9. බාලපණ්ඩිත සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “අවිජ්ජා නීවරණස්ස” යනු අවිද්‍යාව වැළැක්වූවහටයි. “ඒවමයං කායො සමුදාගතො” යනු අවිද්‍යාවෙන් මිදුණු බැවින් තණ්හාවෙන් යුක්තවූවම මේ කය ඉපදුණි යනුයි. “අයඤ්චෙ ව කායො” යනු තමාගේ සවිඤ්ඤාණක වූ මේ කයයි. “බහිද්ධාච නාමරූපං” යනු බාහිර වූ අන්‍යන්ගේ සවිඤ්ඤාණක කයයි. තමාගේත් අනුන්ගේත් පංචස්කණ්ධයෙන් හා ආයතණ සයෙන් මේ අර්ථ දැක්විය යුතුයි. “ඉත්ථෙතං ද්වයං” යනු මෙසේ මේ නාමරූප දෙකයි. “ද්වයං පටිච්ච ඵස්සො” - අන්‍ය වූ ඇස-රූප යන දෙක ගැටීමෙන් ස්පර්ශාදිය ඇතිවේ යැයි කියන ලදී. මෙහි වනාහී අධ්‍යාත්මික හා බාහිර ආයතන වශයෙනි. “මහාද්වය” යනුවෙන් මේ දෙක හැඳින්වේ. “සළෙවායතනානි” යනු සයක් වූ ස්පර්ශායතන හා ස්පර්ශ කරණායතනයන් ය. “යෙහි ඵුට්ඨො” යනු යම් හේතු-භූත වූ ආයතන වලින් උපන් පහසින්, ස්පර්ශ කරන ලද්දේ යනුයි. “අඤ්ඤාතරෙන” යන මෙහි පරිපූර්ණ - අපරිපූර්ණ වශයෙන් එකකින් හෝ ඊට වැඩි ගණනකින් දතයුතුයි. “තත්ර“ යනු ඒ බාල-පණ්ඩිත සැමදෙනාගේම කයින් පහළ වූ දෙයෙහිය. “කො අධිප්පායො” කවර අධික ප්‍රයෝගයක් ද?
එම ධර්මයන්ට භාග්‍යවතුන් වහන්සේ මූලික බැවින් “භගවංමූලකා” යැයි යෙදේ. මේ කියන ලදී. - “ස්වාමීණි, අපගේ මේ ධර්මයෝ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් උපදවන ලදහ. උන්වහන්සේගේ පිරිනිවණින් පසුව එක් බුද්ධාන්තරයක් ගතවන තුරු වෙනත් කිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ ධර්ම උපදවා ගැනීමට අසමත් වූ හ. දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම උපදවන ලද බැවින්; ඔබවහන්සේ නිසාම අපි මේ දහම දනිමු. මනාව අවබෝධ කරමු. ස්වාමීනි! මෙලෙසින් අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට පවතින්නෝ ය. “භගවන්නෙත්තිකා” යනු ධර්මයන්ගේ නායකයා, හික්මවන්නා, සමාදන් කරවන්නා භාග්‍යවතුන් වහන්සේ මය. යථා ස්වභාව වශයෙන් ධර්මය වෙන් වෙන් වශයෙන් ගෙන හැර දක්වන ලද බැවින් “භාග්‍යවතුන් වහන්සේම නායක කරගෙන ඇත” නම් වේ. “භගවම්පටිසරණා” යනු චාතූර්භූමික ධර්මයෝ සර්වඥ ඥානයාගේ දැකීමට පැමිණෙමින් භාග්‍යවතුන් වහන්සේම පිහිට කොට ඇතැයි, උන්වහන්සේ වෙතම එක් රැස් වේ යැයි කියන ලදී. පටිසරති යනු එක් රැස්වේ. එක්තැන් වේ යන අර්ථයි. තවද - මහබෝ මැඬ හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රතිවේධ වශයෙන් ස්පර්ශය පැමිණෙයි. “භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ ස්පර්ශ කිරීම් අර්ථයෙන් “ඵස්ස” නම් වේ. මෙලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදියද උන්වහන්සේ ගේ සිතට පැමිණෙයි. ‘භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ දැනගැනීම් අර්ථයෙන් ‘විඤ්ඤාණ නම් වේ.’ මෙසේ චාතූර්භූමික වූ යථා ස්වභාවය වෙන් වෙන් වශයෙන් ගනිමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රාශිභූත කරයි. මේ අරුතින්-“භගවම්පටිසරණා” නම් වේ. “භගවන්තඤ්ඤෙ ව පටිභාතු” යනු භාග්‍යවතුන් වහන්සේට මේ දේශනයේ අර්ථ වැටහේවා. නුඹ වහන්සේම අපට විස්තර වශයෙන් දේශනා කරන සේක්වා යන අර්ථයයි.
“සා චෙව අවිජ්ජා” යන මෙහි කෙසේ වුවත්, අවිද්‍යාවද තණ්හාවද කර්මය වේගවත් කරවා ප්රතිසන්ධිය ඇද නිරුද්ධ කරන ලදී. යම් සේ යම් බෙහෙතක් අද හෝ ඊයේ පානය කරන විටම “ආහාර අනුභව කරව” යි සමාන වූ ගැලපීන් අර්ථයෙන් “එකණෙහිම” යැයි කියත්ද එලෙසින්ම මෙහිද ඒ අවිද්යාවම “ඒ තණ්හාව” යැයි සමානාර්ථයෙන් කියන ලදී. “බ්රහ්මචරියං” යනු මාර්ග බ්‍රහ්මචර්යාවයි. “දුක්ඛක්ඛයාය” සංසාරික පැවතීම් වශයෙන් ඇති දුකෙහි නැති කිරීම පිණිස. “කායූපගො හොති” අනිත් ප්රතිසන්ධි කයට පැමිණියේ වේ. “යදිදං බ්‍රහ්මචරිය වාසො” යමෙක් මේ මාර්ග බ්‍රහ්මචර්යාවේ යෙදී වාසය කිරීම. මෙහිදී බාලයාගෙන් පණ්ඩිතයා විශේෂ වේයයි දක්වයි. මෙම සූත්‍රයේ සියලු ආකාර පිළිසිඳ ගැනීම් සහිත පුහුදුන් පුද්ගලයා, “බාලයා” යැයි ද පිළිසිඳ ගැනීම් රහිත ක්ෂීණාස්රව රහතන් වහන්සේ “පණ්ඩිතයා” යැයි ද කියන ලදී. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී පුද්ගලයෝ වනාහී පණ්ඩිතයෝමය. ඔවුහු බාලයෝ යැයි නොකිව යුතුයි. ඇසුරු කරන්නෝ වනාහී පණ්ඩිත පක්ෂයම ඇසුරු කරති.
නවවන සූත්‍රයයි.
10. පච්චය (පච්චයුප්පන්න) සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “පටිච්ච සමුප්පාදඤච වො භික්ඛවෙ! දෙසිස්සාමි පටිච්ච සමුප්පන්නෙන ච ධම්මෙ” යනුවෙන් ශාස්තෲන් වහන්සේ මේ සූත්‍රයේ ප්‍රත්‍යන්හිද ප්‍රත්‍ය ඉපදීමේහි ද යන දෙකෙහි ධර්ම ස්වභාවය දේශනා කරන්නෙමි’යි ද්විධ දේශනාව ඇරඹූ සේක. “උප්පාදවා තථාගතානං” යනු තථාගතවරු, බුදුවරු පහළ වුවත්-නොවූවත් ජාති ප්‍රත්‍යය නිසාම ජරාමරණ දෙක පවතී. ජාතියම (ඉපදීම ම) ජරාමරණ දෙකට හේතු වේ යනුයි. “ඨිතාව සධාතු” යනු ඒ ප්‍රත්‍යයයේ ස්වභාවය ඒ පරිදිමය. කිසිදිනෙකත් ජාතිය ජරාමරණ දෙකෙහි ප්‍රත්‍යය නොවන්නේ නොවේ යනුයි. (වන්නේමය) “ධම්මට්ඨිතිතා ධම්මනියාමතා” යනු මේ දෙපදයෙන් ප්‍රත්‍ය ගැනම පවසයි. ප්‍රත්‍ය නිසාම ප්‍රත්‍යුත්පන්න ධර්මයෝ පවතිති. එනිසා ප්රත්යයන්ට ම “ධම්මට්ඨිතිතා” යනුවෙන් කියයි. ප්‍රත්‍යයන්ම ධර්ම මෙහෙයවයි. එනිසා ප්රත්යයන්ට “ධම්මනියාමතා” යි කියනු ලැබේ. “ඉදප්පච්චතා” මේ ජරාමරණාදීන්ගේ හේතුව-ප්‍රත්‍යය ඉදප්පච්චයතාවයි. මෙය ප්‍රත්‍යකොට පැවතීමම ඉදප්පච්චයතාවයි. “තං” යනු ඒ ප්‍රත්‍යයයි. “අභිසම්බුජ්ඣති” යනු ඤාණයෙන් මනාව අවබෝධ කරගනියි. “අභිසමෙති” යනු ඤාණයෙන් දැනගනියි. “ආචික්ඛතී” යනු කියයි. දේශනා කරයි. “දෙසෙති” යනු දක්වයි. “පඤ්ඤාපෙති” යනු දන්වයි. “පට්ඨපෙති” යනු ඤාණය නැමැති මුවෙහි තබයි. “විවරතී” යනු විවරණය කර දක්වයි. “විභජති” යනු බෙදීම් වශයෙන් දක්වයි. “උත්තානි කරොති” ප්‍රකට කරයි. “පස්සථාති චාහ” බලවු යැයි කියයි. කුමක්ද? “මහණෙනි! ජාති ප්‍රත්‍ය නිසා ජරාමරණ පවතී ආදී වශයෙනි.