“පරිඤ්ඤාතෙ” යනු ඤාත පරිඤ්ඤාව, තීරණ පරිඤ්ඤාව හා ප්‍රහාණ පරිඤ්ඤාව යැයි යන මේ ත්‍රිවිධ පරිඥාවන්ගෙන් ආහාරය පිළිබඳව පිරිසිඳ දත් කල්හිය. ඒ කෙසේද? මේ ශාසනයේ භික්ෂුවට කබලිංකාර ආහාර නම් වූ සවත්ථුක වශයෙන් ඕජාෂ්ඨමක රූපය වේ. ඔජාෂ්ඨමක රූපය කොතැන හැපේද? ජිව්හා ප්‍රසාදයෙහි හැපේ. ජිව්හා ප්‍රසාදය කුමක් ඇසුරු කරන ලද්දේ ද? සිවුමහා භූතයන් ඇසුරු කරන ලදී. මෙසේ ඕජාෂ්ඨමක ජිව්හා ප්‍රසාදය, එහි ප්‍රත්‍ය වූ මහාභූතයෝ යන මේ ධර්ම රූපස්කන්ධය නම් වේ. එය පරීක්ෂා කිරීම් වශයෙන් උපන් ස්පර්ශය පස්වැනි කොට ඇති ධර්මයෝත්, සතර අරූපස්කන්ධ ධර්මයෝත් යන සියල්ල පංචස්කන්ධයයි. සංක්ෂිප්ත වශයෙන් නාමරූප මාත්‍රයම යැයි දැනගනියි. ඔහු මේ ධර්ම ස්වකීය ලක්‍ෂණ වශයෙන් වෙන් වෙන්ව දක්වා, ඒ ප්‍රත්‍ය පිළිබඳව විමසා බලනුයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදය දකියි. මෙපමණකින් “කබලිංකාර ආහාරය” නමින් විස්තර වූ ප්‍රත්‍ය සහිත නාමරූප ධර්මයන්ගේ යථා ස්වභාවය දුටු බැවින් ඒ කබලිංකාර ආහාරය ඤාත පරිඤ්ඤාවෙන් පිරිසිඳ දත්තේ වේ.
උන්වහන්සේ ඒ ප්‍රත්‍ය සහිත වූ නාමරූප අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යැයි ත්‍රිවිධ ලක්‍ෂණයන් හා ආරෝපණය කොට සත්ත්වයන්ගේ නුවණින් සලකා බැලීම් වශයෙන් විමසයි. මෙපමණකින් මේ ත්‍රිවිධ ලක්‍ෂණ “ප්‍රතිවේධ විමර්ශන ඤාණ” නම් වූ තීරණ පරිඤ්ඤාවෙන් කබලිංකාර ආහාරය පිරිසිඳ දන්නේ වේ. ඒ නාමරූප ධර්මයන් ඡන්දරාග වශයෙන් පහතට ඇදීමෙන් අනාගාමී මාර්ගය විශේෂයෙන් දැනගැනීම් වශයෙන් ප්‍රහාණ පරිඤ්ඤාවෙන් ආහාරය පිළිබඳව පිරිසිඳ දත්තේ වේ.
“පඤ්චකාම ගුණිකො” යනු පඤ්කාම ගුණයන්ගේ හටගැනීමයි. “රාගො” යනු රාගය පිරිසිඳ දත්තේ වේ. මෙහි ඒක පරිඤ්ඤාව, සර්ව පරිඤ්ඤාව හා මූල පරිඤ්ඤාව යනුවෙන් පරිඤ්ඤා තුනකි. ඒක පරිඤ්ඤාව නම් කුමක්ද? යම් භික්ෂුවක් ජිව්හා ද්වාරයෙන් එක් රස තෘෂ්ණාවක් පිරිසිඳ දැනගනියි. එයින් පංචකාම ගුණික රාගය පිරිසිඳ දැනගත්තා වෙයි. කුමක් නිසාද? එය එම වස්තුවෙහි ඉපදීම් වශයෙනි. එම තණ්හාව ම චක්ෂුද්වාරයේ උපන්නෙහි නම් “රූපරාග” නම් වේ. ශෝතද්වාරයේ උපන්නේ නම් “ශබ්දරාග” නම් වේ. සෙසු ඉන්ද්‍රියයන්හිද එම නාමය ලබයි. යම්සේ එකම සොරෙකු මාර්ග පහක පැහැරගැනීම් ආදිය සිදුකරන විට, එම සොරා අල්ලාගෙන එක මගකදී හිස සිඳ දැමුවිට මාර්ග පහම නිර්භය වූයේ වන්නේ ද එලෙසින්ම ජිව්හා ද්වාරයේ දී රස තෘෂ්ණාවෙන් පිරිසිඳ දත් “පංචකාම ගුණික රාගය” මැනවින් පිරිසිඳ දැනගත්තේ වේ. මෙය “ඒක පරිඤ්ඤාව” නම් වේ.
“සර්ව පරිඤ්ඤාව” යනු කුමක්ද? පාත්‍රයේ දමන ලද පිණ්ඩපාතයෙහි එකම වූ පඤ්චකාම ගුණික රාගයක් ලබයි. ඒ කෙසේද? පිරිසිදු වූ ඒ ආහාරයේ වර්ණය බැලීමෙන් “රූපරාගය” ඇතිවේ. ගිතෙල් ආදියෙහි ලා රත්කරන කල්හි හා තෙල් ආදිය ඉසින කල්හි පට, පට යන ශබ්ද නැගේ. එබඳු වූ කෑයුතු දේ අනුභව කරන තැනැත්තාට “මුරු, මුරු” ශබ්දය ද උපදියි. එය ආශ්වාදය කිරීමෙන් “ශබ්ද රාගය” උපදියි. දිරවීමට යොදන උපකාරක ද්‍රව්‍යයන්ගේ සුවඳ ආඝ්‍රාණය කරන්නාට “ගන්ධ රාගය” ඇතිවේ. යහපත්-ප්‍රිය රස වශයෙන් ආශ්වාද කරන්නාට “රස රාගය” ඇතිවේ. “ඉතා මෘදු ආහාරය” යැයි ස්පර්ශ කිරීම් වශයෙන් ආශ්වාදයක් ලබන්නාට “ඵස්ස (ඵොට්ඨබ්බ) රාගය” ඇතිවේ. මේ අයුරින් ආහාරයේ සිහිය පිහිටුවා විමසා බැලීමෙන් හා ඡන්ද-රාග පරිභෝජනයෙන් වෙන්ව පරිභෝග කරන කල්හි, ඔහුට සියල්ල ම පිරිසිඳ දත හැකි වේ. මෙය “සර්ව පරිඤ්ඤාව” නම් වේ.
“මූල පරිඤ්ඤාව” නම් කුමක්ද? පඤ්චකාම ගුණික රාගය ඇතිවීමෙහි කබලිංකාහාරය මූලය වේ. කුමක් නිසාද? එය ඇති කල්හි පඤ්චකාමය උපදින හෙයිනි. බැමිණිතියා සාය ඇති වූ කාලයේ දොළොස් වසරක් ම අඹුසැමියන්ට ඔවුනොවුන් පිළිබඳ සිතක් නම් ඇති නොවිණි. කුමක් නිසාද? ආහාර මඳ බැවිනි. දුර්භික්ෂ කාලයක් ඇති වූ බැවිනි. මේ දුර්භික්ෂය නිමාවී ආහාරපාන සුලබ වූ කල්හි, තම්බපන්ණියේ හෙවත් ලංකාවෙහි යොදුන් සීයක් පමණ ප්‍රදේශය දරු උපත් නිසාම හටගත් එකම මංගල කෝලාහලයක් ඇතිවිය. මෙසේ කාමයට මුල්වූ ආහාරය පිරිසිඳ දත් කල්හි පඤ්චකාමරාගය මැනවින් පිරිසිඳ දැනගත්තා වේ. මෙය මූල පරිඤ්ඤාවයි.