4. සතුල්ලපකායික වර්ගය
1. සබ්භි සූත්‍ර වර්ණනාව
සතුල්ලපකායික වර්ගයේ පළමු වැන්නෙහි සතුල්ලපකායිකා සියයක් (සතං) ධර්මය සමාදන් වීම් වශයෙන් උසස් ලෙසින් කථා කොට (උල්ලපෙත්වා) ස්වර්ගයෙහි ඉපදිණැයි ‘සතුල්ලපකායික’ නම් වේ. එහි කථා වස්තුව මෙසේ ය: බොහෝ මුහුදු වෙළෙන්දෝ නැවෙන් මුහුදට බටහ. මුදා හළ ඊයක වේගයෙන් යන ඔවුන්ගේ නැවෙහි මහත් විවරයක් සත් වැනි දවස මහ සමුදුර මැද දී හට ගැනිණි. මහ දිය රැලි නැඟී නැව ජලයෙන් පිරෙයි. ගිලෙන නැවෙහි මහජනයා තම තමන්ගේ දෙවිවරුන්ගේ නම් ගෙන යාඥා කරමින් වැළපුනහ. ඔවුන් අතර එක් පුරුෂයෙක් මේ ආකාරයේ බියක දී ප්‍රතිෂ්ඨාවක් ඇත්තේ නො වේ දැයි ආවර්ජනය කරන්නේ තමාගේ පිරිසිදු සරණයත් ශීලයත් දැක යෝගියෙකු මෙන් පලක් බැඳ හිඳ ගත්තේ ය. අන් අය අභයට (බිය නො වීමට) කාරණය කුමක් දැයි ඔහුගෙන් විමසූහ. හේ ඔවුනට (මෙසේ) පැවසී ය. “පින්වත්නි, මම නැවට නඟින දවසේ භික්ෂුසංඝයාට දනක් දී සරණයත් ශීලයත් ගතිමි. එහෙයින් මට භයක් නැත.” “උතුමනි, ඒවා අන්‍යයන්ටත් සුදුසු වේද?” “එසේ ය සුදුසු වේ.” “එසේ නම් අපටත් දෙනු මැනවි.” හේ ඔවුන් සියය සියය ලෙස කණ්ඩායම් හතකට වෙන් කළේ ය. ඉන් පසු ව පඤ්චශීලය දුන්නේ ය. ඔවුන් අතට පළමු කෙණ්ඩා සියය ගොප් ඇටය දක්වා වූ ජලයෙහි සිට (පන්සිල්) ගත්හ. දෙවැන්න (දෙවැනි සියය) දණ හිස තෙක්, තෙවැන්න ඉඟටිය තෙක්, සිවු වැන්න නාභිය තෙක්, පස් වැන්න පපු පෙදෙස තෙක්, සය වැන්න ගෙළ තෙක්, සත් වැන්න මුවෙන් ලුණු දිය පෙවෙන තෙක් වූ ජලයෙහි සිට සමාදන් වූහ. ඔහු ඔවුන් හට සිල් සමාදන් කරවා ඔබලාට අන් සරණක් නැත. ශීලය ම ආවර්ජනා කරවු යි හඬ ගෑවේ ය. ඒ සත් සියය ම එහි කාලක්‍රියා කොට, (මරණ) ආසන්න කාලයෙහි ගන්නා ලද ශීලය හේතුකොට ගෙන තව්තිසා දෙව්ලොවෙහි උපන්නාහු ය. ඔවුනට සමූහ වශයෙන් ම විමාන පහළ විය. සියල්ල මැද ආචාර්යවරයාට යොදුන් සියයක් වූ ස්වර්ණ විමානය පහළ විය. අවශේෂ ඒවා ඊට පරිවාර වී සියල්ලට පහතින් දොළොස් යොදුනක් වී ය. ඔවුහු (එහි) පහළ වූ මොහොතේ ම කර්මය ආවර්ජනය කරන්නාහු ආචාර්යවරයා නිසා සම්පත් ලැබීම දැක ‘යමු, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අපගේ ආචාර්යවරයාගේ ගුණ පවසන්නෙමු” යි මැදියම් රැය පසුවත් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ඔවුනතුරින් දේවතාවන් හය දෙනෙක් ආචාර්යවරයාගේ ගුණ කියනු පිණිස එක් එක් ගාථාවක් බැගින් පැවසූහ.
එහි සබ්හිරෙව පණ්ඩිතයන් සත්පුරුෂයන් සමග ම, “ර” කාරය පද සන්ධිය පිණිස ය. සමාසෙථ එක් ව සිටින්නේ ය. මෙය දේශනා ශීර්ෂ ම ය. සියලු ඉරියව් සත්පුරුෂයන් සමග ම පවත්වන්නේ ය. කුබ්බෙථ කරන්නේ ය. සන්ථවං මිත්රසන්ථවය යි. තෘෂ්ණාසන්ථවය කිසිවකු සමග වත් නො කළ යුත්තේ ය. මිත්රසන්ථවය බුදු පසේ බුදු හා බුදු සව්වන් සමග කළ යුත්තේ ය. මේ පිළිබඳ ව මෙය කියන ලදි. සතං බුද්ධාදී සත්පුරුෂයන්ගේ, සද්ධම්මං පඤ්ච ශීල, දස ශීල, සතර සතිපට්ඨාන ආදී කොට ඇති සද්ධර්මය, මෙහි වූ කලී පඤ්ච ශීලය අදහස් කරන ලදි. සෙය්යො හොති අභිවෘද්ධිය වේ, න පාපියො කිසිදු ලාමක (පහත්) දෙයක් නො වේ.
නාඤ්ඤතො වැලිවලින් තෙල් ආදිය මෙන් අන්‍යාකාරයකින්; අන්ධබාල බවින් ප්‍රඥාවක් නම් නො ලබයි. තල ආදියෙන් තෙල් ආදිය (ලැබෙන්නාක්) මෙන් සත් පුරුෂයන්ගේ ධර්මය දැන පණ්ඩිතයා ම සේවනය කරන්නේ - භාජනය කරන්නේ - ලබයි.
සොකමජ්ඣෙ ශෝකයට හේතු වන වස්තූන්ගේ හෝ ශෝකයට පත් වූ සත්ත්වයන්ගේ හෝ අතරට පැමිණියේ ශෝක නො කරයි. බන්ධුල මල්ලසේනාපතිගේ මල්ලිකා උපාසිකාව මෙන් ද, පන්සියයක් සොරුන් මැදට පත් සැරියුත් හිමියන්ගේ සද්ධිවිහාරික (එක් ව වාසය කරන) සංකිච්ච සාමණේරයන් මෙන් ද,
ඤාති මජ්ඣෙ විරොචති ඥාති සමූහයා මැද සංකිච්ච තෙරුන්ගේ සද්ධිවිහාරික අධිමුත්තක සාමණේරයන් වහන්සේ මෙන් බබළයි. උන්වහන්සේ වනාහි තෙරුන් වහන්සේගේ නැගණියගේ පුත්‍රයා ය. ඉක්බිති තෙරුන් වහන්සේ හෙරණුවන්ට පැවසූහ: “සාමණේරයිනි (නිසි) වයසට පැමිණියේ වෙහි. යන්න, වස් ගණන විමසා එනු මැනවි, ඔබ උපසම්පදා කරන්නෙමු.” හෙරණු ද යහපතැයි තෙරුන් වැඳ පා සිවුරු ගෙන සොරුන්ගේ අඩවියේ පහත කෙළවර නැගණියන්ගේ ගමට ගොස් පිඬු පිණිස ගිය සේක. නැගණිය හෙරණුවන් දැක වැඳ ගෙයි වඩා හිඳුවා දන් වැළඳෙව්වා ය. දන් වැළඳීමෙන් අනතුරු ව වර්ෂ ගණන විමසී ය. ඇය “මම නො දනිමි මගේ මව දනිති යි කීවා ය. හෙරණුවෝ, ඔබ සිටින්න. මම මව ළඟට යන්නෙමි යි අඩවියට ඇතුළු විය. සොරෙක් ඈත සිට ම හෙරණුවන් එනු දැක සොර පුරුෂයාට දැන්වීය. සොරු “එක් හෙරණෙක් අඩවියට ඇතුළු වී ඇත. යනු, ඔහු ගෙන එනු” යි අණ කොට, සමහරු, ‘මොහු මරමු’ යි කීහ. සමහරු ‘අත හරිමු’ යි (කීහ). සාමණේරයෝ මෙසේ සිතූහ. “මම සේඛ වෙමි, ක්‍රියා සහිත වූයේ වෙමි. මේ අය සමග සාකච්ඡා කොට මගේ අර්ථ සිද්ධිය කර ගන්නෙමි” යි සොර දෙටුවා අමතා ඇවත ඔබට උපමාවක් දක්වන්නෙමි යි මේ ගාථා පැවසූහ.
අහූ අතීතමද්ධානං අරඤ්ඤස්මිං බ්රහා වනෙ
චෙතො කූටානි ඔඩ්ඩෙත්වා සසකං අවධී තදා
චෙතො කූටානි ඔඩ්ඩෙත්වා සසකං අවධී තදා