1. අභිසමය සංයුත්තය
1. බුද්ධ වර්ගය
1. පටිච්චසමුප්පාද සූත්‍ර වර්ණනාව
“එවං මෙ සුතං” යනු නිදාන වර්ගයේ පළමුවැනි පටිච්ච සමුප්පාද සූත්‍රයයි. එහි මේ අනුපූර්ව පද වර්ණනාවයි. “තත්‍ර ඛො භගවා භික්ඛු ආමන්තෙසී” යනුයි. (එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඇමතූ සේක.) මෙහි “තත්‍ර” යනු දේශකාලාදිය දැක්වීමයි. එහි යම් කාලයක වැඩවාසය කරයිද එය “තස්මිං සමයෙ” (එසමයේ) යනුවෙන්ද යම් ඒ ජේතවන විහාරයෙහි වැඩවසයි ද “තත්‍ර ජේතවනෙ” (ඒ ජේතවනාරාමයේ) යනුවෙන් ද දක්වයි. නැතිනම් දේශනා කළයුත්තෙහි දේශකාලාදිය දක්වයි. භාග්‍යවතුන් වහන්සේ නුසුදුසු වූ අයෝග්‍ය වූ දේශයෙහිත් කාලයෙහිත් ධර්මදේශනා නොකරන සේක. “බාහිය, දැන් අවේලාවයි” යනාදිය මීට සාධක වේ. “ඛො” යනු පද පූරණ මාත්‍රයෙහි හෝ අවධාරණාර්ථයෙහි හෝ ආදිකාලාර්ථයේ හෝ යෙදුණු නිපාතයකි. “භගවා” යනු ලොව ගරුකටයුතු පුද්ගලයා දැක්වීමකි. “භික්ඛු” යනු දේශනාව ඇසියයුතු පුද්ගලයන් හැඟවූ වචන යි. තවද මෙහි “පිඬුසිගා යනුයේ භික්ෂුවයි. භික්ෂා චර්‍යාවට පැමිණියේ භික්ෂුවයි.” ආදී වශයෙන් භික්ෂු යන්නෙහි වචනාර්ථ දතයුතුයි. “ආමන්තෙසි” යනු ඇමතූසේක. දේශනා කළ සේක. මැනවින් අවබෝධ කරවූ සේක යන අර්ථයි. මෙහි අර්ථ මෙසේය. ඇතැම්තැනෙක දී දැන්වීමේ අර්ථය ගෙනදෙයි. බුදුරජාණෝ මෙසේ වදාළහ. “මහණෙනි! මම තොප අමතමි. (ආමන්තයාමි) මම තොපට දැනුම්දෙමි.” යනුවෙනි. කැඳවීම් අර්ථයෙහි ද මෙය යෙදේ. මෙසේ වදාළහ. “මහණ! නුඹ මෙහි එව. මගේ වචනයෙන් ආයුෂ්මත් සැරියුත් තෙරුන් අමතන්න” (ආමන්තෙහි) යනුවෙනි. “භික්ඛවො” යනු ආමන්ත්‍රණය ලැබූ පිරිස දැක්වීමකි. එය ද සිගායෑම ස්වභාවය කරගත් ගුණයන්ගෙන් පිරිපුන් බැවින් කියන ලදී. අහර සිගායෑමේ ස්වභාව ඇති ගුණයන්ගෙන් යුක්ත තැනැත්තා ද සිගායෑම ධර්මතාව කරගත් තැනැත්තා ද පිඬුසිගීම මැනවින් කරන ලද තැනැත්තා ද “භික්ඛූ” (භික්ෂූ) ශබ්දයෙන් අර්ථවත් වේ යැයි ශබ්දවේදීහු සිතති. ඒ පිඬුසිගායෑම ස්වභාවය කරගත් ගුණයන්ගෙන් යුක්තවූ යන වචනයෙන් උස්පහත් ගති ඇති ජනයා විසින් සෙවුනා ලද දිවිපැවැත්ම ප්‍රකාශකරමින් උඬගු-දීනාදී ගතිවලට නිග්‍රහ කරයි. කරුණාව පැතිර ගිය මුදුමොළොක් නෙත් සිත් ඇති, පළමුව ප්‍රකාශිත “මහණෙනි” යන මේ වචනයෙන්, ඒ භික්ෂූහු තමන්වහන්සේ ඉදිරියට පමුණුවන සේක්; ඔවුන් සමග කථාකිරීමට කැමති බව හඟවන මේ වචනයෙන් ඔවුන් තුළ ඇසීමේ කැමැත්ත උපදවයි. එම ආමන්ත්‍රණ අර්ථයෙන් ම ‘මැනවින් මෙනෙහි කිරීමෙහි’ ද ඔවුන්ව යොදවයි. මැනවින් සිහිපත් කරන්නවුන්ට ශාසන සම්පත්ති හිමිවේ.
වෙනත් දෙව්මිනිසුන් ඇතිකල්හි කුමක් හෙයින් භික්ෂූන් වහන්සේලාට පමණක් ආමන්ත්‍රණය කළසේක් ද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව ජෙට්ඨ, සෙට්ඨ, ආසන්න, සන්නිහිත වශයෙන් සියලුම පිරිස්වලට සාධාරණ වූවකි. සිවුපිරිසෙන් ජෙට්ඨ නම් වනුයේ භික්ෂූන් වහන්සේම ය. පළමුව පහළවූ බැවිනි. සෙට්ඨ යනු අනගාරික බව මුල්කරගෙන ශාස්තෘ චර්‍යාව අනුගමනය කරන්නෝ ද සියලු ආකාරයෙන් සසුනට පිහිටාධාර වන්නෝ ද වෙති. ආසන්නයෝ නම් ශාස්තෲන් වහන්සේ සමීපයේ ම හුන් පිරිසයි. සදා සත්නිහිත යනු ද ශාස්තෘන් වහන්සේ සමීපයේම හැසිරෙන්නෝ ය. තවද අනුශාසනා පරිදි ප්‍රතිපත්ති සද්භාවයෙන් යුක්ත බැවින් ඔවුහු ධර්ම දේශනාවට භාජනය වෙති. මේ ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මදේශනාව විශේෂ වශයෙන් ම ඇතැම් භික්ෂූන් වහන්සේ සඳහා ම යෝග්‍ය වන බැවින් මෙසේ අමතන ලද සේක් යැයි දතයුතුය.
භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන සේක්, ධර්මය ම දේශනා නොකර - පළමුව භික්ෂූන් වහන්සේට අමතනුයේ කවර හෙයින් ද? සිහිය ඉපිදවීම පිණිසයි. භික්ෂූන් වහන්සේලා අතර ඇතැමෙක් අනිකක් සිතමින් විසිරුණු සිත් ඇතිව ද ඇතැමෙක් ධර්මය මෙනෙහි කරමින් ද කමටහන් මෙනෙහි කරමින් ද වැඩහිඳිති. උන්වහන්සේලාට ආමන්ත්‍රණය නොකර ධර්මදේශනා කරන කල්හි “මේ දේශනාවේ නිදානය කුමක් ද?” “ප්‍රත්‍ය කුමක් ද?” “කවර අර්ථයක් ඉපිදවීමට දේශනා කළසේක් ද?” යි සලකාගත නොහැකිව, එම දේශනාව වැරදි ලෙස වටහාගනිති. නැතිනම් කිසිසේත් වටහා නොගනිති. මෙනිසා උන්වහන්සේලාට සිහිය ඉපිදවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ පළමුව ආමන්ත්‍රණය කර, පසුව දහම් දෙසන සේක.
“භදන්තෙ” යන මේ ගරු කටයුතු වදනකි. නැතහොත් ශාස්තෲන් වහන්සේට පිළිතුරු දීමකි. මෙහිදී බුදුරජාණන් වහන්සේ “මහණෙනි!” යි කියමින් භික්ෂූන් අමතන සේක. ඒ භික්ෂූහු “ස්වාමිනි!” යි (භදන්තෙ) පවසමින් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙති. “භික්ඛවො” (මහණෙනි!) යි බුදුහු වදාරති. “භදන්තෙ!” (ස්වාමිනි!) යි පිළිවදන් දෙති. “භික්ඛවො” යි පිළිතුරු දෙති. “තෙ භික්ඛු” යනු යමෙකුට බුදුහු ඇමතූසේක්ද ඔවුහුය. “භගවතො පච්චස්සොසුං” යනු භාග්‍යවතුන් වහන්සේගේ ආමන්ත්‍රණයට පිළිතුරු දුන්හ යනුයි. උන්වහන්සේට අභිමුඛව දේශනාව ඇසූහ. මැනවින් පිළිගත්හ. බාරගත්හ යන අර්ථයි. “භගවා එතදවොච” යනු භාග්‍යවතුන් වහන්සේ මෙහි දැන් වදාළයුතු සියලු සූත්‍රය දේශනා කළ සේක. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් අර්ථ බ්‍යඤ්ජන සහිත වූ ලොවුතුරු බුදුවරුන්ගේ දේශනාවේ ඤාණ ගාම්භීර බව හඟවන්නා වූ මේ සූත්‍රයේ අර්ථය අදහස සුවසේ ගැනීම සඳහා, කාලය - දේශය - දේශක පිරිස - ආදියෙන් යුක්ත වූ (අලංකෘත) යම් සූත්‍ර නිදානයක් දෙසූ සේක් ද එහි අර්ථ වර්ණනාව මෙතෙකින් සමාප්තය.
දැන් “පටිච්ච සමුප්පාදං වො” ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත සූත්‍රයේ අර්ථ වර්ණනා කිරීමට අවස්ථාව පැමිණියේය. ඒ සූත්‍ර වර්ණනාවට පෙරාතුවම සූත්‍රය දෙසීමේ හේතුව (නික්ෂේපය) විමසා, පසුව අර්ථ පවසන්නේ නම් - අර්ථ ප්‍රකට වන බැවින් පළමුව සූත්‍ර නික්ෂේපය විමසන්නෙමු.
සූත්‍ර නික්ෂේප සතරකි. අත්තඡ්ඣාසය, පරඡ්ඣාසය, පුච්ඡාවාසික හා අට්ඨුප්පතනික යනුවෙනි. එහි යම් සූත්‍ර භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ ආරාධනාවක් නොමැතිව, හුදෙක් තමන් වහන්සේගේම අදහස අනුව දේශනාකළ සේක් ද එබඳු සූත්‍ර; එනම් - සියලුම සූත්‍රාන්ත හරහා චන්ද්‍රොපම, වීණෝපම, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රියබල, බොජ්ඣංගමග්ග සූත්‍රාන්තගාරක යනාදී මෙම සූත්‍ර අත්තඡ්ඣාසය නික්ෂේපයට අයත් වේ.