4. අත්ථිරාග සූත්‍ර වර්ණනාව
සිවුවැනි සූත්‍රයේ “රාගො” ආදිය ලෝභයට ම භාවිත නම් වේ. එම වස්තුවෙහි සිත් ඇලවීම් වශයෙන් “රාගො” නම් වේ. සතුටුවීම “නන්දි” යයි. තෘෂ්ණාව ඉපදීම් වශයෙන් “තණ්හා”ව යැයි කියයි. “පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරුළ්හං” යනු කර්මය ධාවනය කරවා ප්‍රතිසන්ධිය ඇදගැනීමට සමත් විඤ්ඤාණය එහි පිහිටියේද වර්ධනය වූයේද වේ. “යත්ථ” යනු ත්‍රෛභූමික වූ සංසාරික පැවැත්මෙහි. සත්තමී ආධාර්ථයයි. සැමතැන්හි විකල්පාර්ථයේ මුල් මුල් පදයන්හි මේ සත්තමිය යෙදේ. “අත්ථි තත්ථ සංඛාරානං වුද්ධී” යනු මේ විපාක චක්‍රයෙහි පිහිටි අනාගත සංසාරික පැවැත්මට උපකාර වන සංස්කාරාදිය නිසා කියන ලදී. “යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභි නිබ්බත්තී” යනු යම්තැනක අනාගත පුනර්භව උපතක් ඇත්තේ ද
“එවමෙව ඛො” යනු මෙම සූත්‍රයේ පැමිණි උපමාව සන්සන්දනය කිරීමයි. රඳවා හෝ සිත්තරා මෙන් රැස්වූ කර්මරාශිය දතයුතුයි. පුවරුව, බිත්තිය, රෙදිපට ආදිය මෙන් සංසාරික පැවැත්ම දතයුතුයි. යම්සේ රඳවා හෝ සිත්තරා පිරිසිදු වූ ඵලකවල රූප අඳියි ද එලෙසින් ම ඒකරාශී වූ කර්මය භවයෙහි රූප ස්කන්ධය ඇතිකරවයි. එහිදී අදක්ෂ සිත්තරා ඇඳි රූපය විරූපී වූයේ, අප්‍රිය වූයේ යම්සේ ද එලෙසින් ම ඤාණවිප්‍රයුක්ත සිතින් කළ කර්මයාගේ හේතුවෙන් උපදින රූපයේ චක්ෂු ආදී ඉන්ද්‍රිය සම්පත්තිය නොපිහිටයි. දුර්වර්ණ වූ, නපුරු වූ පිහිටීම් ඇති මාපියන්ට ද පිළිකුල් වූ රූපයක්ම උපදවයි. ඉතා දක්‍ෂ වූ සිත්තරා ඇඳි රූපය මැනවින් පිහිටියේ, මනාප වූයේ, ඉතා අලංකාර වූයේ වේද එලෙසින්ම ඥාණසම්ප්‍රයුක්ත සිතින් කරන ලද කර්ම හේතුවෙන් උපදින රූපයට චක්ෂු ආදී ඉන්ද්‍රිය සම්පත්තිය මැනවින් පිහිටයි. වර්ණවත් වූ මනාව පිහිටියා වූ, අලංකාරව පිළියෙල වූ රූපයක්ම උපදවයි.
මෙම සූත්‍රයේ ද ආහාරය විඤ්ඤාණයත් සමග හකුළුවාගෙන ආහාරය හා නාමරූප හා සංස්කාර අතර එක් සන්ධියකි. සංස්කාර හා අනාගත භවය අතර එක් සන්ධියකි. මෙසේ සන්ධි තුනක් දතයුතුයි.
“කූටාගාරං” යනු එක් මුදුන් කොතක් ඇතිවන සේ කරන ලද ගෙය. “කූටාගාර සාලා” යනු මුදුන්කොත් දෙකක් ඇතිවනසේ කරන ලද ශාලාව. “එවමෙව ඛො” යන මෙහි රහතන් වහන්සේගේ කර්මය සූර්ය රශ්මිය වැනි යැයි දතයුතුයි. සූර්ය රශ්මිය වනාහී ඇති දෙයකි. නමුත් එය පිහිටීම් වශයෙන් (භෞතිකව) නොමැති බැවින් නොපවතින-නොපිහිටි සංඛ්‍යාවට ගැනේ. ක්‍ෂීණාස්‍රවයන්ගේ ද ක්‍රියාවක් නොමැති බැවින් නොපිහිටියේ වේ. උන්වහන්සේලාට අත්පා ආදිය ඇත. නමුත් උන්වහන්සේලාගේ ක්‍රියාවන් කුසලාකුසල ලෙස නොහඳුන්වයි. ක්‍රියාමාත්‍රය පමණක් ම වේ. විපාක නොදෙයි. මෙසේ උන්වහන්සේට කර්ම නොමැති බැවින් ම “අප්පතිට්ඨ” (නොපිහිටි) නම් වෙති.
සතරවන සූත්‍රයයි.
5. නගර සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ “නාමරූපෙ ඛො සති විඤ්ඤාණං” යන මෙහි සංස්කාරයන් ඇති කල්හි විඤ්ඤාණය ද අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයන්ද ඇතිවේයැයි කිවයුතු වන්නේය. එම දෙකම මෙහි නොපැවසුණි. කුමක් නිසාද? අවිද්‍යා සංස්කාර දෙක වනාහි භවයට තෙවැනි හේතූන් වේ. ඒවා සමග මේ විදර්ශනාව නොගැටෙයි. මහා පුරුෂයා වනාහි වර්තමාන පඤ්චවෝකාර වශයෙන් ඇතුලට බැස සිටියි.
අවිද්‍යා සංස්කාරාදිය නොදක්නා කල්හි බුදුවීමට නොහැකිද? සත්‍ය වශයෙන්ම නොහැක. දැන් ඒ භව, උපාදාන, තණ්හා වශයෙන් එම තුන දක්නා ලද්දේමය. ගොයෙකු පසුපස එළවාගෙන යන පුරුෂයා ඌ ළිඳට පිවිසෙනු දැක, ඊට බැස ඌ ගියතැන දක්වා සාරා ගොයා අල්ලාගෙන යයි. ඉතිරි කොටස නොසාරයි. කුමක් නිසාද? එහි කිසිවක් නොමැති බැවිනි. මෙසේ මහා පුරිස බෝධිසත්වයෝ ද ගොයා ලුහුබැඳ ගිය පුරුෂයා මෙන් බෝමැඩ හුන් සේක් ජරාමරණ දෙකෙහි සිට “මෙයින් මේ ප්‍රත්‍ය ඇතිවේ”, “මෙයින් මේ ප්‍රත්‍යය ඇතිවේ” යැයි පරීක්ෂාකර බලා නාමරූප ධර්ම ප්‍රත්‍ය දුටු පසු; ඊටද හේතුව සොයා බලනුයේ විඤ්ඤාණය දුටුසේක. ඉක්බිති මෙපමණකින් පඤ්චවෝකාර භව වශයෙන් විමසා බලන වාරය හෙයින් විදර්ශනා කිරීම නතරකළ සේක. ගොයා ගත් පසු හිස්වූ ළිඳ නැවත නොබිඳී මැවීමෙන් අවිද්‍යා සංස්කාර දෙක තිබියදීත්, ඒ දෙකට මත්තෙන් පැවති විඥාණයම විදර්ශනාවෙන් ගත් බැවින් එම දෙක මෙහිදී වෙන් වෙන් වශයෙන් නොදක්වන ලදැයි දත යුතුයි.
“පච්චුදා වත්තති” යනු නැවත හැරෙයි. මෙහි විඤ්ඤාණය ඇති තැනින් ආපසු හැරී යනුයේ කුමක් නිසාද? ප්‍රතිසන්ධි විඤ්ඤාණය ද විදර්ශනා ඤාණය ද නිසයි. එහි ප්‍රතිසන්ධි විඤ්ඤාණය ප්‍රත්‍ය වශයෙන්ද විදර්ශනා විඤ්ඤාණය අරමුණු වශයෙන් ද නැවත හැරෙයි. මේ දෙක ම නාමරූප අතික්‍රමණය නොකරයි. නාමරූපයගෙන් එහාට නොයයි. “එත්තාවතා ජායෙථ වා” යනාදියෙහි විඤ්ඤාණය නාමරූපයන්ට ප්‍රත්‍යවන කල්හිද නාමරූප විද්ඤාණයට ප්‍රත්‍යවන කල්හි ද මේ දෙකම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වන කල්හිද මෙපමණකින් හටගනිවු, උපදිවු යනුයි. මෙයින් මත්තෙහි හටගත යුත්තක් හෝ ඉපදිය යුත්තක් නැත.