2. දුතිය අස්සුතවන්තු සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ “සුඛවේදනීයං” යනු සැප වේදනාවේ ප්‍රත්‍යයයි. හේතුවයි. “ඵස්සං” යනු චක්ෂු ස්පර්ශාදියයි. චක්ෂු ස්පර්ශය, සැප වේදනාවට ප්‍රත්‍යයක් නොවන්නේද? සහජාත ප්‍රත්‍යයෙන් නොවේ. උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් වනාහී ජවන වේදනාව ඇතිවේ. ඒ සඳහා මෙය කියන ලදී.සෝත ස්පර්ශාදියෙහි ද මේ ක්‍රමයමයි. “තජ්ජං” යනු එයින් හටගත් ඒ රූපයයි. ඒ ස්පර්ශයේ අනුරූපයකි යන අර්ථයි. “දුක්ඛ වේදනීයං” යනාදිය ඉහත පැවසූ පරිදිම දත යුතුයි. “සංඝට්ට සමෝධානා” යනු ගැටීමෙන් හා එක්වීමෙන් ද, ගැටී එකට සම්පිණ්ඩනය වූ යන අර්ථයි. “උස්මා” යනු උණුසුමයි. උෂ්ණාකාරයයි. “තේජෝ අභිනිබ්බත්තති” යනු ගිනිසිළු පිටවේයැයි නොගත යුතුයි. උණුසුම් ආකාරයට ම යෙදුණු තවත් වදනකි මෙය. එහි “ද්වින්නං කට්ඨානං” යනු ගිනි උපදවන දඬුදෙකින්. එහි - යට දණ්ඩ වස්තුව, (ඉන්ද්‍රිය) මෙනි. උඩ දණ්ඩ අරමුණ මෙනි. ඒ දෙක ගැටීම නම් ස්පර්ශයයි. එහි ප්‍රතිඵලය වන උණුසුම යනු වේදනාවයි.
දෙවැනි සූත්‍රයයි.
3. පුත්තමංස සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ - “චත්තාරො මෙ භිකඛවෙ! ආහාරා” යනාදිය පෙර කියන ලද පරිදිමය. මේ සූත්‍රයේ අර්ථොත්පත්තිය බහා තැබිය යුතු හෙයින් එය දක්වා, මෙහි පෙර විස්තර නොකළ පදයන්ගේ විවරණ පමණක් දක්වමු. කුමක් අරභයා මේ සූත්‍රය දේශනා කළේ ද? ලාභසත්කාර අරභයායි. භාග්‍යවතුන් වහන්සේට වනාහී මහත් ලාභසත්කාර ඇතිවිය. යම්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරන ලද දානපාරමිතා රාශියේ ප්‍රතිඵල වශයෙනි. සෑම දිසාවකින් ම මහවැසි දෙක බැගින් පැන නැගී මහා සැඩ පහරක් ඇතිවූවාක් මෙන් සියලු පාරමිතාවෝ, “එකම ආත්ම භාවයක විපාක දෙන්නෙමු”යි එක්රැස් වී ලාභසත්කාර නමැති මහසැඩ පහරක් හටගත්තේ ය. ඒ ඒ දෙසින් ආහාරපාන, යාන, වස්ත්‍ර, මල් ගඳවිලවුන් ආදිය ගත් අත් ඇතිව ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදීහු අවුත් “බුදුරජාණන් වහන්සේ කොතැනද?” “භාග්‍යවතුන් වහන්සේ කොතැනද?” “දෙවියන්ට දෙවි වූ උතුමා කොතැනද?” “අති උතුම් මිනිසා කොතැනද?” “පුරුෂ ශ්‍රේෂ්ඨයා කොතැනද?”යි භාග්‍යවතුන් වහන්සේ ම සොයා යති. කරත්ත සිය ගණනින් ප්‍රත්‍ය පුරවාගෙන අවුත්, දෙව්රමෙහි අවසරයක් නොලැබ හාත්පස ගවුවක් පමණ ප්‍රදේශයේ කරත්ත වියගසෙන් වියගස ගැටෙන සේ තබා අන්ධක වින්ද බ්‍රාහ්මණාදීහු මෙන් ලුහුබැඳ සිටිත්. මේ විස්තර සියලු ඛන්ධකයන්හිද ඒ ඒ සූත්‍රයන්හිද පැමිණි අයුරින් දතයුතුයි.
භාග්‍යවතුන් වහන්සේට මෙන් ම භික්ෂු මහා සංඝයාට ද මෙම ලාභසත්කාර ඇතිවිය. එනිසා මෙය කියන ලදී.
“එසමයේ භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරන ලද්දේ,ගරුකරන ලද්දේ, පුදන ලද්දේ, පූජාකරන ලද්දේ, අපචායනය කරන ලද්දේ, සිවුරු-පිණ්ඩපාත-සේනාසන-ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සුළු වූයේ වේ. භික්ෂු සංඝයාටද සත්කාර කරන ලද්දේ, ගරු කරන ලද්දේ -පෙ- වේ.”
එසේම “චුන්දය! යම්සේ දැන් මේ ලෝකයේ පහළ වූ යම් සමූහයක්, ගණයක් වේනම්, චුන්දය! භික්ෂු සංඝයා මෙන් ලබන ලද ලාභ, කීර්ති ප්‍රශංසාදියෙන් යුක්ත වූ අන්‍ය සමූහයක් හෝ ගණයක් මම නොදකිමි.”
මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද උපන් (මහා සැඩපහර දෙකක් බඳු) ලාභ සත්කාර දෙක එක්වී, මහා නදී දෙකක ජලපාර මෙන් අප්‍රමාණ විය.
ඉක්බිති ශාස්තෘන් වහන්සේ තනිව හුදකලා වූ සේක් මෙසේ සිතූ සේක. “අතීත බුදුවරුන්ට ද ලාභසත්කාර ලැබීම් මේ අයුරින් ම සිදුවිය. අනාගත බුදුවරුන්ට ද මෙසේම සිදුවේ. කිම භික්ෂූන් වහන්සේලා රසවත් ආහාරපාන ලැබ, සිහිකල්පනා ඇතිව රාගාදිය දුරුකරමින් සිවුපසය පරිභෝජනය කිරීමට සමත්වේද? අසමත්වේද?”යි යනුවෙනි.