2. මොළියඵග්ගුන සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ “සම්භවෙසීනං වා අනුග්ගාය” යනු මෙතැනදී ම භාග්‍යවතුන් වහන්සේ දේශනාව නැවැත්වූ සේක. කුමක් හෙයින්ද? මිසදිටු ගත්තෙකු එම පිරිසේ හුන් බැවිනි. ඒ සඟ පිරිසේ මිසදිටුගත් මොළිය ඵග්ගුණ නම් භික්ෂුවක් හුන්නේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක. “මොහු නැගිට මගෙන් ප්‍රශ්නයක් විචාරන්නේය. එවිට මම එය විසඳන්නෙමි” යි උන්වහන්සේට ප්‍රශ්නයක් ඇසීමට ඉඩදීම සඳහා දේශනාව නැවැත්වූ සේක. “මොළිය ඵග්ගුණෝ” යනුවෙන් ‘මොළී’ යනු හිස මුදුනේ ඇති කෙස්‍රොදයි
මෙසේ කියන ලද බැවිනි -
ජෙත්වාන මොළිං වර ගන්ධ වාසිතං
වෙහාසයං උක්ඛිපි සක්‍ය පුංගවො
සහස්ස නෙත්තො සිරසා පටිගහී
සුවණ්ණ චංගා චරෙන වාසවො
“ඒ ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශිකයා, තම උතුම් වූ සුවඳ කවන ලද කේශ කලාපය සිඳ - අහසට දැමුවේය. ‘වාසව’ නම් වූ දහසක් නෙත් ඇති ශක්‍රයා එය රන් කරඬුවකින්, ශීර්ෂ ප්‍රණාමයෙන් පිළිගත්තේය.”
ඒ කේශකලාපය ඔහුගේ ගිහිකාලයේදී ඉතා විශාල විය. එනිසා ඔහුට “මොළිය ඵග්ගුණ” නාමය ඇතිවිය. පැවිදි වූ පසුවත් ඔහු එනමින්ම හැඳින්විණි. “එතදවොච” යනු දේශනාවේ ගැලපීම් ඇතිකරමින් මේ “කොනු ඛො භන්තෙ! විඤ්ඤාණාහාරං ආහාරෙ” යන වචනය කියන ලදී. එහි අර්ථ මෙසේය. “ස්වාමීනි! මේ විඤ්ඤාණාහාරය ආහාරයට ගනුයේ හෝ අනුභව කරනුයේ කවර තැනැත්තෙක් ද?”
මෙහිදී සෙසු ආහාර තුන පිළිබඳව නොපවසා විඤ්ඤාණාහාරය පමණක් විචාළේ ඇයි? “එය දනිමි” යි යන පිළිගැනීම ඇති බැවිනි. ඔහු මහත් පිඬු වශයෙන් ගෙන කබළිංකාර ආහාරය අනුභව කරයි. එබැවින් එය ඔහුට මැනවින් පෙනේ. එනිසා ඒ පිළිබඳව “දනිමි” යි යන විශ්වාසය උන්වහන්සේට ඇත. වටු, මොණර, කුකුළු ආදී පැටවු මවුගේ ස්පර්ශයෙන් යැපෙනු දැක - “මොවුහු ඵස්සාහාරයෙන් යැපෙන්නෝයැ” යි ඔහුට විශ්වාසයක් ඇතිවේ. කැසිබුවෝ තම සෘතු සමයන්හි මහමුහුදින් ගොඩබිමට පැමිණ, මුහුදුතෙර වැලිකතර බිජු දමා - එය වැලිවලින් වසා - නැවත මුහුදට යති. ඒ බිජු මවගේ සිහිකිරීම් හේතුවෙන් කුණු නොවේ. ඒ බිත්තර “මනෝසඤ්චේතනා-හාරයෙන් යැපෙන්නේය” යන ඇදහීම - පිළිගැනීම එවිට ඇතිවේ. ඵග්ගුණ තෙරුන්ට මෙසේ මේ ආහාර තුන පිළිබඳව ම දැනීම (ප්‍රත්‍යක්ෂ) ඇති නමුත් විඤ්ඤාණාහාරය පිළිබඳව එවැනි ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති බැවින් මේ ප්‍රශ්නය අසන ලදී. දෘෂ්ටිගතිකයා හෙවත් යම් දෘෂ්ටියක් පිළිගත් තැනැත්තා - උම්මත්තකයෙකු වැනිය. යම්සේ උමතු මිනිසෙකු කූඩයක් රැගෙන වීථියට පැමිණ ගොම ද ගල් ද අශූචි ද කැබලි ආදී ආහාර ද්‍රව්‍ය ද යනාදී තමාට අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයක් ම කූඩයට දාගනු ලබන්නේ ද, එමෙන්ම දෘෂ්ටිගතිකයාත් සුදුසු - නුසුදුසු සෑම දෙයම අසයි. ඔහුට “මම කුමක් නිසා මේ ප්‍රශ්න අසන්නෙම්ද?” යන්න නිගමනය කළ නොහැක. ඇසූ ඇසූ ප්‍රශ්නයෙහි ඔහුගේ සිත අවුල් වේ. එනිසා ඉන් වැලකිය යුතුයි. මේ හේතුවෙන් ඵග්ගුණ හිමිගේ ප්‍රශ්නයේදී භාග්‍යවතුන් වහන්සේ “ඔබ කුමක් නිසා මේ ප්‍රශ්න ඇසීද?” යි නොවදාරා, දැඩිව ගත් දෘෂ්ටියෙන් ඔහු මිදවීමට කැමති සේක් - “නො කල්ලො පඤ්හො” යනුවෙන් දේශනා කළ සේක.
එහි “නොකල්ලො” යනු නුසුදුසුයි. අයුතුයි. “ආහාරෙතීති අයහං න වදාමී” යනු මම කිසියම් සතෙක් හෝ පුද්ගලයෙක් හෝ අනුභව කරයි යනුවෙන් නොදෙසමි. “ආහාරෙතීති චාහං වදෙය්‍යං” ඉදින් මම “අනුභව කරයි” යනුවෙන් කියත්නම් “තත්‍රස්ස කල්ල පඤ්හො” යනු එවිට මේ ප්‍රශ්නය සුදුසු වේ. “කිස්සනු ඛො භන්තෙ! විඤ්ඤාණාහාරො” යනු ස්වාමීනි! මේ විඤ්ඤාණාහාරය කවරකට ප්‍රත්‍ය වන්නේ ද? යන අර්ථයි. “තත්‍ර කල්ලං වෙය්‍යාකරණං” යනුවෙන් මෙසේ ප්‍රශ්නය විචාළවිට, “විඤ්ඤාණාහාරය අනාගතයේ නැවත ඉපදීමට, පලවීමට හේතුවේ” යන ව්‍යාකරණය සුදුසුය. මෙහි ද “විඤ්ඤාණාහාරො” යනු ප්‍රතිසන්ධියයි. “ආයතිං පුනබ්භවා භිනිබ්බත්ති” යනු ඒ විඤ්ඤාණයෙන් ම හටගත් නාමරූප දෙකයි. “තස්මිං භූතෙ සති සළායතනං” එහි නැවත ඉපදීම් පළවීම් සංඛ්‍යාත වූ නාමරූපයන් පහළවූ කල්හි ආයතන සය ඇතිවන්නේය යන අර්ථයයි.
“සළායතන පච්චයා ඵස්සො” මෙහිදී ද භාග්‍යවතුන් වහන්සේ තවත් ප්‍රශ්නයකට ඉඩ සළසමින් දේශනාව නිමාකළ සේක. දෘෂ්ටි ගතිකයා වනාහි නැවත ප්‍රශ්නයක් ඉපිදවීමට සමත් නොවේ. විස්තර කළ ප්‍රශ්නම ය නැවතත් විචාරයි. මෙනිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඒ අවසරය දුන් සේක. අර්ථ වනාහි සියලු පදවල කියූ ක්‍රමයෙන් ගතයුතුයි. “ස්වාමීනි! කවරෙක් නම් වන්නේද?” යනුවෙන් කුමක් නිසා විමසුවේද? දෘෂ්ටිගතිකයා හට සත්වයා නම් සත්‍ය වශයෙන්ම ඇත්තෙකි. හටගත්තෙක්මයැ” යි යන පිළිගැනීම ඇත. එනිසා තම පිළිගැනීමට විරුද්ධ වන හෙයින් “මෙය” යැයි ද්‍රව්‍යාත්මකව නොවිචාළේය. තවද “මෙය තවත් ප්‍රත්‍යයක් හේතුකොටගෙන වන්නේයැ” යි යන්න බොහෝ තැනෙක්හි දේශිත බැවින් ද තමා විසින් අවබෝධ කරගැනීමට පැමිණි හෙයින් ද ඔහු විසින් එසේ නොවිචාරයි. බුදුරජාණන් වහන්සේ ද මේ බොහෝ සෙයින් විමසන්නාගේ සෑහීමකට පත්වීමක් නැති බැවින් - “හිස් ප්‍රශ්නයම අසයි” සිතා එතැන් පටන් දේශනාව ඒකාබද්ධ කර දෙසූ සේක. “ඡන්නත්වෙවා” යනුවෙන් යම්තැනක සිට දේශනාවට නංවන ලද අර්ථයම ගෙන දෙසුම නැවත සසර නැවැත්ම වශයෙන් දක්වන සේක මෙසේ වදාළහ. මේ සූත්‍රයේ වනාහී විඤ්ඤාණය හා නාමරූප දෙක අතර එක් සන්ධියකි. වේදනා හා තණ්හා ප්‍රත්‍ය දෙක අතර එක් සන්ධියකි. භව හා ජාති ප්‍රත්‍ය දෙක අතර එක් සන්ධියකි. මෙලෙස සන්ධි තුනකි.
දෙවන සූත්‍රයයි.
3. සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ “සමණා වා බ්‍රාහ්මනා වා” යනු සත්‍ය අවබෝධ කරගැනීමට අසමත් බැවින් බුදුසසුනින් බැහැර වූ මහණ බමුණෝ. “ජරා මරණං නප්පජානන්ති” ආදියේ ජරාමරණ දෙක දුක්ඛ සත්‍ය වශයෙන් නොදනිති. සමුදය සත්‍ය වශයෙන් ජරා මරණ දෙකේ ඇතිවීම නොදනිති. තණ්හාවත් සමග ජාති-ජරා-මරණ ආදියේ ඇතිවීම වේයැයි නොදනිති. නිරෝධ සත්‍යය වශයෙන් ජරා මරණ දෙකේ නැතිවීම නොදනිති. මාර්ග සත්‍ය වශයෙන් දුක ජයගන්නා ප්‍රතිපදාව නොදනිති. දුක්ඛ සත්‍යය වශයෙන් ඉපදීම නොදනියි. සමුදය සත්‍ය වශයෙන් “තණ්හාවත් සමග භවය, ජාතිය හටගනියි” යන ඉපදීමේ හේතුව නොදනිති. මෙසේ තණ්හාවත් සමග හටගැනීමේ හේතුව සෑම පදයකම යොදා චතුරාර්‍ය සත්‍යය මූලිකව අර්ථය දතුයුතුයි. “සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා” යනු මේ ආර්‍ය මාර්ගයෙහි ශ්‍රමණ බව, බ්‍රහ්ම බව යන වදන් දෙකෙහිම අර්ථය නම් “ආර්‍ය ඵලයම වන බව දතයුතුයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයෙහි එකොළොස් තැනක චතුරාර්‍ය සත්‍යය දක්වා ඇත.