6. දෙවැනි අවිජ්ජාපච්චය සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ “ඉති වා භික්ඛවේ! යො වදෙය්ය” යනු ඒ පිරිසේ සිටි දෘෂ්ටිගතිකයා ප්රශ්නයක් අසනු කැමැත්තෙන් සිටියි. ඔහු අවිශාරද ස්වභාව ඇති බැවින්, නැගිට බුදුරජාණන් වහන්සේන්ගෙන් එම ප්රශ්නය ඍජුව ඇසීමට අසමත් වේ. එනිසා ඔහුගේ අදහස දැන් බුදුපියාණන් වහසේ, එම ප්රශ්නය තමන් වහන්සේ විචාරා, ඊට තමන් වහන්සේ ම පිළිතුරු දීම මෙසේ ඇරඹූ සේක.
සයවන සූත්රයයි.
7. නතුම්හ සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “න තුම්හා කං” යනු තමාට අයත් වන්නේ නම් “අත්තනිය” නම් වේ. ආත්ම වශයෙන් හෝ තමාගේ වශයෙන් නොපවතින බැවින් “නුඹලාගේ නොවේ”යැයි දෙසූහ. “නාපි අඤ්ඤෙසං” යන්නෙහි අන්යයෝ නම් අනිකුත් අයයි. ආත්මය අනුන්ගේ යැයි ගත්විට “අඤ්ඤෙසං” නම් වේ. එයද අනුන්ට අනුව නොපවතී. එනිසා “අනුන්ගේද නොවේ” යැයි දෙසූහ. “පුරාණමිදං භික්ඛවේ! කම්මං” යන මෙහි පුරාණ කර්මයම පමණක් නොවේ. පුරාණ කර්ම හේතුවෙන් උපන් මේ කය ද ඊට අයත් වේ. එහෙයින් ප්රත්ය ව්යවහාර වශයෙන් මෙසේ කියන ලදී. ප්රත්යයන්ගෙන් කරන ලද බැවින් “අභිසංඛත” නම් වේ යැයි දතයුතුයි. “අභිසංස්කරණය කිරීම”යැයි මුල් කර්ම ව්යවහාර වශයෙන්, මුල්ම ලිංග සමානාත්මතාවය ඇති බැවින් කියන ලදී. “අභිසඤ්චෙතයිතං” යනු “චේතනාව වස්තුකොට ඇති”, “චේතනාව මුල්කොට ඇති” යනුවෙන් අර්ථ දතයුතු. “වෙදයිතං” යනු වේදනාවට වස්තු වූයේ යැයි දතයුතුයි.
සත්වන සූත්රයයි.
8. චෙතනා සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ “යඤ්ච භිකඛවේ! චෙතෙති” යනු “යමක් සිතයි. පවතියි” යන අර්ථයි. “යඤ්ච පකප්පෙති” යනු යම් කරුණක් කල්පනා කරයි. සිතයි. සිතේ එකරුණ බොහෝ වේලාවක් පවත්වාගනියි. “යඤ්ච අනුසෙති” යනු යමක (සිතක) සැඟවී පවතින රාගද්වේෂාදී සිතුවිලි අත්නොහැර පවතියි. පවත්වන්නේ ද වේ යන අර්ථයයි. මෙහිද “සිතයි” යනුවෙන් ත්රෛභූමික කුශල චේතනාව ගන්නා ලදී. ‘කල්පනා කරයි’ යනු අටක් වූ ලෝභ සහගත සිත්වල, තණ්හා දෘෂ්ටි විතර්ක ගන්නා ලදි. “අත් නොහැර පවතියි” යන්නෙන් දොළොසක් වූ චේතනාවන්ගෙන් සහජාත ප්රත්යයේ කෙළවර මෙන් ම උපනිශ්රය ප්රත්යයේ කෙළවර ද සැඟවී පවත්නා සිතුවිලි ගන්නා ලදී. “ආරම්මණං මෙතං හොති” යනු මේ චේතනා ආදී ධර්ම හටගත් ප්රත්යය වේ. ප්රත්යය යන්නෙන් මෙහිදී “අරමුණ” අදහස් කරන ලදී. “විඤ්ඤාණස්ස ඨිතියා” යනු කර්ම විඥානයේ පැවැත්මයි. “ආරම්මණෙ සති” යනු ඒ ප්රත්යයන්හි අරමුණ ඇතිකල්හිය. “පතිට්ඨා විඤ්ඤාණස්ස හොති” යනු ඒ කර්ම විඥානයාගේ පිහිටීම වේ. “තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ” යනු එහි කර්ම විඥානය පිහිටි කල්හිය. “විරූළ්හෙ” යනු කර්මය වේගයෙන් දුවගොස් ප්රතිසන්ධිය ගැනීමට සමත් වූ, මූලබීජය හටගත් කල්හි. “පුනබ්භවාභිනිබ්බත්ති” යනු පුනර්භවය නම් වූ ඉපදීමයි.
“නො චෙ භික්ඛවෙ! චෙතෙති” යන මෙයින් ත්රෛභූමික චේතනාවෙන්හි ‘නොපවත්නා ක්ෂණය’ පවසන ලදී. “නො ච පකප්පති” යන මෙයින් තෘෂ්ණා දෘෂ්ටි විතර්කයන්ගේ නොපවත්නා ක්ෂණය පැවසේ. “අථ චෙ අනුසෙති” යන මෙයින් ත්රෛභූමික විපාකයන්හි අල්ප වූ ක්රියාවන්හි “රූපය” යැයි මෙහි ප්රහීන නොවූ කෙළවර ඇති, සැඟවී පවතින රාගාදී සිතුවිලි ගන්නා ලදී. “ආරම්මණමෙතං හොති” යනු සැගවී පවත්නා අනුසයන් පවතින විට කර්ම විඥානයේ උපත, හටගැනීම නොවැලැක්විය හැකිය. එය “අනුසය ජාත” ප්රත්ය වේ.
“නොචෙ ව චෙතෙති” යනාදියෙහි පළමු පදයෙන් ත්රෛභූමික කුශලාකුශල චේතනාවන් නවතන ලදී. දෙවැනි පදයෙන් අටවැදෑරුම් වූ සිත්හි තෘෂ්ණා දෘෂ්ඨි ආදිය නවතන ලදී. තෙවැනි පදයෙන් කියූ පරිදිම ධර්මයන්හි ප්රහීන නොවී පවත්නා අනුසය ධර්මවේ නම්, ඒවා වලකන ලදී. නවතන ලදී.
තවද මෙහි නොමුලාබව පිණිස සිතයි. කල්පනා කරයි. අත්නොහැර පවතියි; සිතයි. කල්පනා නොකරයි. අත්නොහැර පවත්වයි; නොසිතයි. කල්පනා නොකරයි. අත්නොහැර පවත්වයි; නො සිතයි. කල්පනා නොකරයි. අත්නොහැර නොපවත්වයි. මේ සතර ක්රමය දැනගත යුතුයි. මෙහි පළමු ක්රමයෙන් ධර්මය බෙදා දැක්වීම දක්වන ලදී. දෙවැනි ක්රමයෙන් “සිතයි” යනු ත්රෛභූමික කුශල චේතනා, සිවුවැදෑරුම් අකුසල චේතනා ගන්නා ලදී. “කල්පනා නොකරයි” යනුවෙන් සිත් අටෙහි තණ්හා දෘෂ්ටිය නවතන ලදී. “අත්නොහැර පවත්වයි” යනුවෙන් ත්රෛභූමික කුසලයන්හි උපනිශ්රය වූ ද සතර අකුසල චේතනාවන්හි පවතින සහජාත වූ ද උපනිශ්රය වූ ද අනුසයන් ගන්නා ලදී. තෙවැනි ක්රමයෙහි “නොසිතයි” යනු ත්රෛභූමික කුශලාකුශලයෝ නවතන ලදී. “කල්පනා නොකරයි” යනුවෙන් අටක් වූ සිත්හි තණ්හා දෘෂ්ටිය නවතන ලදී “අත්නොහැර පවත්වයි” යනුවෙන් සූත්රයේ පැමිණි කරුණ වලක්වා, ත්රෛභූමික කුශලාකුශල, විපාක, ක්රියා, රූපාදියෙහි අප්රහීන වූ උපනිශ්රය ප්රත්යය ගන්නා ලදී. සතරවන ක්රමය පළමු ක්රමයට සමාන වේ.
“තදප්පතිට්ඨිතෙ” යනු එහි නොපිහිටි කල්හිය. “අවිරූළ්හෙ” යනු කර්මය දුවගොස් ප්රතිසන්ධිය ඇදගැනීමට සමත් වූ නොහටගන්නා මුල් ඇති කල්හිය. විඤ්ඤාණය නොවැඩුණු කල්හිය. - මෙහිදී කුමක් කියන ලදද? අර්හත් මාර්ගයේ කටයුතු, රහතන් වහන්සේගේ කටයුතු, නවලෝකෝත්තර ධර්මය යනාදියද මෙහි සඳහන් කිරීම සුදුසුය. මෙහිද විඤ්ඤාණයට මෙන්ම මතු පුනර්භවයට ද අතර එක් සන්ධියක් ඇත. වේදනා හා තණ්හා දෙක අතර එක් සන්ධියකි. භව හා ජාති දෙක අතර තවත් සන්ධියකි. මෙසේ සන්ධි තුනකි.
අටවන සූත්රයයි.
9. දෙවැනි චෙතනා සූත්ර වර්ණනාව