7. මහා වර්ගය
1. අස්සුතවන්තු සූත්‍ර වර්ණනාව
මහාවර්ගයේ පළමු සූත්‍රයේ “අස්සුතවා” යනු ස්කන්ධ, ධාතු, ආයතන, ප්‍රත්‍යාකාර, සතිපට්ඨානාදියෙහි ඉගෙනීම්, ප්‍රශ්න කිරීම්, විනිශ්චය කිරීම් ආදිය රහිත වූ පුද්ගලයාය. “පුථුජ්ජනො” යනු පැතිර සිටි (පුථු) නානාප්‍රකාර වූ ක්ලේශාදීන්ට ඉපදීම සඳහා උපකාර වූ හෙයින් “පුථුජ්ජන” නම් වූ. එනිසා කියන ලදී. “ව්‍යාප්ත වූ” (පුථු) “ක්ලේශයන් උපදවයි” (ජනන) යන අරුතින් “පුථුජ්ජන” නම් වේ. මෙලෙස සෑම තැනකදීම විස්තර කළ යුතුයි. තවද - පැතිර යාමෙන් ගණන් කිරීමේ සීමාව ඉක්මගිය, ආර්ය ධර්මයන්ට විරුද්ධ වූ, නීච ධර්මයන්ට සම වූ හැසිරීම් ඇති ජනයාගේ එකතුව “පුථුජ්ජන” නම් වේ. වෙන් වෙන් වූ හෝ මෙය වෙන්වූ ම සංඛ්‍යාවට ගියේ සීල, තාදී ගුණයන්ගෙන් යුක්ත ආර්ය ජනයන්ගෙන් වෙන් වූයේ - ඔවුන් හා සම්බන්ධ නොවූයේ “පුථුජ්ජන” නම් වේ. මෙසේ මේ සූත්‍රයේදී “අශ්‍රැතවත් පෘථජ්ජනයා” යන දෙපදයෙන් අදහස් කළ පුද්ගලයා වනාහී
දුවේ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙනාදිච්ච බන්ධුනා
අන්ධො පුථුජ්ජනො එකො - කල්‍යාණෙකො පුථුජ්ජනා
“සූර්යවංශික වූ බුදුරජාණන් වහන්සේ විසින් පුහුදුන් පුද්ගලයෝ දෙකොටසක් දැක්වූහ. එක් අයෙක් අන්ධ පුහුදුන් පුද්ගලයායි. දෙවැන්නා කල්‍යාණ පුහුදුන් පුද්ගලයායි.”
මෙලෙස පුහුදුන් පුද්ගලයෝ දෙදෙනෙක් පිළිබඳව පැවසේ. ඔවුන් අතුරින් මුලින් පැවසූ අන්ධ පුහුදුන් පුද්ගලයාම මෙම සූත්‍රයේ දී අදහස් කරන ලදී. “ඉමස්මිං” යනු වර්තමාන ප්‍රත්‍යක්‍ෂ වූ කය දක්වයි. “චාතුම්මහා භූතිකෙ” යනු සිවුමහා භූත ධර්මයන්ගෙන් උපන්, සිවුමහා භූතමය වූ යන අර්ථය. “නිබ්බින්දෙය්‍ය” යනු කළකිරෙන්නේය යනුයි. “විරජ්ජෙය්‍ය” යනු නොරඳන්නේ ය. “විමුච්චෙය්‍ය” යනු මුදනු කැමති වන්නේය. “ආචයො” යනු අභිවෘද්ධියයි. “අපචයො” යනු පිරිහීමයි. “ආදානං” යනු උපතයි. “නික්ඛෙපං” යනු බිඳීයෑමයි.
“තස්මා” යනු යම්හෙයකින් මේ සිවූ වැදෑරුම් වූ අභිවෘද්ධි, පරිහානි, උප්පත්ති හා බිඳීයෑම් යනාදිය ප්‍රකට වෙද්ද එහෙයින්. ඒ හේතුවෙන් යන අර්ථයි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සිවුමහා භූතමය වූ කයෙහි රූපය අල්වා ගැනීමට අයුතු රූපයක් (නුසුදුසු වූවක්) කර, අරූපය අල්වා ගැනීමට (සුදුසු සේ) යුතු රූපයක් කරන සේක. කුමක් නිසාද? ඒ භික්ෂූන්ගේ රූපයෙහි ඇලුණු සිත ඉතා බලවත් ය. අධික ය. එනිසා ඒ රූපයේ දැඩිව ඇලුණු පුද්ගලයන්ට අල්වාගත යුතු රූපයක් දක්වා නෙරපන සේක්, අරූපයෙහි පිහිටුවීම සඳහා මෙසේ වදාළහ.
“චිත්තං” යනාදී සියල්ල “මන” ආයතනයට ම භාවිත පද වේ. විසිතුරු වස්තුවක් වූ බැවින් ද විසිතුරු ලෙස ගෝචර වන බැවින් ද එක්ව යෙදුණු ධර්මයන්ගේ විසිතුරු බැවින් ද “චිත්ත” නම් වේ. සිතීම් (මනන) අර්ථයෙන් “මනෝ” නම් වේ. දැනීම් (විජානන) අර්ථයෙන් “විඤ්ඤාණං” නම් වේ. “නාලං” යනු අසමත්. සමත් නොවේ යනුයි. “අජෙඣාසිතං” යනු තණ්හාවෙහි ගිලී අවසන් කරගන්නා ලද. බැසගන්නා ලද යනුයි. “ම මායිතං” යනු තණ්හාවෙන් “මම”, මගේ මෙය මගේ යැයි මමායනය කරගත්, “පරාමට්ඨං” යනු දෘෂ්ටියෙන් පිරිමැද ගන්නා ලද. “එතං මම”යනු තණ්හාවෙන් ගැනීමකි. එයින් එකසිය අටක් වූ තණ්හාව අදහස් කරන ලදී. “එසොහමස්මි” යනු “මේ මම වෙමි”යි මානයක් ගැනීමයි. එයින් මාන නවය අදහස් කරන ලදී. “තස්මා”යනු මෙසේ බොහෝ කාලයක් තුල පිළිගන්නා ලද වැරදි පිළිගැනීම් ඇති නිසා නිවීමට (ඒවා අත්හැරීමට) අසමත් වනුයේ යනුයි.
“පරං භික්ඛවෙ” මෙය කුමක් නිසා කියන ලද්දේ ද? බුදුපියාණන් වහන්සේ පළමුව ශ්‍රාවක භික්ෂූන් විමසීම සඳහා රූපය නුසුදුසු වූවක් ලෙස ද අරූපය සුදුසු වූවක් ලෙස ද දේශනා කරන ලද සේක. ඉක්බිති ඒ භික්ෂූන්ගේ සිත, රූපය දැඩිව ගැනීමෙන් ඉවත් වී, අරූපය දැඩිව ගත් බවට පත් වූ බව දැන ඉන් මිදවීම සඳහා මේ දේශනාව ඇරඹූසේක.
එහිදී “අත්තතො උපගච්ඡෙය්‍ය” යනු ආත්ම වශයෙන් ගන්නේය යනුයි. “භියොපි” යනු වසර සීයකට ද මත්තෙහිය. කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක් ද? කිම “තවත් වසර සීයක් සිටීම” මෙහිදී අදහස් වේද? පළමු වයසේ පැවති රූපය, මැදි වයසට නො පැමිණේ. මැදි වයසේ පවතින රූපය පශ්චිම වයසට නොපැමිණේ. පෙරබත් කල පැවති රූපය පසුබත් කල නැතිවේ. පසුබත් කල පැවති රූපය රෑ ප්‍රථම යාමයේ දී නැතිවේ. ප්‍රථම යාමයේ පැවති රූපය මැදියමේදී නැතිවේ. රෑ මැදියමේ පවතින රූපය, රෑ පශ්චිම යාමයේදී නැතිවේ. එලෙසින්ම ගමන් කිරීමෙහිදී පවතින රූපය සිටගෙන සිටිවිට ද, සිටගෙන සිටින විට ඇති රූපය හිඳගත් විටද, හිඳගත් විට ඇතිවන රූපය සයනය කරන විටද නැතිවේ. එකම ඉරියව්වේ සිටියත් රූපය වෙනස් වේ. ගමනාරම්භයේ පැවති රූපය ගමන් කිරීමේදී නැත. පළමු පියවර තැබූ විට ඇති රූපය දෙවන පියවර තබනවිට නැත. ගමන් කිරීමේදී පවතින රූපය ගමන නැවැත්වූ විට නැත. ගමන නැවැත්වීමේදී ඇති රූපය නැවත නික්මෙනවිට නැත. නැවත නික්මෙනවිට ඇති රූපය ගමන නැවැත්වූ විට නැත. ඒ ඒ තැන ම වෙන් වෙන් වශයෙන් පුරුක්-පුරුක් වශයෙන් වී රත් වූ කබලෙහි දමන ලද තල මෙන් තට,තට හඬදෙමින් සංස්කාරයෝ බිඳෙත් ද, වෙනස් වෙත් ද යන මෙය සත්‍යයකි. යම්සේ පහනෙහි දල්වන ලද දැල්ල ඒ ඒ වැටියේ ප්‍රදේශය නො ඉක්මවමින් ඒ ඒ තැනම බිඳෙත් ද එමෙන්ම ප්‍රවේණි වශයෙන් සම්බන්ධ වී “පහන මුළු රෑ පුරාම දැල්වුණි” යැයි කියත්ද එලෙසින් ම මෙහිදී ප්‍රවේණි වශයෙන් මේ කයද ස්ථිර වූවක් මෙන් දැකිය හැකි වේ. එනිසා මෙතැනදී මේ කයද බොහෝ කලක් පවතින්නාක් මෙන් දක්වන ලදී.