3. සමණබ්රාහ්මණ සූත්ර වර්ණනාව
තෙවන සූත්රයේ “සමණා වා බ්රාහ්මනා වා” යනු සත්ය අවබෝධ කරගැනීමට අසමත් බැවින් බුදුසසුනින් බැහැර වූ මහණ බමුණෝ. “ජරා මරණං නප්පජානන්ති” ආදියේ ජරාමරණ දෙක දුක්ඛ සත්ය වශයෙන් නොදනිති. සමුදය සත්ය වශයෙන් ජරා මරණ දෙකේ ඇතිවීම නොදනිති. තණ්හාවත් සමග ජාති-ජරා-මරණ ආදියේ ඇතිවීම වේයැයි නොදනිති. නිරෝධ සත්යය වශයෙන් ජරා මරණ දෙකේ නැතිවීම නොදනිති. මාර්ග සත්ය වශයෙන් දුක ජයගන්නා ප්රතිපදාව නොදනිති. දුක්ඛ සත්යය වශයෙන් ඉපදීම නොදනියි. සමුදය සත්ය වශයෙන් “තණ්හාවත් සමග භවය, ජාතිය හටගනියි” යන ඉපදීමේ හේතුව නොදනිති. මෙසේ තණ්හාවත් සමග හටගැනීමේ හේතුව සෑම පදයකම යොදා චතුරාර්ය සත්යය මූලිකව අර්ථය දතුයුතුයි. “සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා” යනු මේ ආර්ය මාර්ගයෙහි ශ්රමණ බව, බ්රහ්ම බව යන වදන් දෙකෙහිම අර්ථය නම් “ආර්ය ඵලයම වන බව දතයුතුයි. මෙසේ භාග්යවතුන් වහන්සේ මෙම සූත්රයෙහි එකොළොස් තැනක චතුරාර්ය සත්යය දක්වා ඇත.
තෙවන සූත්රයයි.
4. දුතිය සමණබ්රාහ්මණ සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ - “ඉමෙ ධම්මෙ-කතමෙ ධම්මෙ” යනු මේ දක්වා විස්තර කර, දේශනා කරන ලද, ධර්මය අවබෝධ කරගැනීමට සමත් පුද්ගලයන්ගේ අදහසට අනුව - “ඉමෙ ධම්මා නප්පජානන්තී” ආදිය දක්වන ලදී. සෙසු පද විස්තර මුල් සූත්රයන්ට සමානය.
සිවුවන සූත්රයයි.
5. කච්චානගොත්ත සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ - “සම්මාදිට්ඨි” යනු යම් පණ්ඩිත වූ දිව්ය මනුෂ්යයෝ, ඒ ඒ තැන්හි “සම්යක් දර්ශනය” යැයි යමකට කියත් ද ඒ සියල්ල ම මෙම දෙපදයෙන් හකුළුවා දක්වන ලද්දේ, විමසයි. “ද්වයං නිස්සිතො” යනු දෙකොටසක් ඇසුරු කළයුතුය. “යෙභුය්යෙත” යනුවෙන් ආර්ය පුද්ගලයන් හැර - සෙසු මහජනයා අදහස් කරයි. “අත්ථිතං” යනු ශාස්වත වාදයයි. “නත්ථිතං” යනු උච්ඡේද වාදයයි. “ලෝකසමුදයං” යනු ලෝකය නම් සංස්කාරික ලෝකයයි. එහි ඉපදීමයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු සම්යක් ප්රඥාව නම් විදර්ශනාව සහිත මාර්ග ප්රඥාවයි. එය දකින්නා යන අර්ථයයි. “යා ලොකෙ නත්ථිතා” යනු සංස්කාරයමය ලෝකයෙහි හටගත් ධර්මයන් පිළිබඳව ප්රඥාවෙන්ම “යමක් නැතැ”යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නැත” යන අර්ථයයි. “ලොක නිරොධං” යනු සංස්කාරයන්ගේ බිඳීයාමයි. නැසීයාමයි. “යා ලොකෙ අත්ථිතා” යනු සංස්කාර ලෝකයෙහි විද්යාමාන වූ ධර්ම පිළිබඳ ප්රඥාවෙන් ම ‘යමක් ඇත’ යි යන ශාස්වත දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නොමැත” යන අර්ථයි.
තවද “ලොකසමුදයං” යනු ප්රතීත්ය සමුත්පාදය අනුලෝම වශයෙන් දැක්වීමයි. “ලොකනිරොධං” යනු ප්රතීත්ය සමුප්පාදය ප්රතිලෝම වශයෙන් දැක්වීමයි. ලෝකය ආශ්රයෙන් දකින්නහුට, ප්රත්යයන්ගේ නොසිඳීමෙන් ප්රත්යුත්පන්න ධර්මයන්ගේ නොසිඳී පැවැත්ම දැකීමෙන්, ‘යමක් නැත’යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම් එය නැත. ප්රත්යයන්ගේ නිරෝධය දකින්නහුට ද ප්රත්යයන්ගේ නැතිවීමෙන් ප්රත්යුත්පන්න ධර්මයන්ගේ නිරුද්ධවීම දැකීමෙන්, “යමක් ඇතැ”යි යන “ශාස්වත දෘෂ්ටිය නූපදින්නේය” යන අර්ථයි.
“උපායුපාදානා භි නිවෙස විනිබද්ධො” යනු උපායෙහි ද උපාදානයෙහි ද අභිනිවේසනයෙහිද එකට බැඳී සම්භන්ධ වූ යන අර්ථයයි. එහි ‘උපාය’ යනු උපාය දෙකකි. තණ්හා උපායත, දිට්ඨි උපායත් ය. උපාදානයෙහි ද මේ ක්රමයම යෙදේ. තණ්හා දෘෂ්ටියෙහි යම් හෙයකින් “මම” “මගේ” යනාදී ආකාරයෙන් ත්රෛභූමික ධර්මයන්ට පැමිණෙයි. ළඟට පැමිණෙයි. යන අරුතින් ‘උපාය’ යැයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ ධර්මයන්හි අල්ලාගනියි ද එසේම ඇලීමට පැමිණෙයි ද එනිසා “උපාදාන” යැයි ද “අභිනිවෙස” යැයිද කියනු ලැබේ. මේවායින් සත්වයා ලෝකයට බැඳුණේය. එබැවින් “උපාය-උපාදාන-අභිනිවේසාදියෙන් බැඳුණේ” යැයි කියන ලදී.