6. ධම්මකථික සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ - “නිබ්බිදාය” යනු කළකිරීම පිණිස. “විරාගාය” නොඇලීම පිණිස. “නිරොධාය” නිරුද්ධ කිරීම සඳහා. “පටිපන්නො හොති” යන මෙහි සීලයේ පටන් රහත් බව දක්වා පිළිපන්නේ යැයි දතයුතුයි. “ධම්මානුධම්ම පටිපන්නො” යනු ලෝකෝත්තර නිර්වාණ ධර්මයාගේ සුළු ශික්ෂාපද හා ප්රතිපත්ති සහිත පිළිවෙතට එළඹි, “අනුධම්මභූත” -එනම් ධර්මයට යෝග්ය වූ සුදුසු වූ යන අර්ථයි. “නිබ්බිදා විරාගා නිරෝධා” යනු කළකිරීමෙන්-විරාගයෙන් මෙන්ම නිරෝධයෙන් ද යනුයි. “අනුපාදා විමුත්තො” යනු උපාදානයන් සතරින් කිසිවක් දැඩිව නොගෙන ඉන් මිදුණු. “දිට්ඨ ධම්ම නිබ්බාණප්පත්තො” යනු මෙලොවදීම නිවනට පැමිණියේ. “අලං වචනාය” යනු මෙසේ කිවයුතු බවට පැමිණේ. ඊට සුදුසු වේ. ඉතා යෝග්ය වේ. මෙලෙස මෙම සූත්රයේදී එක් ක්රමයකින් ධර්මකථිකයන් වහන්සේගේ ප්රශ්නයන් විමසන ලදී. ක්රම දෙකකින් එය විශේෂත්වයට ගෙන - සේඛ හා අසේඛ භූමිහු නිර්දිෂ්ඨයහ.
සයවන සූත්රයයි.
7. අචෙලකස්සප සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “අචෙල කස්සපො” යනු ආකාරයෙන් අචේලයෙකි වස්ත්ර නැත්තෙකි. නාමයෙන් කස්සප නමැයි “ඔකාසං” යනු ප්රශ්න-ව්යාකරණයට ක්ෂණික කාලයක්. “අන්තරඝරං” යන මෙහි “දෙඅත් බැඳගෙන අන්තරඝරයෙහි නොහිඳින්නෙමි” යන මෙහි අන්තරඝර යනු නිවසේ ඇතුලයි. “පහතට හෙලූ ඇතිව අන්තරඝරයෙහි ඇවිදින්නෙමි”1 යන මෙහි අන්තරඝර යනු ඉන්ද්රඛීලයේ පටන් මුලු ඇතුළු ගම්මානය යි. මෙම සූත්රයේ ද මේ දෙවන අදහස ගත යුතුයි. “යදාකඞඛසී” යනු යමක් කැමති නම් එයයි.
මේ සූත්රය වදාරනු කැමති වුවත් භාග්යවතුන් වහන්සේ තෙවනවර දක්වා ම ප්රතික්ෂේප කරන ලද්දේ කුමක් නිසාද? ගෞරවය දැන්වීම පිණිසය. දෘෂ්ටිගතිකයෝ වනාහී ප්රශ්නයට වඩා ම පිළිතුරු නොදෙන්නේ නම් ගෞරව නොකරති. “ශ්රමණ භවත් ගෞතමයන් වෙත පැමිණීමත්, ප්රශ්න ඇසීමත් පහසුය.” ඇසූ ගමන් ම පිළිතුරු දෙන්නේ නම් ඒ එක් වදනකුදු නො අදහති. පිළිනොගනිති. දෙවරක්-තෙවරක් ප්රතික්ෂේප කළවිට “ශ්රමණ භවත් ගෞතමයන් වෙත එළඹීමත් ප්රශ්න ඇසීමත් ඉතා දුෂ්කර වූවකි” යි ඊට ගරුකරති. තෙවැනි වර දක්වා ඉල්ලීම් කර, පිළිතුරු දුන්කල්හි එය මැනවින් අසති. අදහති. පිළිගනිති. මෙනිසා භාග්යවතුන් වහන්සේ “මොහු මනාව අසන්නේය, පිළිගන්නේය” යනුවෙන් තෙවැනිවර දක්වා ඉල්ලීම් කළ කල්හි පිළිතුරු දුන් සේක. තවද වෛද්යවරයෙක් තෙල් හෝ පැණි හෝ පිසනුයේ මෘදු වූ පැසීම්, රළු වූ පැසීම් ආදී යෝග්ය පැසීම් අවස්ථාව මැනවින් බලනුයේ පැසෙන අවස්ථාව නො ඉක්මවා ම ලිපෙන් එය බස්වයි. මේ අයුරින් ම භාග්යවතුන් වහන්සේ ද සත්ත්වයන්ගේ ඤාණය මුහුකුරා යෑම සිදුවන අවස්ථාව මනාව දන්නා සේක් - තෙවැනිවර දක්වා ඉල්ලන තෙක් ම සිටිසේක.
“මා හෙවං කස්සප” යනු කස්සපය! එසේ නොකියන්න. දුක තමා විසින් කරන ලදැයි පැවසීම නුසුදුසුය. දුක කරන්නා වූ - කාරකයක් වූ “ආත්මය” නම් වූ කිසිවක් නැතැයි දක්වයි. සෙසු ප්රශ්නයන්හි අර්ථ ද මෙලෙසින්ම දතයුතුයි. “අධිච්ච සමුප්පන්නං” යනු කරුණක් - හේතුවක් නොමැතිව යමක් කැමැත්තෙන් - අහඹු ලෙස ඉපදීමයි. “ඉති පුට්ඨො සමානො” යන්න කුමක් නිසා කියන ලද්දේ ද? මෙලෙස වූ සිතක් පිළිබඳව කස්සට ඇතිවිය. මේ තැනැත්තා දුක තමා විසින් කරන ලදැයි ආදී වශයෙන් විමසනු ලැබූ විට ‘එසේ නොකියව’ යි පවසයි. ‘දුකක් නැතිද?’යි විමසූවිට ‘ඇතැ’යි කියයි. ‘භාග්යවත්හු දුක නොදනියි. නොදකියි’ යනුවෙන් විමසූවිට ‘දුක මම දනිමි’යි කියයි. මෙලෙස පවසනුයේ ඇයි? මවිසින් වැරදි ලෙස ප්රශ්න අසන ලදද?”යි සිතා නැවත එම ප්රශ්නාවලිය දෙස මුලසිට පරීක්ෂා කර බලමින් පිරිසිදු කරමින් මෙලෙස පැවසීය.