඒ හැසිරීම් වලින් ගරු (අපචායන) කරන ලද්දේ වේ.
“සුසීමො” යනු එනමින් යුතු වේදාංගයන්හි දක්ෂ වූ පිරිවැජියා ය. “එතදවොචුං” යනු ඔවුන්ට මෙසේ සිත්විය. “ශ්‍රමණ භවත් ගෞතමයෝ ජාතිගෝත්‍රාදියෙන් පැමිණි ලාභයන්ගේ අග්‍රබවට පත්නොවූයේ මය. උන්වහන්සේ මහා පණ්ඩිත ශ්‍රේෂ්ඨයෙකි. උතුම් පණ්ඩිත්‍යයෙන් ශ්‍රාවකයන්ට ග්‍රන්ථ බැඳ දෙයි. ඔවුහු ඒවා ඉගෙන උපස්ථායක පිරිසට, සමීපයේ හුන්විට කරන කථාවේදීත් අනුව සතුටු වීමේදීත් හංඬනගා පැවසීමාදියෝත් එය පවසති. එවිට දායක පිරිස ප්‍රසන්න වී මහත් වූ ලාභ සත්කාර ලඟට ම ගෙනවුත් දෙති. ඉදින් අපි ශ්‍රමණ භවත් ගෞතමයන් දන්නා ප්‍රමාණයෙන් ඉතා අල්ප ප්‍රමාණයක් හෝ දැනගන්නෙමු නම් අපගේ අදහස් එහි යොදා අපගේ උපස්ථායකයන්ට පවසන්නෙමු. එවිට අපට ද ලාභාදිය ලැබෙත්ම ය. භික්ෂූන්ට ද වඩා ලාභ ලබන්නෙමු. ශ්‍රමණ භවත් ගෞතමයන් ලඟ පැවිදිව ඒ දහම ඉක්මණින් ඉගෙනීමට දක්ෂයා කවුද?” යනුවෙන් සිතා සුසීම පිරිවැජියා මෙයට ඉතා දක්ෂයෙකියි දැන ඔහු ලඟට පැමිණ මෙසේ කීහ.
“යෙනායස්මා ආනන්දො තෙනුපසංකමි” යන සුසීමට මෙසේ සිතුණි. “මා හට මේ ධර්මය ඉක්මණින් උගත හැකිවනුයේ කාගේ ලගට ගියහොත් ද?” මෙසේ විමසන ඔහුට “ශ්‍රමණ ගෞතමයෝ ගුරුවරයා වෙති. එතුමෝ තේජසින් බහුලය. නොවෙනස් ක්‍රියාවලියක (කාලසටහනක් අනුව) එතුමෝ ක්‍රියා කරති. නොකල්හි උන්වහන්සේ හමුවීමට නොහැක. වෙනත් බොහෝ ක්‍ෂත්‍රියාදීහු ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹෙති. එනිසා එම සමාගමයේදී සමීපයට යා නොහැක. ශ්‍රාවකයන් අතරින් සැරියුත් තෙරණුවෝ මහා ප්‍රඥාවන්තයෙකි. එතුමෝ විදර්ශනා ලක්‍ෂණ බෙදා දැක්වීම අග්‍රවෙති. සමාධි ලක්ෂණ බෙදා දැක්වීමෙහි අග්‍රස්ථානය මහමුගලන් තෙරණුවෝ ලබා ඇත. කාශ්‍යප තෙරණුවෝ ධුතාංගධාරීන්ගෙන් අග්‍ර වෙති. දිවැස් ඇත්තවුන් අතරින් අනුරුද්ධ තෙරණුවෝ අග්‍ර වෙති. පුණ්ණමන්තානි පුත්ත තෙරණුවෝ විසිතුරු ධර්ම කථා ඇත්තවුන් අතරින් අග්‍රවෙති. උපාලි තෙරණුවෝ විනයධාරීන් අතරින් අග තනතුරු ලබති. මේ ආනන්ද තෙරණුවන් වනාහී බහුශ්‍රැතය. ත්‍රිපිටකධාරීය. ශාස්තෘන් වහන්සේද ඒ ඒ තැන දෙසූ දහම් කරුණු එතුමන්ට නැවත දේශනා කරන සේක. උන්වහන්සේ අගතනතුරු පහක් ලැබූහ. අට වරයක් ලැබූහ. සතර ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන් යුක්තය. එනිසා ආනන්ද තෙරුන් ලඟට ගියහොත් වහා ධර්මය උගත හැකිවේ. එබැවින් උන්වහන්සේ වෙත එළඹෙමි”යි සිත්විය.