4. කළාරඛත්තිය වර්ගය
1. භූත සූත්‍ර වර්ණනාව
කළාරඛත්තිය වර්ගයේ පළමු සූත්‍රයෙහි “අජිත පඤ්හෙ” යනු අජිත මානවකයා විසින් ඇසූ ප්‍රශ්නයෙහිය.
“සංඛාත ධම්මාසෙ” යනුවෙන් සංඛත ධර්ම ලෙස දැනගත් ධර්මය, සමාන කළ ධර්මය, තීරණය කළ ධර්මය අදහස් කරන ලදී. “සෙඛ” යනු සේඛ පුදගලයෝ සත් දෙනයි. “පුථූ” යනු එම සත්දෙනා සඳහාම “පුථූ” යැයිද කියන ලදී. “ඉධ” යනු මේ බුද්ධශාසනයෙහිය. “නිපකො” යනු නුවණැති බවයි. ඒ ප්‍රඥාවෙන් යුක්ත වූ බැවින් “නිපක” නම් වේ. නුවණැති වූ පණ්ඩිත වූ නුඹවහන්සේ මෙය දේශනා කරන සේක්වා!” යි ඉල්ලයි. “ඉරියං” යනු දිවිපැවැත්මයි. පිළිපැදීමයි. හැසිරීමයි. වාසය කිරීමයි. ප්‍රතිපත්තියයි. “මාරිස” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කථාකරයි. සේඛයන්ගේ ද සංඛත ධර්මයන්ගේද රහතන් වහන්සේලාගේ ද ක්‍රියාපිළිවෙල මවිසින් විචාරන ලදී. පණ්ඩිතයාණෙනි! නිදුකාණෙනි! එය මාහට වදාළ මැනවි මේ මෙහි සංක්ෂිප්ත අර්ථයයි.
“තුණ්හී අහොසි” යනු කුමක් නිසා තෙවැනිවර දක්වාත් ප්‍රශ්න කරන ලදුව නිශ්ශබ්දව සිටිසේක් ද? ප්‍රශ්නයෙහි ද නැතිනම් අදහසෙහි සැකකිරීමෙන්ද? අදහස පිළිබඳ සැක කිරීමෙනි. ප්‍රශ්නයේ සැකයක් නොවේ. මෙලෙස උන්වහන්සේට සිතුනි. “ශාස්තෲන් වහන්සේ මාහට සේඛ-අසේඛයන්ගේ පැමිණීම් ප්‍රතිපදාව දේශනා කරනු කැමතිවන සේක. එය ස්කන්ධ, ධාතු, ආයතන, ප්‍රත්‍යාකාර ආදී වශයෙන් බොහෝ කරුණුවලින් පැවසීමට පුළුවන. “ශාස්තෲන් වහන්සේගේ අදහස ගෙන පිළිතුරු දීමට කෙසේනම් හැකිවන්නෙම් ද? යනුවෙනි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මෙසේ සිතූ සේක. “මා හැර පාත්‍රයක ගෙන, හැසිරෙන අන්‍ය ශ්‍රාවකයන් අතරින් ප්‍රඥාවෙන් සැරියුත් තෙරුන්ට සමවන්නෙක් නැත. මම මොහුගෙන් ප්‍රශ්නයක් විමසන ලදුයෙම්, ඔහු තෙවැනිවර දක්වා ප්‍රශ්නයෙහි හා අදහසෙහි දැයි සිතමින් නිෂ්ශබ්දව ම සිටින්නේය.” ඉක්බිති අදහසෙහි යැයි දැන ප්‍රශ්නයට පිළිතුරු දෙන න්‍යාය දක්වන සේක් “භූත මිදන්ති සාරිපුත්ත! පස්සසි” යනුවෙන් දේශනා කළ සේක.
එහි “භූතං” යනු උපන්, පහළ වූ ස්කන්ධ ස්කන්ධ පංචකයට යෙදෙන තවත් නාමයකි. මෙසේ ශාස්තෲන් වහන්සේ “සාරිපුත්‍රය! මේ ප්‍රශ්නය පංචස්කන්ධ වශයෙන් විසඳිය යුතුයැ”යි තෙරුන්ට න්‍යාය දැක්වූ සේක. න්‍යාය දැක්වීමත් සමගම තෙරුන් වහන්සේට “වෙරළේ සිටි පුරුෂයාට විවෘත්තව එකම අංගණයක් ලෙස මහ මුහුද පෙනෙන්නාක් මෙන්” න්‍යාය සිය දහස් ගණනින් ප්‍රශ්නෝත්තර දෙක මැනවින් අවබෝධවිය. ඉක්බිති එය පැහැදිලි කරමින් “භූතමිදං භන්තෙ” යනාදිය දෙසූහ. එහි “භූතමිදං” යනු මෙහි උපන් ස්කන්ධ පඤ්චකයයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් මැනවින් බලන තැනැත්තාට “පටිපන්නො හොති” යනු සීලයේ පටන් අර්හත් මාර්ගය දක්වා කළකිරීම් ආදියේ අර්ථය පිණිස පිළිපන්නේ වේ. “තදාහාරසම්භවං” යන මෙය කුමක් හෙයින් අරඹන ලද්දේ ද? මේ ස්කන්ධ පංචකය ආහාරය නිසා සිටියේය. එනිසා එය “ආහාර සම්භව” යැයි දැක්වීමට මෙය ඇරඹූ සේක. මෙසේ මේ අයුරින් සේඛ ප්‍රතිපදාව දේශනා කරන ලදී. “තදාහාර නිරොධා” යනු ඒ ආහාරයන්ගේ නැතිවී යාමෙන්. මෙය කුමක් නිසා ඇරඹූ සේක් ද? ඒ පංච ස්කන්ධය, ආහාරය නොමැති වීමෙන් නිරුද්ධ වේ. එනිසා ඒ “ආහාර නිරොධ සම්භව” යන නම තබා දැක්වීමට මෙය ඇරඹූ සේක. මෙසේ මෙම සූත්‍රයේ දී ද සේඛයාගේ ප්‍රතිපදාවම කියන ලදී. “නිබ්බිදා” ආදී සියලු වචන තතියා විභක්ති වචනයැයි දතයුතුයි. “අනුපාදා විමුත්තො” යනු සිවු උපාදානයන්ගෙන් කිසිදු ධර්මයක් නොගෙන මිදීමයි. “සාධු සාධු” යනු මේ තෙරුන් වහන්සේගේ පිළිතුරු දීම නිසා තමන් වහන්සේගේ සතුට ප්‍රකාශ කිරීමයි. තමන්වහන්සේ ද එළෙසින් ම පිළිතුරු දෙන සේක් නැවත “භූතමිදං” යනාදිය දෙසූහ.
පළමු සූත්‍රයයි.
2. කළාර සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ “කළාර ඛත්තියො” යනු ඒ තෙරුන් වහන්සේගේ නමයි. උන්වහන්සේගේ දත් කලුපාටය. විෂම වූ පිහිටීම් ඇත. එනිසා, “කළාරො” යි අමතයි. “හීනායාවත්තො” යනු හීනබවට, ගිහිබවට පත්වූ, යහපත නැවතුණු යනුයි. “න අස්සමලත්ථා” යනු සැනසිල්ලක්, උපකාරයක්, පිහිටක් නොලැබුවේමය. ත්‍රිවිධ මාර්ගය ද ත්‍රිවිධ ඵලයන් ද ඒකාන්තයෙන් නොලැබුවේය යන්න දක්වයි. “ඉදින් ඒ මගඵල ලැබුවේ නම් උන්වහන්සේ ශික්ෂා ප්‍රතික්ෂේප කර, ගිහිබවට නො පැමිණේන්නේ ය” මේ තෙරුන්ගේ අදහසයි. “නඛ්වාහං ආවුසො” යනු “ඇවැත්නි! මම සැනසිල්ලකට පත්වීමි. නොපත්වූයේ යැයි සැක නොකරමි” යන ලෙස තෙරුන් වහන්සේට ශ්‍රාවක පාරමී ඤාණය පිහිටාධාර වේ. එනිසා උන්වහන්සේ සැක නොකරති. “ආයතිං පනාවුසො” යනු අනාගත ප්‍රතිසන්ධියයි. නුඹවහන්සේගේ මතු පිළිසිඳ ගැනීම ගලවා දැමුවේ ද? නොගැලවූයේ ද? යි යනුවෙන් රහත් බවට පත්වීම විචාරයි. “නඛ්වාහං ආවුසො! විචිකිච්ඡාමි” යන මෙයින් තෙරුන් වහන්සේ එහි සැක රහිත බව දක්වයි.
“යෙන භගවා තෙනුපසංකමි” යනු “මේ යහපත් කාරණය භාග්‍යවතුන් වහන්සේට දන්වන්නෙමි” යි සමීපයට පැමිණියේය. “අඤ්ඤා බ්‍යාකතා” යනු රහත්බව ප්‍රකාශකරන ලදී. “ඛීණා ජාති” යනුවෙන් තෙරුන් වහන්සේ නොපැවසූහ. මොහු වනාහි තෙරුන්වහන්සේ වෙත සතුටු වූයේ, ප්‍රසන්න වූයේ, මෙසේ පදබ්‍යඤ්ජන ආරෝපණය කර පැවසීය. “අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසී” - එය අසා ශාස්තෲන් වහන්සේ මෙසේ සිතූහ. සැරියුත් තෙරුන් වහන්සේ වනාහි නුවණැත්තාහ. ගැඹුරු ප්‍රඥා ඇතියහ. උන්වහන්සේ කිසිහේතුවක් නිසා මෙසේ පිළිතුරු නොදෙති. මේ ප්‍රශ්නය ඉතා සංක්ෂිප්ත පිළිතුරක් අපේක්ෂිත වූවක් විය යුතුයි. “කැඳවා උන්වහන්සේ ලවාම මේ ප්‍රශ්නය විමසන්නෙමි”යි එක්තරා භික්ෂුවක් ඇමතූ සේක.
“සචෙ තං සාරිපුත්ත!” මෙහි භාග්‍යවතුන් වහන්සේ, “මුන් වහන්සේ තමාගේ ධර්මතාවක් බැවින් රහත්ඵලය නොපවසන්නේය. මේ ප්‍රශ්නය විමසන්නෙමි. එයට පිළිතුරු දෙමින් ම රහත්ඵලය විස්තර කරන්නේය”යි යනුවෙන් සිතා රහත්ඵලය විස්තර කරවීමට ම මෙසේ විචාළ සේක. “යන්නිදානාවුසො! ජාති” යනු “ඇවැත්නි! මේ ජාතිය නම් යම් ප්‍රත්‍යයකින්, ඒ ප්‍රත්‍යයාගේ ගෙවීයාමෙන් ක්ෂය වූ කල්හි ජාති ප්‍රත්‍යයෙහි ‘ජාති’ නම් වූ ඵලය ක්ෂීණ වූයේ යැයි දන්නා ලදී. මෙහිදී ද සැරියුත් තෙරණුවෝ ප්‍රශ්නය පිළිබඳ සැකයක් නැතිමුත් අදහසෙහි සැක කරයි. උන්වහන්සේට මෙසේ සිතුණි. රහත්ඵලය නම් තණ්හාව ක්ෂය වීමයි. උපාදානය, භවය, ප්‍රත්‍යය යනාදිය ක්ෂය වීමයි. කෙලෙස් ක්ෂය වීමයි. මේ අයුරින් බොහෝ කරුණුවලින් රහත්ඵලය විස්තර කළ හැකිය. කෙසේ පිළිතුරු දුන්විට භාග්‍යවතුන් වහන්සේන්ගේ අදහස ගැනීමට හැකිවේද?