5. අවිජ්ජාදිපච්චය දේසනා සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ “සමුදයො හොති” යන මෙහිදී ශාස්තෘන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව අවසන් කළ සේක. කවර කරුණකින්ද? දෘෂ්ටිගතිකයාට අවසර දීම පිණිසයි. “ඒ පිරිසෙහි දෝෂාරෝපණ කිරිමෙහි සිත් ඇති දෘෂ්ටිගතිකයෙක් ඇත. ඔහු ප්‍රශ්නයක් අසයි. එවිට මම එය විසඳනෙමි”යි ඒ භික්ෂුවට අවසරයක් ලබාදීමට මේ සූත්‍ර දේශනාව අවසන් කළ සේක. “නො කල්ලො පඤ්හො” යනු නුසුදුසු ප්‍රශ්නයකි. මෝඩ ප්‍රශ්නයකි යන අර්ථයි. “ස්වාමීනි! ජරාමරණ කවරේද?”.....යනාදී ප්‍රශ්නය මැනවින් අසන ලද්දක් නොවේද? එය මනාව විමසන ලද්දක් වුවත්, - යම්සේ දහසක් අගනා රන් තලියකින් ගෙනැවිත් තැබූ ඉතා රසවත් භෝජනයක් මතට, නෙල්ලි ගෙඩියක් පමණ කුඩා වූ අශූචි පිඩක් වැටුනහොත් මුලු භෝජනය ම ආහාරයට නුසුදුසු වී ඉවත දැමිය යුතු වන්නේද ඒ අයුරින්ම “ජරා මරණ කවරකුගේද?” යන ප්‍රශ්නය මැනවින් ගැලපුනත්, සත්ව-පුද්ගලවාදී පදය නිසා, අශූචි පිඬ නිසා රසවත් භෝජනය ආහාරයට නුසුදුසු වූවාක් මෙන් මුලු ප්‍රශ්නය ම අනුවණ -මෝඩ ප්‍රශ්නයක් බවට පත්විය.
“බ්‍රහ්මචරියවාසො” යනු ආර්ය මාර්ගයේ වාසය කිරීමයි. “තං ජීවං තං සරීරං” යනු යමෙකුට මේ දෘෂ්ටිය වේනම් ඔහු “ජීවය වැනසෙනවිට මේ ශරීරය ද වැනැසේ. මේ ශරීරය වැනසෙනවිට ජීවිතය ද වැනසෙයි” යනුවෙන් පිළිගනියි. මෙසේ ගන්නා ලද දෘෂ්ටි ඇත්තා, “සිඳේ” - “විනාශ වේ” යැයි ගත් බැවින් උච්ඡේද “දෘෂ්ටි ඇත්තා” නම් වේ. ඉදින් “සංස්කාරයෝම උපදිති. නිරුද්ධ වෙති”යි යන අදහස පිළිගන්නේ නම් එය ධර්මයෙහි හැසිරෙන “සම්‍යක් දෘෂ්ටිය” නම් වන්නේය. “ආර්ය මාර්ගය” නම් වන මෙය, සසර පැවැත්මට හේතුව නිරුද්ධ කරමින් - සසර පැවැත්ම විනාශ කරමින් උපදියි. එහිම ඒ සසර පැවැත්ම උච්ඡේද දෘෂ්ටියෙන් ගත් තැනැත්තා, “සත් භාවය ඇති කල්හි ආර්ය මාර්ගය වැඩීමෙන් තොරව නිරුද්ධවන්නේ යැ”යි ආර්ය මාර්ගය වැඩීම නිරර්ථක වේ. එනිසා මෙය පවසන ලදී. “බ්‍රහ්මචරිය (බඹසර) වාසයට මෙය අයත් නොවේ” යනුවෙනි.
දෙවැනි ක්‍රමයෙහි දී “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං” යමෙකුට මේ දෘෂ්ටිය වේනම් ඔහු “ශරීරය මෙහිදීම වැනැසේ. ජීවය වනාහී කුරුළු කුඩුවක් මෙන් පාවී ගොස් සැපයට යන්නේ ය.” යනුවෙන් පිළිගනියි. මෙසේ පිළිගත් ඒ අදහස අනුව “මේ ලෝකයෙන් ජීවය නැතිවී පරලොවට ගියේය” යනුවෙන් ගත් බැවින්, “ශාස්වත දෘෂ්ටිය” යන නම යෙදේ. [missing here]
“විසූකායිතානී” යනාදී සියලු පද මිසදිටු බව හැඟවීමට යෙදූ වදන්ය. ඒ සම්‍යක් දෘෂ්ටිය (යහපත් දැක්ම) පසාරු කරගෙන යන වී නන්ඩුවක් මෙන් තමාගේ නපුරු හැසිරීමෙන් “විසූකායිතං”. සම්‍යක් දෘෂ්ටිය අනුව නොපවතින, එයට විරුද්ධ වශයෙන් පැවතීමෙන් “විසෙවිත” නම් වේ. කිසිවිටෙක උච්ඡේද දෘෂ්ටියත්, තව අවස්ථාවක ශාස්වත දෘෂ්ටියත් ගැනීම් වශයෙන් විරූප වූ ‘එහෙ-මෙහෙ පැනීම්’ ඇති හෙයින් “විප්ඵන්දිතං” යැයි කියයි. “තාලාවත්ථුකතානි” යනු තල්ගසක් මෙන් මුදුන සිඳී. නැවත නොවැඩෙන අර්ථයෙන් මුදුන සිඳි තල්ගසක් මෙන්, “මුල් සහිත තල්ගසක් උදුරා එහි මුදුන්මුල සිඳ නැවත තිබූ තැන තැබූ” යන අර්ථයි. “අනභාවකතානි” යනු නැවත නූපදින බවට පමුණුවන ලද යනුයි.
පස්වන සූත්‍රයයි.
6. දෙවැනි අවිජ්ජාපච්චය සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “ඉති වා භික්ඛවේ! යො වදෙය්‍ය” යනු ඒ පිරිසේ සිටි දෘෂ්ටිගතිකයා ප්‍රශ්නයක් අසනු කැමැත්තෙන් සිටියි. ඔහු අවිශාරද ස්වභාව ඇති බැවින්, නැගිට බුදුරජාණන් වහන්සේන්ගෙන් එම ප්‍රශ්නය ඍජුව ඇසීමට අසමත් වේ. එනිසා ඔහුගේ අදහස දැන් බුදුපියාණන් වහසේ, එම ප්‍රශ්නය තමන් වහන්සේ විචාරා, ඊට තමන් වහන්සේ ම පිළිතුරු දීම මෙසේ ඇරඹූ සේක.
සයවන සූත්‍රයයි.
7. නතුම්හ සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “න තුම්හා කං” යනු තමාට අයත් වන්නේ නම් “අත්තනිය” නම් වේ. ආත්ම වශයෙන් හෝ තමාගේ වශයෙන් නොපවතින බැවින් “නුඹලාගේ නොවේ”යැයි දෙසූහ. “නාපි අඤ්ඤෙසං” යන්නෙහි අන්‍යයෝ නම් අනිකුත් අයයි. ආත්මය අනුන්ගේ යැයි ගත්විට “අඤ්ඤෙසං” නම් වේ. එයද අනුන්ට අනුව නොපවතී. එනිසා “අනුන්ගේද නොවේ” යැයි දෙසූහ. “පුරාණමිදං භික්ඛවේ! කම්මං” යන මෙහි පුරාණ කර්මයම පමණක් නොවේ. පුරාණ කර්ම හේතුවෙන් උපන් මේ කය ද ඊට අයත් වේ. එහෙයින් ප්‍රත්‍ය ව්‍යවහාර වශයෙන් මෙසේ කියන ලදී. ප්‍රත්‍යයන්ගෙන් කරන ලද බැවින් “අභිසංඛත” නම් වේ යැයි දතයුතුයි. “අභිසංස්කරණය කිරීම”යැයි මුල් කර්ම ව්‍යවහාර වශයෙන්, මුල්ම ලිංග සමානාත්මතාවය ඇති බැවින් කියන ලදී. “අභිසඤ්චෙතයිතං” යනු “චේතනාව වස්තුකොට ඇති”, “චේතනාව මුල්කොට ඇති” යනුවෙන් අර්ථ දතයුතු. “වෙදයිතං” යනු වේදනාවට වස්තු වූයේ යැයි දතයුතුයි.
සත්වන සූත්‍රයයි.
8. චෙතනා සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ “යඤ්ච භිකඛවේ! චෙතෙති” යනු “යමක් සිතයි. පවතියි” යන අර්ථයි. “යඤ්ච පකප්පෙති” යනු යම් කරුණක් කල්පනා කරයි. සිතයි. සිතේ එකරුණ බොහෝ වේලාවක් පවත්වාගනියි. “යඤ්ච අනුසෙති” යනු යමක (සිතක) සැඟවී පවතින රාගද්වේෂාදී සිතුවිලි අත්නොහැර පවතියි. පවත්වන්නේ ද වේ යන අර්ථයයි. මෙහිද “සිතයි” යනුවෙන් ත්‍රෛභූමික කුශල චේතනාව ගන්නා ලදී. ‘කල්පනා කරයි’ යනු අටක් වූ ලෝභ සහගත සිත්වල, තණ්හා දෘෂ්ටි විතර්ක ගන්නා ලදි. “අත් නොහැර පවතියි” යන්නෙන් දොළොසක් වූ චේතනාවන්ගෙන් සහජාත ප්‍රත්‍යයේ කෙළවර මෙන් ම උපනිශ්‍රය ප්‍රත්‍යයේ කෙළවර ද සැඟවී පවත්නා සිතුවිලි ගන්නා ලදී. “ආරම්මණං මෙතං හොති” යනු මේ චේතනා ආදී ධර්ම හටගත් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යය යන්නෙන් මෙහිදී “අරමුණ” අදහස් කරන ලදී. “විඤ්ඤාණස්ස ඨිතියා” යනු කර්ම විඥානයේ පැවැත්මයි. “ආරම්මණෙ සති” යනු ඒ ප්‍රත්‍යයන්හි අරමුණ ඇතිකල්හිය. “පතිට්ඨා විඤ්ඤාණස්ස හොති” යනු ඒ කර්ම විඥානයාගේ පිහිටීම වේ. “තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ” යනු එහි කර්ම විඥානය පිහිටි කල්හිය. “විරූළ්හෙ” යනු කර්මය වේගයෙන් දුවගොස් ප්‍රතිසන්ධිය ගැනීමට සමත් වූ, මූලබීජය හටගත් කල්හි. “පුනබ්භවාභිනිබ්බත්ති” යනු පුනර්භවය නම් වූ ඉපදීමයි.