4. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - “ඉමෙ ධම්මෙ-කතමෙ ධම්මෙ” යනු මේ දක්වා විස්තර කර, දේශනා කරන ලද, ධර්මය අවබෝධ කරගැනීමට සමත් පුද්ගලයන්ගේ අදහසට අනුව - “ඉමෙ ධම්මා නප්පජානන්තී” ආදිය දක්වන ලදී. සෙසු පද විස්තර මුල් සූත්‍රයන්ට සමානය.
සිවුවන සූත්‍රයයි.
5. කච්චානගොත්ත සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - “සම්මාදිට්ඨි” යනු යම් පණ්ඩිත වූ දිව්‍ය මනුෂ්‍යයෝ, ඒ ඒ තැන්හි “සම්‍යක් දර්ශනය” යැයි යමකට කියත් ද ඒ සියල්ල ම මෙම දෙපදයෙන් හකුළුවා දක්වන ලද්දේ, විමසයි. “ද්වයං නිස්සිතො” යනු දෙකොටසක් ඇසුරු කළයුතුය. “යෙභුය්‍යෙත” යනුවෙන් ආර්‍ය පුද්ගලයන් හැර - සෙසු මහජනයා අදහස් කරයි. “අත්ථිතං” යනු ශාස්වත වාදයයි. “නත්ථිතං” යනු උච්ඡේද වාදයයි. “ලෝකසමුදයං” යනු ලෝකය නම් සංස්කාරික ලෝකයයි. එහි ඉපදීමයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු සම්‍යක් ප්‍රඥාව නම් විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවයි. එය දකින්නා යන අර්ථයයි. “යා ලොකෙ නත්ථිතා” යනු සංස්කාරයමය ලෝකයෙහි හටගත් ධර්මයන් පිළිබඳව ප්‍රඥාවෙන්ම “යමක් නැතැ”යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නැත” යන අර්ථයයි. “ලොක නිරොධං” යනු සංස්කාරයන්ගේ බිඳීයාමයි. නැසීයාමයි. “යා ලොකෙ අත්ථිතා” යනු සංස්කාර ලෝකයෙහි විද්‍යාමාන වූ ධර්ම පිළිබඳ ප්‍රඥාවෙන් ම ‘යමක් ඇත’ යි යන ශාස්වත දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නොමැත” යන අර්ථයි.
තවද “ලොකසමුදයං” යනු ප්‍රතීත්‍ය සමුත්පාදය අනුලෝම වශයෙන් දැක්වීමයි. “ලොකනිරොධං” යනු ප්‍රතීත්‍ය සමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් දැක්වීමයි. ලෝකය ආශ්‍රයෙන් දකින්නහුට, ප්‍රත්‍යයන්ගේ නොසිඳීමෙන් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ නොසිඳී පැවැත්ම දැකීමෙන්, ‘යමක් නැත’යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම් එය නැත. ප්‍රත්‍යයන්ගේ නිරෝධය දකින්නහුට ද ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ නිරුද්ධවීම දැකීමෙන්, “යමක් ඇතැ”යි යන “ශාස්වත දෘෂ්ටිය නූපදින්නේය” යන අර්ථයි.
“උපායුපාදානා භි නිවෙස විනිබද්ධො” යනු උපායෙහි ද උපාදානයෙහි ද අභිනිවේසනයෙහිද එකට බැඳී සම්භන්ධ වූ යන අර්ථයයි. එහි ‘උපාය’ යනු උපාය දෙකකි. තණ්හා උපායත, දිට්ඨි උපායත්‍ ය. උපාදානයෙහි ද මේ ක්‍රමයම යෙදේ. තණ්හා දෘෂ්ටියෙහි යම් හෙයකින් “මම” “මගේ” යනාදී ආකාරයෙන් ත්‍රෛභූමික ධර්මයන්ට පැමිණෙයි. ළඟට පැමිණෙයි. යන අරුතින් ‘උපාය’ යැයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ ධර්මයන්හි අල්ලාගනියි ද එසේම ඇලීමට පැමිණෙයි ද එනිසා “උපාදාන” යැයි ද “අභිනිවෙස” යැයිද කියනු ලැබේ. මේවායින් සත්වයා ලෝකයට බැඳුණේය. එබැවින් “උපාය-උපාදාන-අභිනිවේසාදියෙන් බැඳුණේ” යැයි කියන ලදී.
“තඤ්චාය” යනු ඒ උපාදාන ඇති මේ ආර්‍ය ශ්‍රාවකයායි. “චෙතසො අධිට්ඨානං” යනු සිතේ තදින් පිහිටියා වූ යනුයි. “අභිනිවෙසානුසයං” යනු නිවාස වූ ද සැඟවී පවතින්නා වූ ද තණ්හා, දෘෂ්ටි ආදී අකුසල සිත් පිහිටියේය. එහි තදින් ඇලී පවතිනුයේ ද අත්නොහැර පවතිනුයේ ද වේ. එනිසා ඒ දෙක සිතේ අධිෂ්ඨාන වශයෙන් තදින් ඇලී පවතිනුයේ ඇයි කියන ලදී. “න උපෙති” යනු නොපැමිණෙයි. “න උපාදියති” යනු නොගනියි. “නාධිට්ඨාති” යනු අධිෂ්ඨාන නොකරයි. කුමක්ද? “අත්තා මෙ” යනු ‘මගේ ආත්මය’ යනුවෙනි. “දුක්ඛමෙව” යනු පංච උපාදානස්කන්ධයම පමණක්ම. “න කඞඛතී” යනු දුකම උපදියි. දුකම නිරුද්ධ වේ. මෙහි අනෙක් සත්ත්වයෙක් නම් ඇතැයි සැක නොකරයි. “ත විචිකිච්ඡතී” යනු සැකයක් නූපදවයි.
“අපරප්පච්චයා” යනු අන්‍යයන්ගේ පිහිට නොසොයන, අන්‍යයකුගේ ප්‍රාර්ථනාවක් නොමැතිව, ආත්ම ප්‍රත්‍යක්ෂ ඤාණ වශයෙන් මෙහි වේ යනුයි. “එත්තාවතා ඛො කච්චාන! සම්මා දිට්ඨි හොති” මෙසේ ‘සත්ව’ සංඥාව ප්‍රහීණ කළ බැවින් මෙපමණකින් යහපත් දර්ශනය නම් වන්නේ යැයි මිශ්‍ර වූ සම්‍යක් දෘෂ්ටිය කියන ලදී. “අයමෙකො අන්තො” මෙය එක්තරා පහත් වූ-ළාමක වූ අන්තයකි. පළමු ශාස්වතවාදයයි. “අයං දුතියො” මෙය දෙවැන්නයි. සියල්ල නැතැයි හටගත් දෘෂ්ටි සංඛ්‍යාත පහත්වූ-ළාමකවූ අන්තයකි. දෙවැනි උච්ඡේද වාදයයි යන අර්ථයි. මෙහි සෙසු පද විභාග ඉතා ප්‍රකටමය.
පස්වන සූත්‍රයයි.
6. ධම්මකථික සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ - “නිබ්බිදාය” යනු කළකිරීම පිණිස. “විරාගාය” නොඇලීම පිණිස. “නිරොධාය” නිරුද්ධ කිරීම සඳහා. “පටිපන්නො හොති” යන මෙහි සීලයේ පටන් රහත් බව දක්වා පිළිපන්නේ යැයි දතයුතුයි. “ධම්මානුධම්ම පටිපන්නො” යනු ලෝකෝත්තර නිර්වාණ ධර්මයාගේ සුළු ශික්ෂාපද හා ප්‍රතිපත්ති සහිත පිළිවෙතට එළඹි, “අනුධම්මභූත” -එනම් ධර්මයට යෝග්‍ය වූ සුදුසු වූ යන අර්ථයි. “නිබ්බිදා විරාගා නිරෝධා” යනු කළකිරීමෙන්-විරාගයෙන් මෙන්ම නිරෝධයෙන් ද යනුයි. “අනුපාදා විමුත්තො” යනු උපාදානයන් සතරින් කිසිවක් දැඩිව නොගෙන ඉන් මිදුණු. “දිට්ඨ ධම්ම නිබ්බාණප්පත්තො” යනු මෙලොවදීම නිවනට පැමිණියේ. “අලං වචනාය” යනු මෙසේ කිවයුතු බවට පැමිණේ. ඊට සුදුසු වේ. ඉතා යෝග්‍ය වේ. මෙලෙස මෙම සූත්‍රයේදී එක් ක්‍රමයකින් ධර්මකථිකයන් වහන්සේගේ ප්‍රශ්නයන් විමසන ලදී. ක්‍රම දෙකකින් එය විශේෂත්වයට ගෙන - සේඛ හා අසේඛ භූමිහු නිර්දිෂ්ඨයහ.