2. අහාර වර්ගය
1. ආහාර සූත්‍ර වර්ණනාව
ආහාර වර්ගයේ පළමු සූත්‍රයේ “ආහාරා” යනු ප්‍රත්‍යයයි. හේතුප්‍රත්‍යයෙන් තමඵලය ගෙනයන්නේ යන අරුතින් (ආහාරන්තීති) “ආහාරා” නම් වේ. “භූතානං වා සත්තානං” යනාදියෙහි “භූතා” යනු උපන්නා වූ, ඉපදුනා වූ යන අර්ථයයි. “සම්භවෙසිනො” යනු යමෙක් උපතක්, ජාතියක්, ඉපදීමක් සොයත් ද ගවේෂණය කරත් ද ඔවුහුය. එහි සතර යෝනිවල අණ්ඩජ හා ජලාබුජ සත්ත්වයෝ යම්තාක් කල් බිත්තර කටුව හෝ ගර්භාෂය නොබිඳිත්ද ඒ තාක් ‘සම්භවේසී’ නම් වෙති. බිත්තරයත් ගර්භාෂයත් බිඳ පිටත නික්මෙත් ද එවිට ඔවුහු “භූත” නම් වේ. සංසේදජයෝ ද ඕපපාතිකයෝ ද පළමු චිත්තක්ෂණයෙහි “සම්භවේසී” නම් වෙති. දෙවන චිත්තක්ෂණයේ සිට ඔවුහු ද භූත නම් වෙති. යම් ඉරියව්වකින් පහල වී, එම ඉරියව්ව වෙනස් නොකරන තාක් කල් ඔවුහු සම්භවේසී නම් වෙති. ඉරියවු වෙනස් කළ පසුව ‘භූත’ නම් වෙති. නැතිනම් භූත යනු උපන්-හටගත් සත්ත්වයෝය. එබඳු භූත වූ සත්ත්වයෙක් නැවත නූපදින සංඛ්‍යාවට පැමිණියේ එනම් ක්ෂීණාස්‍රවයන් වහන්සේලාට භාවිත මේ තවත් නමකි. නැවත උපතක් සොයන්නෝ සම්භවේසී නම් වෙති. ප්‍රහීණ නොකල භව සංයෝජන ඇති බැවින් අනාගතයෙහි ද උපතක් සොයන - සේචයන්ට හා පුහුදුන් පුද්ගලයන්ට භාවිත වේ තවත් නාමයකි. මෙසේ සියලුම ආකාරයෙන් මේ පද දෙකින් සෑම සත්ත්වයෙක්ම අදහස් කරනු ලැබේ. (හාත්පසින් ගනු ලැබේ.) “වා” ශබ්දය මෙහිදී සම්පිණ්ඩනය කිරීම් අර්ථයෙන් යෙදී ඇත. එනිසා භූතයෝ ද සම්භවේසියෝ ද යනුවෙන් මෙහි අර්ථ දතයුතුයි.
“ඨිතියා” යනු සසර සිටි බවයි. “අනුග්ගහායා” - ‘අනුග්‍රහ කිරීම පිණිස’ යනුයි. මේ වචන භේදයක්මය. පද දෙකෙහිම අර්ථය එක සමානය. නැතහොත් “ඨිතියා” යනු ඒ ඒ සත්ත්වයන් තුළ උපන් ධර්මයන්ගේ අනුප්‍රබන්ධ වශයෙන් නොසිඳී පැවැත්වීම පිණිස යනුයි. “අනුග්ගහායා” යනු “නූපන් ධර්මයන්ගේ ඉපදීම පිණිස උපකාර කිරීමයි.” මේ දෙපදයේදී භූතයන්ගේ පැවැත්ම මෙන්ම අනුග්‍රහ පිණිස ද සම්භවේසීන්ගේ පැවැත්ම මෙන් ම අනුග්‍රහ පිණිසද යනුවෙන් උභය අර්ථ දතයුතුය.
“කබළිංකාරො ආහාරො” පිඬුකර ගිලදැමිය යුතු ආහාරය. බත්, පිට්ටු ආදී ආහාර ද්‍රව්‍යයන්ගේ ඕජාවට භාවිත මේ තවත් වදනකි. “ඕළාරිකො වා සුඛුමො වා” ආහාර ද්‍රව්‍යයන්ගේ දැඩි වූ බැවින් ඕළාරික වූ, සියුම් වූ, සූක්ෂම රූප ඇතුලත් බැවින් කබලිංකාර ආහාරය සූක්ෂම වේ. එයද ඒ වස්තූන්ගේ ඕළාරික බව හා සූක්ෂම බව උපමාකොට හෝ සමානකොට දතයුතුය.
කිඹුලන්ගේ ආහාරයට වඩා මොණරුන්ගේ ආහාරය සියුම් වේ. කිඹුල්ලු වනාහී ගල් ගිලති. එම ගල් ඔවුන්ගේ කුසට පැමිණ දියවේ. මොණරු සර්ප, ගෝනුසු ආදී ප්‍රාණීන් ආහාරයට ගනිති. මොණරුන්ගේ ආහාරයට වඩා කළු වලසුන්ගේ ආහාරය සියුම් වේ. කළු වලස්සු වසර තුනක් අත්හැරදැමූ “අං” හා “ඇට” ආහාරයට ගනිති. ඒවා එම වළසුන්ගේ කෙළවලින් තෙමුණු පමණින් ම කදමුල් මෙන් ඉතා සියුම් වේ. කළු වලසුන්ගේ ආහාරයට වඩා ඇතුන්ගේ ආහාරය සියුම් වේ. ඇත්තු වනාහී නොයෙක් ගස්-අතු ආදිය ආහාරයට ගනිති. ඇතුන්ගේ ආහාරයට වඩා ගවර-ගෝණ-මුව ආදීන්ගේ ආහාරය ඉතා සියුම් වේ. ඔවුහු නිස්සාර වූ නොයෙක් ගස්-කොළ-දළු ආදිය ආහාරයට ගනිති. මොවුන්ගේ ආහාරයට වඩා ගවයන්ගේ ආහාරය සියුම් වේ. ගොනුන් අමු හා වේලුණු තණ ම ආහාරයට ගනිති. ගවාහාරයට වඩා හාවුන්ගේ ආහාරය සියුම් වේ. හාවුන්ගේ ආහාරය වඩා පක්ෂීන්ගේ ආහාරය සියුම් වේ. කුරුල්ලන්ගේ ආහාරයට වඩා පිටිසර වැසි මිනිසුන්ගේ ආහාරය සියුම්වේ. පිටිසර වැසියන්ගේ ආහාරයට වඩා ග්‍රාමභෝජකයන්ගේ ආහාරය සියුම් වේ. ග්‍රාමභෝජකයන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යාදීන්ගේ භෝජනය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුන්ගේ ආහාරය සියුම් වේ. සක්විති රජුගේ ආහාරයට වඩා භූමි වැසි දෙවියන්ගේ ආහාරය සියුම් වේ. භූමි වැසි දෙවියන්ගේ ආහාරයට වඩා චාතුම්මහාරාජික දෙවියන්ගේ ආහාරය සියුම් වේ. මෙසේ පරනිම්මිත වසවත් දෙවියන් දක්වා විස්තර කළ යුතුයි. පරනිම්මිත වසවත් දෙවියන්ගේ ආහාරය ම ඉතා සියුම් වේ. එතැනින් කබලිංකාර ආහාර විස්තරය නිමා වේ.
මෙහිද දළ ආහාරයේ පෝෂ්‍ය ගුණය ඉතා අල්පය. ඉතා දුබලය. සූක්ෂම ආහාරයේ පෝෂ්‍ය ගුණය ඉතා බහුලය. ප්‍රබලය. ඒ එසේමැයි. එක පාත්‍රයක් පුරවා කැඳ බිවූ විට මොහොතකින්ම කුසගිනි ඇතිවේ. යම් කිසිවක් කනු කැමති වේ. ගිතෙල් වනාහි අල්ලක් පමණ ප්‍රමාණයක් වුව පානය කර, දවසක්ම ආහාර නොගෙන සිටිය හැකිය. ඒ ආහාර වස්තුවේ කර්මජ, තෙජස් සංඛ්‍යාත වූ සූක්ෂමතාවය අනතුරු දුරු කරයි. නමුත් එය ශරීර පාලනයට සමත් නොවේ. පෝෂ්‍යගුණය වනාහී ශරීර පාලනයට සමත් වේ. එනමුත් අතුරු ආබාධ දුරු කිරීමට එය සමත් නොවේ. මෙනිසා ආහාරයේ ඇති ඕළාරික බවත් සූක්ෂම බවත් එක්වීමෙන් ශරීරයේ ඇති අතුරු ආබාධාදී උවදුරු ද දුරු කරයි. ශරීරය මැනවින් පාලනය කරයි.
“ඵස්සො දුතියො” යනු චක්ෂු ස්පර්ශාදී වශයෙන් ඵස්සාහාරය සය වැදෑරුම් වේ. මේ සිවු ආහාර අතුරින් දෙවන ආහාරය ස්පර්ශයයි. මේ දේශනා නය ක්‍රමයයි. එනිසා මේ නම් කිරීමේ හේතුවෙන් දෙවන - තෙවන ආදී වශයෙන් මෙහි අර්ථ නොසෙවිය යුතුය. “මනොසඤ්චෙත්තා” යනුවෙන් වේදනාවම කියන ලදී. “විඤ්ඤාණං” යනු සිතයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙතැනදී “තණ්හාවෙන් ගන්නා ලද” සහ “තණ්හාවෙන් නොගන්නා ලද” වශයෙන් ඒකරාශී කර - සතර ආහාරයන් දක්වන ලදී. කබලිංකාර ආහාරය උපාදිණ්ණක (තෘෂ්ණාවෙන් ගත්) හා අනුපාදිණ්ණක (තෘෂ්ණාවෙන් නොගත්) යනුවෙන් දෙකොටසකි. ඵස්සාදී ආහාරවල ද එසේමය. එහි සර්පාදීන් විසින් ගිලින ලද මැඩියන්ගේ වශයෙන් උපාදිණ්ණක කබලිංකාර ආහාරය දත යුතුයි. මැඩි ආදී සත්තු, සර්පයන් විසින් ගිලින ලදුව - කුස තුලට ගියත් සුළු කාලයක් ජීවත් වන්නේ ම ය. ඒ මැඩි ආදීහු, “උපාදිණ්ණක” කොටසට අයත්ව පවතින තාක් ආහාරය පිණිස හේතු නොවෙති. ඔවුහු ඉන් බිඳී - මරණයට පත්ව-“අනුපාදිණ්ණක” කොටසට අයත් වේ ද එවිට ආහාරය පිණිස හේතුවෙනි. “ඇතැම්හු මෙයටද උපාදිණ්ණක ආහාරය ම යැයි කියති.” යන මේ කාරණය - පුරාණ ආචාරීන්ට රුචි නොවන බව පවසා අටුවාවේදී (හෙළටුවා) මේ අදහස ප්‍රතික්ෂේප කර මෙසේ කියන ලදී. “මේ සත්වයන්ගේ ආහාර ගැනීම සිදු වුවත් - නැතත්, අනුභව කළත් නොකළත් ප්‍රතිසන්ධි සිතින් ම එක්ව උපන් (සහජාත වූ) කර්මජ ධාතුව “ඕජා” නම් වේ. එය සත්වන දිනය දක්වා (සතියක්ම) සිරුර පාලනය කරයි. මෙයම “උපාදිණ්ණක කබලිංකාර ආහාරය” යැයි දතයුතුයි. ත්‍රෛභූමික විපාක වශයෙන් උපාදිණ්ණක ඵස්සාදී ආහාර දත යුතුයි. ත්‍රෛභූමික කුසලාකුසල ක්‍රියා වශයෙන් අනුපාදිණ්ණක ලෝකෝත්තර සිත් වැඩීම් වශයෙන් කියන ලදී.