3. පුත්තමංස සූත්ර වර්ණනාව
තෙවැනි සූත්රයේ - “චත්තාරො මෙ භිකඛවෙ! ආහාරා” යනාදිය පෙර කියන ලද පරිදිමය. මේ සූත්රයේ අර්ථොත්පත්තිය බහා තැබිය යුතු හෙයින් එය දක්වා, මෙහි පෙර විස්තර නොකළ පදයන්ගේ විවරණ පමණක් දක්වමු. කුමක් අරභයා මේ සූත්රය දේශනා කළේ ද? ලාභසත්කාර අරභයායි. භාග්යවතුන් වහන්සේට වනාහී මහත් ලාභසත්කාර ඇතිවිය. යම්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පුරා පුරන ලද දානපාරමිතා රාශියේ ප්රතිඵල වශයෙනි. සෑම දිසාවකින් ම මහවැසි දෙක බැගින් පැන නැගී මහා සැඩ පහරක් ඇතිවූවාක් මෙන් සියලු පාරමිතාවෝ, “එකම ආත්ම භාවයක විපාක දෙන්නෙමු”යි එක්රැස් වී ලාභසත්කාර නමැති මහසැඩ පහරක් හටගත්තේ ය. ඒ ඒ දෙසින් ආහාරපාන, යාන, වස්ත්ර, මල් ගඳවිලවුන් ආදිය ගත් අත් ඇතිව ක්ෂත්රිය බ්රාහ්මණාදීහු අවුත් “බුදුරජාණන් වහන්සේ කොතැනද?” “භාග්යවතුන් වහන්සේ කොතැනද?” “දෙවියන්ට දෙවි වූ උතුමා කොතැනද?” “අති උතුම් මිනිසා කොතැනද?” “පුරුෂ ශ්රේෂ්ඨයා කොතැනද?”යි භාග්යවතුන් වහන්සේ ම සොයා යති. කරත්ත සිය ගණනින් ප්රත්ය පුරවාගෙන අවුත්, දෙව්රමෙහි අවසරයක් නොලැබ හාත්පස ගවුවක් පමණ ප්රදේශයේ කරත්ත වියගසෙන් වියගස ගැටෙන සේ තබා අන්ධක වින්ද බ්රාහ්මණාදීහු මෙන් ලුහුබැඳ සිටිත්. මේ විස්තර සියලු ඛන්ධකයන්හිද ඒ ඒ සූත්රයන්හිද පැමිණි අයුරින් දතයුතුයි.
භාග්යවතුන් වහන්සේට මෙන් ම භික්ෂු මහා සංඝයාට ද මෙම ලාභසත්කාර ඇතිවිය. එනිසා මෙය කියන ලදී.
“එසමයේ භාග්යවතුන් වහන්සේට සත්කාර කරන ලද්දේ,ගරුකරන ලද්දේ, පුදන ලද්දේ, පූජාකරන ලද්දේ, අපචායනය කරන ලද්දේ, සිවුරු-පිණ්ඩපාත-සේනාසන-ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සුළු වූයේ වේ. භික්ෂු සංඝයාටද සත්කාර කරන ලද්දේ, ගරු කරන ලද්දේ -පෙ- වේ.”
එසේම “චුන්දය! යම්සේ දැන් මේ ලෝකයේ පහළ වූ යම් සමූහයක්, ගණයක් වේනම්, චුන්දය! භික්ෂු සංඝයා මෙන් ලබන ලද ලාභ, කීර්ති ප්රශංසාදියෙන් යුක්ත වූ අන්ය සමූහයක් හෝ ගණයක් මම නොදකිමි.”
මෙලෙසින් භාග්යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද උපන් (මහා සැඩපහර දෙකක් බඳු) ලාභ සත්කාර දෙක එක්වී, මහා නදී දෙකක ජලපාර මෙන් අප්රමාණ විය.
ඉක්බිති ශාස්තෘන් වහන්සේ තනිව හුදකලා වූ සේක් මෙසේ සිතූ සේක. “අතීත බුදුවරුන්ට ද ලාභසත්කාර ලැබීම් මේ අයුරින් ම සිදුවිය. අනාගත බුදුවරුන්ට ද මෙසේම සිදුවේ. කිම භික්ෂූන් වහන්සේලා රසවත් ආහාරපාන ලැබ, සිහිකල්පනා ඇතිව රාගාදිය දුරුකරමින් සිවුපසය පරිභෝජනය කිරීමට සමත්වේද? අසමත්වේද?”යි යනුවෙනි.
මෙසේ විමසා බැලූ බුදුපියාණන් වහන්සේ දැන් අලුත පැවිදි වූ ඇතැම් කුලපුත්රයෝ ප්රත්යවේක්ෂා නොකර ආහාරපානාදිය පරිභෝජනය කරනු දුටුසේක. එය දැකීමෙන් පසු බුදුපියාණන් වහන්සේට මේ අදහස පහළවිය. “මවිසින් සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පුරා පාරමීදම් පිරූයේ හුදෙක් චීවරාදී ප්රත්ය ලැබීමට නම් නොවේ. උතුම් ඵලය වූ අරහත් බව පිණිසම පුරන ලද්දේය. මේ භික්ෂූහු මා ළඟ පැවිදි වූවෝ චීවරාදී ප්රත්ය ලබාගැනීමට ම නොවෙති. අර්හත් ඵලය සාක්ෂාත් කරගැනීමට ම පැවිදි වූහ. දැන් ඔවුහු මා දැක්වූ අසාර දෙය සාර ලෙසත් සාර දෙය අසාර ලෙසත් ගනිති”යි බුදුරදුන්ට ධර්මසංවේග පහළ වූ සේක. අනතුරුව මෙසේ සිතූසේක. “ඉදින් මට පස්වන පාරාජිකාවක් පැණවිය නොහැක. ප්රත්යවේක්ෂා නොකර ආහාර ගැනීම පස්වන පචිති ඇවතක් ලෙස සමාන වුවත්, මේ ආහාර ගැනීම් ආදිය පුහුදුන් සත්වයන්ගේ නිත්ය අවශ්යතාවක් වන බැවින් එසේ පැණවිය නොහැක. මෙය පස්වැනි පාරාජිකාව මෙන් දේශනා කළ කල්හි, අනාගතයේ එය සිහිපත් කරන භික්ෂූන් වහන්සේලා ප්රත්යවේක්ෂා කරමින් සිවුපසය වළඳනෝ ම ය. උන්වහන්සේලා මෙසේ ධර්මයේ දාසයන්ව, සංවරයෙන් යුක්තව, තම සීමාව මැනවින් දැනගනිති. මේ අර්ථෝත්පත්තිය සඳහාම මෙම පුත්තමංස උපමා සූත්රය දේශනා කළ සේක.
එහි “චත්තාරො මෙ භික්ඛවේ! ආහාරා” යනාදිය ඉහත පැවසූ පරිදිම අර්ථ දැනගත යුතුය.
සතර ආහාරයන් දක්වා දැන් ඒවායේ ආදීනව දැක්වීමට “කථඤ්ඤච භික්ඛවේ! කබලිංකාරෝ ආහාරො දට්ඨබ්බො” යනාදිය දේශනා කළ සේක.
එහි - “ජයම්පතිකා” යනු අඹුව හා සැමියාය. “පරිත්තං සම්බලං” යනු බත් මුලක්, අත්සුණු, අග්ගලා යනාදී අනිකුත් අල්ප මාර්ගෝප-කරණයන්ය. “කන්තාර මග්ගං” යනු කාන්තාරය මැදින් වූ මාර්ගයට. කාන්තාරයේ වූ මාර්ගය. කාන්තාර පහකි. චෝර කාන්තාරය, වාළ කාන්තාරය, අමනුෂ්ය කාන්තාරය, නිරුදක කාන්තාරය හා අල්ප භක්ෂ කාන්තාරය යනුවෙනි. යම් කාන්තාරයක සොරබිය ඇත්නම් ඒ චෝර කාන්තාරයකි. යම් කාන්තාරයක සිංහ, ව්යාඝ්රාදී නපුරු-දරුණු සත්තු සිටිත් නම් ඒ වාළ කාන්තාරයයි. යම් කාන්තාරයක වළවාමුඛ යක්ෂණිය වැනි අමනුෂ්යයන්ගේ වශයෙන් භයක් වේනම් ඒ අමනුෂ්ය කාන්තාරය නම් වේ. බීමට හෝ නෑමට දිය පොදක් නොමැති කාන්තාරය, “නිරුදක” නම් වේ. යම් කාන්තාරයක යෑයුතු හෝ බුදියයුතු දෙයක්වත්, යටත් පිරිසෙයින් කඳ - මුල් ආදියක්වත් නොමැත්තේද ඒ අල්ප භක්ෂ කාන්තාරය නම් වේ. යම් තැනක වනාහී මේ පස්වැදෑරුම් බිය ඇතිවන්නේ ද එය කාන්තාරයක්මය. මෙබඳු වූ යම් ප්රදේශයක් දින දෙකතුනකින් ඉක්මවිය හැකිනම් එබඳු ප්රදේශය මෙහිදී අදහස් නොවේ. මේ සූත්රයේදී නිරුදක වූත් අල්පභක්ෂ වූත් යොදුන් සීයක් පුරා පැතිර සිටි මහා කාන්තාරයක් අදහස් කරන ලදී. එබඳු වූ කාන්තාර මාර්ගයක් “පටිපජ්ජෙය්යුං” යනු සාගිනි බියෙන් ද රෝග බියෙන් ද එසේම රාජ බියෙන් ද යන උපද්රවයන්ගෙන් මිදීමට මගට බැස - “මේ කාන්තාරය තරණය කර, වෙනත් රටක ධාර්මික වූ රජෙකු යටතේ නිරුපද්රිතව සුවසේ වෙසෙමු”යි සිතමින්