10. පච්චය (පච්චයුප්පන්න) සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “පටිච්ච සමුප්පාදඤච වො භික්ඛවෙ! දෙසිස්සාමි පටිච්ච සමුප්පන්නෙන ච ධම්මෙ” යනුවෙන් ශාස්තෲන් වහන්සේ මේ සූත්‍රයේ ප්‍රත්‍යන්හිද ප්‍රත්‍ය ඉපදීමේහි ද යන දෙකෙහි ධර්ම ස්වභාවය දේශනා කරන්නෙමි’යි ද්විධ දේශනාව ඇරඹූ සේක. “උප්පාදවා තථාගතානං” යනු තථාගතවරු, බුදුවරු පහළ වුවත්-නොවූවත් ජාති ප්‍රත්‍යය නිසාම ජරාමරණ දෙක පවතී. ජාතියම (ඉපදීම ම) ජරාමරණ දෙකට හේතු වේ යනුයි. “ඨිතාව සධාතු” යනු ඒ ප්‍රත්‍යයයේ ස්වභාවය ඒ පරිදිමය. කිසිදිනෙකත් ජාතිය ජරාමරණ දෙකෙහි ප්‍රත්‍යය නොවන්නේ නොවේ යනුයි. (වන්නේමය) “ධම්මට්ඨිතිතා ධම්මනියාමතා” යනු මේ දෙපදයෙන් ප්‍රත්‍ය ගැනම පවසයි. ප්‍රත්‍ය නිසාම ප්‍රත්‍යුත්පන්න ධර්මයෝ පවතිති. එනිසා ප්‍රත්‍යයන්ට ම “ධම්මට්ඨිතිතා” යනුවෙන් කියයි. ප්‍රත්‍යයන්ම ධර්ම මෙහෙයවයි. එනිසා ප්‍රත්‍යයන්ට “ධම්මනියාමතා” යි කියනු ලැබේ. “ඉදප්පච්චතා” මේ ජරාමරණාදීන්ගේ හේතුව-ප්‍රත්‍යය ඉදප්පච්චයතාවයි. මෙය ප්‍රත්‍යකොට පැවතීමම ඉදප්පච්චයතාවයි. “තං” යනු ඒ ප්‍රත්‍යයයි. “අභිසම්බුජ්ඣති” යනු ඤාණයෙන් මනාව අවබෝධ කරගනියි. “අභිසමෙති” යනු ඤාණයෙන් දැනගනියි. “ආචික්ඛතී” යනු කියයි. දේශනා කරයි. “දෙසෙති” යනු දක්වයි. “පඤ්ඤාපෙති” යනු දන්වයි. “පට්ඨපෙති” යනු ඤාණය නැමැති මුවෙහි තබයි. “විවරතී” යනු විවරණය කර දක්වයි. “විභජති” යනු බෙදීම් වශයෙන් දක්වයි. “උත්තානි කරොති” ප්‍රකට කරයි. “පස්සථාති චාහ” බලවු යැයි කියයි. කුමක්ද? “මහණෙනි! ජාති ප්‍රත්‍ය නිසා ජරාමරණ පවතී ආදී වශයෙනි.
“ඉති ඛො භික්ඛවෙ” යනු “මහණෙනි! මෙසේ යනුයි. “යා තත්‍ර” යනු ඒ ජාතිප්‍රත්‍ය හේතුවෙන් ජරාමරණ වේ. යනාදියෙහිය. “තථතා” යනු ආදිය ප්‍රතීත්‍ය සමුත්පාදයට ම සමාන වදන් වේ. ඒ ඒ ප්‍රත්‍යයන් නිසා අඩුවැඩි වශයෙන් ඒ ඒ ධර්මයන්ගේ පහළවීම “තථතා” තථතාවයි. සාමග්‍රියට, එක්වීමට පැමිණි ප්‍රත්‍යයන්හි මොහොතක් හෝ ඉපදීම ගෙනදුන් ධර්මයන්ගේ විද්‍යමාන නොවීම “අවිතථතා” අවිතථතාවයි. අන්‍ය ධර්ම ප්‍රත්‍යයන්හි අන්‍ය ධර්ම පැමිණීමෙන් “අනඤ්ඤතා” වේ. ජරාමරණාදීන්ගේ ප්‍රත්‍ය වශයෙන් හෝ ප්‍රත්‍ය සමූහ වශයෙන් හෝ “ඉදප්පච්චයතා” යි කියන ලදී. එහි මේ වචනාර්ථයයි. මේ ප්‍රත්‍යයන්ගේ හේතුවෙන් පැවතීම - ඉදප්පච්චයතාවයි. ඉදප්පච්චයම ඉදප්පච්චයතාවයි. ඉදප්පච්චයන්ගේ සමූහය - ඉදප්පච්චයතාවයි. මෙහි ශබ්ද ශාස්ත්‍ර ලක්ෂණ මේ අයුරින් දතයුතුයි.
“අනිච්චං” යනු පැවතී නැතිවීම් අර්ථයෙන් අනිත්‍යයයි. මෙහිද අනිත්‍යයනුවෙන ජරාමරණ අනිත්‍ය නොවේ. අනිත්‍ය ස්වභාවය වනාහී ස්කන්ධයන්ගේ ජරාමරණ වශයෙන් පැවැත්ම අනිත්‍ය නම් වේ. සංඛත ද්‍රව්‍යයන්හි වනාහී මේ ක්‍රමයමයි. මෙහි “සංඛතං” යනු හේතුප්‍රත්‍ය සමවායෙන් කරන ලද යන්නයි. “පටිච්ච සමුප්පන්නං” යනු ප්‍රත්‍යයන් නිසා උපන් යනුයි. “ඛය ධම්මං” යනු ක්ෂයවන ස්වභාවයයි. “වයධම්මං” යනු පහවන - නැතිවන ස්වභාවයයි. “විරාග ධම්මං” යනු නොඇලෙන ස්වභාවයයි. “නිරෝධ ධම්මං” යනු නිරුද්ධ වන - නැතිවන ස්වභාවයයි. උපත-ඉපදීම් ආදිය ද කියන ලද පරිදිම අනිත්‍යය යැයි දතයුතුයි. ජනක ප්‍රත්‍යයන්ගේ හෝ කෘත්‍යානුභාව ක්ෂණයෙහි නිර්දේශ කරන ලද බැවින් එක් පර්‍යායකින් මෙහි “අනිත්‍යය” යැයි ආදී වශයෙන් යෙදෙන්නේමය. භවාදිය අනිත්‍යාදී ස්වභාවයෙන් යුක්තවේමය.
“පඤ්ඤාය” යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙනි. “පුබ්බංතං” යනු පූර්ව අන්තය, අතීත කාලය යන අර්ථයි. “අහොසිංනුඛො” ආදියෙහිද ඉක්මගිය කාලයයි. “අහොසිං නුඛො තත්‍ර ඛො” යනු ශාස්වත ආකාරයද අධිච්ච සමුප්පන්න ආකාරයද නිසා අතීතයේ තමා විද්‍යමාන වී ද? නොවීද? යනුවෙන් සැක කරන හෙයින් “කවර කරුණකින්ද?” යි නොකිව යුතුයි. උම්මත්තකයෙකු මෙන් බාල පුහුදුන් පුද්ගලයා යම් සේ සිතත්ද එසේ පවතියි. “කිං නුඛො අහොසිං” ජාති-ලිංග-උත්පත්ති ආදිය නිසා ක්ෂත්‍රියෙක් වී ද? බමුණෙක්-වෛශ්‍යයෙක්-ශුද්‍රයෙක්-ගිහියෙක්-පැවිද්දෙක්-දෙවියෙක්-මිනිසෙක් යනාදීන්ගෙන් කවරෙකු වීද? යි සැක කරයි. ඇතැමෙක් වනාහී ඊශ්වර නිර්මාණවාදී අදහස් නිසා කවර කරුණකින් වීද? යි හේතු වශයෙන්ද සැකකරන බව පවසති. “කිං හුත්වා කිං අහොසි” ජාති ආදිය නිසා ක්ෂත්‍රියයෙක් වී බ්‍රාහ්මණයෙක් වී ද? -පෙ- දෙවියෙක් වී මිනිසෙක් වී ද? ආදී ලෙස තමාගේ භව පරපුර සැක කරයි. සැමතැනම වනාහී “අද්ධානං” යනු කාලය හඟවන පදයකි. “අපරන්තං” යනු අනාගත අන්තයකි. “භවිස්සාමිනුඛො නනුඛො” යනුවෙන් ශාස්වත ආකාරයද උච්ඡේද ආකාරයද නිසා අනාගතයේ තමා විද්‍යමාන වීද? අවිද්‍යමාන වීද? යි සැක කරයි. ඉතිරි පදයන්ගේ අර්ථ ද මෙලෙස දතයුතුයි.