8. සකලික සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - මද්දකුච්ඡිස්මිං එනම් වූ උද්‍යානයෙහි අජාතසත්තු කුසට පැමිණි කල්හි ඔහුගේ මව විසින්, මොහු මාගේ කුසට වන්නේ, ගැබ රජුට සතුරු වන්නේ ය. මෙයින් මට කිම? යි දරු ගැබ වැටීම (විනාශ කිරීම) පිණිස එම කුස මඩනා ලද්දේ ය. එහෙයින් ‘මද්දකුච්ඡි’ (මර්දනය කළ කුස) යනුවෙන් ප්‍රසිද්ධ විය. මුවන්ට භය නැති ව විසීමට දෙන ලද බැවින් මිගදායො යි කියනු ලැබේ.
තෙන ඛො පන සමයෙන මෙහි අනුපූර්ව කථාව නම්: දේවදත්ත තෙමේ අජාතසත්තු ලවා දුණුවායන් ද ධනපාලක (නම් වූ ඇතා ද) යොදවා තථාගතයන් වහන්සේගේ ජීවිතය වැනසීමට නො හැකි වූයේ තමා ම උන්වහන්සේ මරන්නෙමි යි ගිජුකුළු පව්වට නැගී මහත් මහල්ගෙයක් ප්‍රමාණ වූ ගලක් උස්සා ශ්‍රමණ ගෞතමයා සුණුවිසුණු වේවා යි අත හැරියේ ය. එය මහත් ශක්ති සම්පන්න වූවකි. ඇතුන් පස් දෙනෙකුගේ ශක්තිය දරයි. අන් අයගේ උපද්‍රවයකින් බුදුවරුන්ගේ ජීවිත අන්තරාව සිදු වන්නේ ය. යන්න අභව්‍ය ම ය. තථාගතයන් වහන්සේගේ ශරීර අභිමුඛයට එද්දී අහසේ වෙනත් ගලක් පැන නැගී පිළිගත්තේ ය. ගල්දෙක ගැටීමෙන් ගල් පතුරක් පැන නැගී භාග්‍යවතුන් වහන්සේගේ පිටිකර කෙළවර තුවාළ කළේ ය. පාදය මහත් පොරවකින් පහරන ලද්දාක් මෙන් පිට වුණු රුධිරය ලාක්සාරස පැහැය (ලාකඩ වතුර පාට) මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ ඉහළ බලා දේවදත්තයනට මෙසේ වදාළහ. “හිස් මිනිස, තා විසින් බොහෝ අකුසල් කරන ලදි. ඒ තා ද්වේෂ සහගත සිතින් ඝාතන සිතින් තථාගතයන් වහන්සේගේ ලේ ඉපදවූයෙහි’ යි. එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේට අපහසුතාවක් හට ගත්තේ ය. භික්ෂූහු මෙසේ සිතූහ. මේ විහාරය ඉතා කටුක තැනකි. විෂම ය. බොහෝ ක්‍ෂත්‍රියාදීන්ටත් පැවිද්දන්ටත් අවකාශ නැති තැනකි. ඔවුහු තථාගතයන් වහන්සේ ඇඳක තබා මද්දකුච්ඡියට ගෙන ගියෝ ය. එහෙයින් කියන ලදි. “තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොති” (එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරකින් පහළේ වේ) යි.
භුසා බලවත් (බොහෝ) සේ; සුදං නිපාත මාත්‍රයකි. දුක්‍ඛා සුඛයට ප්‍රතිපක්ෂ වූ තිබ්බා තීව්‍ර, ඉමහත් ඛරා පරුෂ කටුකා තීක්‍ෂණ අසාතා මිහිරි නො වූ; ඒවාහි සිත සවි නො කරයි. ඒවා සිත නො අලවයි. නො වඩයි: අමනාපා, සතො සම්පජානො වේදනාව ඉවසන සතිසම්පජඤ්ඤයෙන් යුක්ත වී, අවිහඤ්ඤමානො නො පෙළමින්, පෙරළී පෙරළී නිදමින් ඒ වේදනාවන්ගේ වසඟයට නො ගොස්;
සීහසෙය්‍යං මෙහි කාමයෝගී සෙය්‍ය, පේත සෙය්‍ය, සීහ සෙය්‍ය, තථාගත සෙය්‍ය යනුවෙන් සෙය්‍ය (ශය්‍යා - නිදාගැනීම්) සතරකි. එහි “යෙභූය්‍යෙන භික්‍ඛවෙ කාමභොගි සත්තා වාමෙන පස්සෙන සෙන්ති” (මහණෙනි, කාමභෝගි සත්ත්වයෝ බොහෝ සෙයින් වම් පසට හැරී (වම් ඇළයෙන්) නිදති) යන මෙය “කාමභෝගී සෙය්‍යාව” වේ. ඔවුන් අතර බෙහෙවින් දකුණු පසට හැරී නිදා ගැන්මක් නම් නැත. “යෙභූය්‍යෙන භික්‍ඛවෙ පෙතා උත්තානා සෙන්ති” (මහණෙනි, බොහෝ සෙයින් ප්‍රේතයෝ උඩුකුරුව නිදති.”) එය ‘පේත සෙය්‍යාව’ ය. මස් ලේ අල්ප බැව් නිසාත් ඇට වළල්ල පැටලීම නිසාත් ඔවුහු එක් පැත්තකට හැරී නිදාගැනීමට නො හැකි වෙත්. උඩුකුරුව ම නිදත්. “යෙභූය්‍යෙන සීහො මිගරාජා නඞ්ගට්ඨං අන්තරසත්‍ථිම්හි අනුපක්‍ඛිත්‍වා දක්‍ඛිණෙන පස්සෙන සයති” (මහණෙනි, සිවුපාවුන්ගේ රජ වූ සිංහයා බොහෝ සෙයින් වලිගය කළවය අතර හොවා දකුණු පසින් (දකුණු ඇලයෙන්) නිදයි. මේ සිංහසෙය්‍යාව ය. තේජස උස් බව හේතු කොට ගෙන සිවුපා රජ වූ සිංහයා ඉදිරි දෙපා එක් තැනකත් පසුපස දෙපා එක් තැනකත් තබා වලිගය කළවා අතර හොවා, ඉදිරිපා, පිටුපස පා, නගුට ඇති තන්හි වූ ඉඩ බලා ඉදිරි දෙපා මත හිස තබා නිදයි. දවල් කල්හි ද නිදා අවදි වන්නේ තැති ගැනී නො නැගිටියි. හිස ඔසවා පෙර පාදාදියෙහි ඇති ඉඩ සිතා බලයි. ඉදින් කිසියම් තැනක් හැර දමා තිබුනේ (වෙනස් වූයේ) වේ ද මෙය ඔබට ජාතියෙන් වත් ශූරභාවයට වත් අනුරූප නො වෙතැයි අසතුටට පත් ව එලෙස ම නිදයි. ගොදුරු සොයා නො යයි. (තැන) නො හැර සිටියේ, මෙය ඔබගේ ජාතියටත් ශූර භාවයටත් අනුරූප යයි තුටුපහටු ව නැගිට සිංහ විජෘම්භනය (ඇනුම් ඇරීම) කර කෙසරු සොළවා තෙවරක් සිංහනාද පවත්වා ගොදුරු සොයා යයි. චතුර්ථ ධ්‍යාන සෙය්‍යාව තථාගත සෙය්‍යාව යයි කියනු ලැබේ. ඒ සෙය්‍යා අතරින් මෙහි සිංහසෙය්‍යාව පැමිණ ඇත. මෙය තේජස ඉහළ ගිය ඉරියව් ඇති බැවින් උත්තම සෙය්‍යාව නමි.
පාදෙ පාදං දකුණු පාදයේ වම් පාදය, අච්චාධාය අති ආධාය මඳක් ඉක්මවා තබා, ගොප් ඇටයෙන් ගොප් ඇටයෙහි හෝ දණ හිසෙන් දණහිසෙහි හෝ ගැටෙන කල්හි නිතර වේදනා උපදී, සිතේ එකඟ බවක් නො වේ. නිදා ගැන්ම අපහසු වේ. යම් සේ නො ගැටේ ද එසේ ඉක්මවා ලැබූ කල්හි වේදනා නූපදියි. සිත එකඟ වෙයි. නිදා ගැනීම පහසු වෙයි. එහෙයින් එසේ සැතපුණු සේක. සතො සම්පජානො යහන් පරිහරණය කිරීමේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ, උට්ඨාන සංඥාව යයි මෙහි දී නො කියන ලදි. මෙය බුදුන් වහන්සේගේ ගිලාන සෙය්‍යාව (ගිලන් ව සැතපීම) ය.