8. තිම්බරුක සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - “සා වෙදනා” ආදියේ සැප-දුක් දෙක තමා විසින් කරන ලදැයි යන පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම සඳහා කියන ලදී. මෙහිද “සතො” යනු සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. මේ එහි අර්ථ විස්තරයයි. “තිම්බරුක! ඒ වේදනාව ඔහු විඳියි’ යනුවෙන් මුලදීම ගත්විට දුක තමා විසින් ම කරන ලදැ’යි යන මේ පිළිගැනීම ඇතිවේ. වේදනාව විසින් ම වේදනාව කරන ලදැයි දේශනා කළවිට, මේ වේදනාව පෙරත් තිබූ අනුදන්නා ලදැයි ශාස්වත වශයෙන් ගනියි. කුමක් නිසාද? මෙහිදී මෙකරුණ දැක්වීමට “මෙය අනිකකි” “මෙය ශාස්වත බවට පැමිණේ” යන අර්ථ යෙදේ. මුල් අර්ථය සඳහා ම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ වන්නේය. මෙනිසා අවුවාවෙහි (හෙළටුවාවේ) එය යොදාම මේ අර්ථය දක්වන ලදී. “එවම්පහං න වදාමී” යනු මම “ඒ වේදනාව ඔහු විඳියි” යැයි නොකියමි. දුක තමා විසින් කරන ලදැයි ද නොකියමි යන අර්ථයි.
“වේදනාව අනිකකි.” ආදී වශයෙන් සැප-දුක් දෙක අනුන් විසින් කරන ලදැයි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සඳහා කියන ලදී. මෙහි ද මේ අර්ථ යෙදීමයි. “තිම්බරුක! වේදනාව අනිකකි. “අනිකෙක් විඳියි” යනුවෙන් මුලදීම ගත්විට, පසුව ප්‍රථම පක්ෂයේ වූ කාරක-වේදනා-සඤ්ඤා යනාදිය සිඳ දමන ලදී. “තමා විසින් කළ දේ අනිකෙක් විඳී” යනුවෙන් උපන් උච්ඡේද දෘෂ්ටියත් සමග සම්ප්‍රයුක්ත වූ වේදනාව මැඩපැවැත්වූවහට වනාහී “සැපදුක් දෙක අනිකකු විසින් කරන ලදැ”යි යන මේ පිළිගැනීම ඇතිවේ. මෙසේ පවසන කල්හි - “කාරකයා සිඳින ලදී. අනිකකු විසින් ප්‍රතිසන්ධිය ගන්නා ලදී.” යනුවෙන් උච්ඡේද දෘෂ්ටිය දක්වයි. කුමක් හෙයින් උච්ඡේද දෘෂ්ටිය ගන්නේ ද? එහිදී එකරුණ දැක්වීමට-‘මෙය අනිකකි.’ ‘මෙය උච්ඡේදයට පැමිණේ’ යන අර්ථ යෙදේ. මෙහිදී ද මේ පදයන් හෙළටුවාවෙන් ගෙන යොදන ලද්දේ මය.
මේ සූත්‍රයේ වනාහි සැප-දුක් වේදනා පවසන ලදී. එහිම සැප-දුක් විපාකයද යෙදීම සුදුසු යැයි කියන ලදී.
අටවන සූත්‍රයයි
9. බාලපණ්ඩිත සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “අවිජ්ජා නීවරණස්ස” යනු අවිද්‍යාව වැළැක්වූවහටයි. “ඒවමයං කායො සමුදාගතො” යනු අවිද්‍යාවෙන් මිදුණු බැවින් තණ්හාවෙන් යුක්තවූවම මේ කය ඉපදුණි යනුයි. “අයඤ්චෙ ව කායො” යනු තමාගේ සවිඤ්ඤාණක වූ මේ කයයි. “බහිද්ධාච නාමරූපං” යනු බාහිර වූ අන්‍යන්ගේ සවිඤ්ඤාණක කයයි. තමාගේත් අනුන්ගේත් පංචස්කණ්ධයෙන් හා ආයතණ සයෙන් මේ අර්ථ දැක්විය යුතුයි. “ඉත්ථෙතං ද්වයං” යනු මෙසේ මේ නාමරූප දෙකයි. “ද්වයං පටිච්ච ඵස්සො” - අන්‍ය වූ ඇස-රූප යන දෙක ගැටීමෙන් ස්පර්ශාදිය ඇතිවේ යැයි කියන ලදී. මෙහි වනාහී අධ්‍යාත්මික හා බාහිර ආයතන වශයෙනි. “මහාද්වය” යනුවෙන් මේ දෙක හැඳින්වේ. “සළෙවායතනානි” යනු සයක් වූ ස්පර්ශායතන හා ස්පර්ශ කරණායතනයන්‍ ය. “යෙහි ඵුට්ඨො” යනු යම් හේතු-භූත වූ ආයතන වලින් උපන් පහසින්, ස්පර්ශ කරන ලද්දේ යනුයි. “අඤ්ඤාතරෙන” යන මෙහි පරිපූර්ණ - අපරිපූර්ණ වශයෙන් එකකින් හෝ ඊට වැඩි ගණනකින් දතයුතුයි. “තත්‍ර“ යනු ඒ බාල-පණ්ඩිත සැමදෙනාගේම කයින් පහළ වූ දෙයෙහිය. “කො අධිප්පායො” කවර අධික ප්‍රයෝගයක් ද?
එම ධර්මයන්ට භාග්‍යවතුන් වහන්සේ මූලික බැවින් “භගවංමූලකා” යැයි යෙදේ. මේ කියන ලදී. - “ස්වාමීණි, අපගේ මේ ධර්මයෝ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් උපදවන ලදහ. උන්වහන්සේගේ පිරිනිවණින් පසුව එක් බුද්ධාන්තරයක් ගතවන තුරු වෙනත් කිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ ධර්ම උපදවා ගැනීමට අසමත් වූ හ. දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම උපදවන ලද බැවින්; ඔබවහන්සේ නිසාම අපි මේ දහම දනිමු. මනාව අවබෝධ කරමු. ස්වාමීනි! මෙලෙසින් අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට පවතින්නෝ ය. “භගවන්නෙත්තිකා” යනු ධර්මයන්ගේ නායකයා, හික්මවන්නා, සමාදන් කරවන්නා භාග්‍යවතුන් වහන්සේ මය. යථා ස්වභාව වශයෙන් ධර්මය වෙන් වෙන් වශයෙන් ගෙන හැර දක්වන ලද බැවින් “භාග්‍යවතුන් වහන්සේම නායක කරගෙන ඇත” නම් වේ. “භගවම්පටිසරණා” යනු චාතූර්භූමික ධර්මයෝ සර්වඥ ඥානයාගේ දැකීමට පැමිණෙමින් භාග්‍යවතුන් වහන්සේම පිහිට කොට ඇතැයි, උන්වහන්සේ වෙතම එක් රැස් වේ යැයි කියන ලදී. පටිසරති යනු එක් රැස්වේ. එක්තැන් වේ යන අර්ථයි. තවද - මහබෝ මැඬ හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රතිවේධ වශයෙන් ස්පර්ශය පැමිණෙයි. “භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ ස්පර්ශ කිරීම් අර්ථයෙන් “ඵස්ස” නම් වේ. මෙලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදියද උන්වහන්සේ ගේ සිතට පැමිණෙයි. ‘භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ දැනගැනීම් අර්ථයෙන් ‘විඤ්ඤාණ නම් වේ.’ මෙසේ චාතූර්භූමික වූ යථා ස්වභාවය වෙන් වෙන් වශයෙන් ගනිමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රාශිභූත කරයි. මේ අරුතින්-“භගවම්පටිසරණා” නම් වේ. “භගවන්තඤ්ඤෙ ව පටිභාතු” යනු භාග්‍යවතුන් වහන්සේට මේ දේශනයේ අර්ථ වැටහේවා. නුඹ වහන්සේම අපට විස්තර වශයෙන් දේශනා කරන සේක්වා යන අර්ථයයි.