1. දෙවතා සංයුත්තය
1. නළ වර්ගය
1. ඔඝතරණ සූත්ර වර්ණනාව
එහි සංයුක්තාගමය : සගාථක වග්ග, නිදාන වග්ග, ඛන්ධක වග්ග, සළායතන වග්ග, මහා වග්ග යි වග්ග පහක් වේ. සූත්ර වශයෙන් -
“සත්ත සුත්තසහස්සානි සත්ත සුත්තසතානි ච
ද්වාසට්ඨි චෙව සුත්තානි එසො සංයුත්තසඞ්ගහො”
ද්වාසට්ඨි චෙව සුත්තානි එසො සංයුත්තසඞ්ගහො”
(මෙම සංයුක්ත සංග්රහය සූත්ර සත්දහස් සත් සිය හැට දෙකකින් යුක්ත වන්නේ ය.)
බණවර වශයෙන් : බණවර සියයක් වේ. එහි වග්ග අතර සගාථක වග්ගය මුලින් කියන ලදී. සූත්රයන් අතර ඔඝතරණ සූත්රය යි. එහිදු ‘එවං මෙ සුතං’ යන්න මුලට ගෙන ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්රථම සංගීති කාලයෙහි පවසන ලද මුල් නිදාන කථාව යි. එම ප්රථම සංගීතිය සුමංගල විලාසිනී දීඝ නිකාය අට්ඨ කථාවෙහි මුල දී විස්තර කරන ලදී. එය, එහි විස්තර කරන ලද ආකාරයෙන් ම දත යුත්තේ ය.
යම් මේ ‘එවං මෙ සුතං’ යන්න මුල් කොට වූ නිදානයක් (වේ ද ?) එහි ‘එවං’ යනු නිපාත පදයකි. ‘මෙ’ ආදිය නාම පද යි. ‘සාවත්ථියං විහරති’ යන මෙහි ‘වි’ උපසර්ග පදයකි. ‘හරති’ යනු ආඛ්යාත පදයකි. මේ ක්රමයෙන් පද විභාගය දත යුතු ය.
අර්ථ වශයෙන් වූ කලී, ‘එවං’ ශබ්දය උපමා - උපදේශ - සම්ප්රහර්ෂණ (සතුට ප්රකාශ කිරිම) - ගැරහීම - වචන පිළිගැනීම - ආකාරය - නිදර්ශනය - අවධාරණය කිරීම ආදී විවිධ අර්ථ ප්රභේද ඇත්තේ ය. එසේ මැ යි. එය, ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ (මෙසේ උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතු ය) යන මේ ආදියෙහි උපමාවෙහි පැමිණියේ ය. ‘එවන්තෙ අභික්කමිතබ්බං එවං පටික්කමිතබ්බං’ (මෙසේ ඔබ විසින් ඉදිරියට යා යුතු ය. මෙසේ ආපසු පැමිණිය යුතු ය) යනාදියෙහි උපදේශයෙහි ය. “එවමෙතං භගවා එවමෙතං සුගත” (භාග්යවතුනි, එය එසේ ය. සුගතයාණෙනි, එය එසේ ය) යන තැන්වල සතුට ප්රකාශ කිරීමෙහි ය. ‘එවමෙවං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසති’ (මෙසේ මේ සැඬොලිය සෑම තැනක ම ඒ මුඩු මහණහුගේ ගුණය වර්ණනා කරයි) ආදියෙහි ගැරහීමෙහි ය. ‘එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං’ (එසේ ය ස්වාමීනි යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ) ආදී තැන්වල වචන පිළිගැනීමෙහි ය. ‘එවං ව්යාඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි” (ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලද ධර්මය මම දනිමි) යනාදියෙහි ආකාරයෙහි ය. ‘එහි ත්වං මාණව යෙන සමණො ආනන්දො තෙනුපසංකම, උපසංකමිත්වා මම වචනෙන සමණං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ සුභො මාණවො තොදෙය්යපුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං -පෙ- ඵාසුවිහාරං පුච්ඡතීති, එවං ච වදෙහි: සාධු කිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදායාති’ (මාණවකය, එනු මැනවි. ඔබ ආනන්ද ශ්රමණයන් වහන්සේ යම් තැනක ද, එතැනට යන්න. ගොස් මගේ වචනයෙන් (මා කියන ලෙසට) රෝග නොමැති බව (නීරෝගී බව), සිරුරේ සැහැල්ලු බව, ශක්තිය, සුව පහසුව ගැන ආනන්ද ශ්රමණයන් වහන්සේගෙන් විමසන්න. තෝදෙය්ය පුත්ර ශුභ මානවක තෙමේ අල්පාබාධ බව, නීරෝගී බව, සුව පහසුව ගැන භවත් ආනන්ද ස්ථවිරයන්ගෙන් විමසන්නේ ය. මෙසේ ද කියනු. භවත් ආනන්දයන් වහන්ස, තෝදෙය්ය පුත්ර ශුභ මානවකයාගේ නිවස්න යම් තැනක ද, අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනවි) යනාදී තැන්වල නිදර්ශනයෙහි ය. ‘තං කිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා භන්තෙ, සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා භන්තෙ, විඤ්ඤෑගරහිතා වා විඤ්ඤැප්පසත්ථා වාති? විඤ්ඤෑගරහිතා භන්තෙ, සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා කථං වො එත්ථ හොතීති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති එවං නො එත්ථ හොති’ (කාලාමයෙනි, කුමක් සිතහු ද? මේ ධර්මයෝ කුසල් ද අකුසල් ද? ස්වාමීනි, අකුසල ය. සාවද්ය ද? අනවද්ය ද? ස්වාමීනි, සාවද්ය ය. නුවණැත්තන් විසින් ගර්හා කරන ලද ද? (නැතහොත්) නුවණැත්තන් විසින් පසස්නා ලද ද? ස්වාමීනි, නුවණැත්තන් විසින් ගරහන ලද ය. සම්පූර්ණ කරන ලද්දේ, සමාදන් වන ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවතියි ද? නැද්ද? එය ඔබලාට කෙසේ වේ ද? ස්වාමීනි, සම්පූර්ණ කරන ලද්දේ සමාදන් වන ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවතියි. අපට එසේ වේ) ආදියෙහි අවධාරණයෙහි ය. එය (‘එවං’ යන්න) මෙහි ආකාර, නිදර්ශන, අවධාරණ අරුත්හි දැකිය යුතු ය.
එහි ආකාර අර්ථය ඇති ‘එවං’ ශබ්දයෙන් මේ අර්ථය (මෙසේ) ප්රකට වෙයි : නොයෙක් නයින් නිපුණ වූ, නොයෙක් අදහස්වලින් ජනිත කරන අර්ථවලින් හා ව්යංජනයෙන් යුක්ත වූ, විවිධ ප්රාතිහාර්ය ඇති ධර්ම අර්ථ දේශනා අවබෝධයෙන් ගැඹුරු වූ, තම තමන්ගේ භාෂාවන්ට අනුරූප වන පරිදි සියලු සත්ත්වයන්ගේ ශ්රවණ පථයට එන්නා වූ, ඒ භාග්යවතුන් වහන්සේගේ වචනය සර්වාකාරයෙන් දැනගන්නට කවරෙක් නම් සමත් වේ ද? මුළු ශක්තිය ම යොදවා ගෙන අසනු කැමැත්ත උපදවා ගෙන’ ‘එවං මෙ සුතං’ මා විසින් ද එක් අයුරකින් අසන ලදී.
නිදර්ශන අර්ථයෙන් : මම ස්වයම්භූ (තමන් ම අවබෝධ කොට ගත්තෙක්) නො වෙමි. මෙය මා විසින් ප්රත්යක්ෂ නො කරන ලදී යි තමා (වගකීමෙන් මුදා හරිමින්, ‘එවං මෙ සුතං’ - මා විසින් මෙසේ අසන ලදී යි දැන් කිව යුතු සම්පූර්ණ සූත්රය දක්වා ලයි.
අවධාරණ අර්ථයෙන් : ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දො ගතිමන්තානං - සතිමන්තානං - ධිතිමන්තානං - උපට්ඨකානං යදිදං ආනන්දො’ (මහණෙනි, මෙසේ හෙයින් අග්ර වේ : එනම්, බහුශ්රැත වූ, යහපත් පැවතුම් ඇති, මරණ ශක්තිය ඇති, උත්සාහවන්ත වූ, උපස්ථායක වූ මාගේ ශ්රාවක භික්ෂූන් අතර ආනන්ද (හිමියෝ) අග්ර වෙති) යනුවෙන් මෙසේ භාග්යවතුන් වහන්සේ විසින් ද, ‘ආයස්මා ආනන්දො අත්ථකුසලො, ධම්මකුසලො, ව්යඤ්ජනකුසලො, නිරුත්තිකුසලො, පුබ්බාපරකුසලො’ (ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අර්ථයෙහි දක්ෂ වූ, ධර්මයෙහි දක්ෂ වූ, ව්යඤ්ජන (අක්ෂර) පිළිබඳ දක්ෂ වූ, පද සිද්ධියෙහි දක්ෂ වූ, පූර්වාපරයෙහි දක්ෂ වූ කෙනෙක් (වෙත්)) යනුවෙන් මෙසේ ධර්ම සේනාධිපතීන් වහන්සේ (සැරියුත් මා හිමියන්) විසින් ද ප්රශංසා ලැබ ඊට අනුරූප ව තමන්ගේ ධාරණ ශක්තිය විදහා දක්වන්නේ, “මෙසේ මා විසින් අසන ලදී; එය ද අර්ථ වශයෙන් හෝ ව්යඤ්ජන වශයෙන් හෝ නො අඩු ය, නො වැඩි ය. මෙසේ ම මිස අන් අයුරකින් නො දැකිය යුතු” යි සත්ත්වයන්ගේ අසනු කැමැත්ත උපදවයි.
‘මෙ’ ශබ්දය අර්ථ තුනක දක්නා ලැබේ. ඒ මෙසේ ය. ‘ගාථාභිගීතං මෙ අභොජනීයං’ (ගාථාවලින් (වේද මන්ත්රවලින්) ගයන ලද (ආහාරය) මවිසින් නො වැළඳිය යුතු ය යනාදී තැන්වල ‘මා විසින්’ යන අර්ථ යි. ‘සාධු මෙ භන්තෙ භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු’ (මැනවි, ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට ලුහුඬින් දහම් දෙසන සේක්වා) ආදී තැන්වල ‘මට’ යන අර්ථය වේ. ‘ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ’ (මාගේ භික්ෂූහු ධර්මය දායාද කොට සිටිහු) යනාදියෙහි ‘මගේ’ යන අර්ථයෙහි ය. මෙහි ‘මා විසින් අසන ලදී’ යි ද, ‘මාගේ ඇසීම’ යි ද යන අර්ථ දෙකේ ම යෙදේ.
‘සුතං’ යන මේ ‘සුත’ ශබ්දය උපසර්ග සහිත ද උපසර්ග රහිත ද (වේ.) ගමන - ප්රසිද්ධ - තෙත් - රැස් කළ - ධ්යානයෙහි යෙදීම - කණින් දත යුතු - ශ්රෝතද්වාර (කණ) අනුසාරයෙන් දැන ගන්නා ලද - ආදී නොයෙක් අර්ථ ප්රභේද ඇත්තේ වේ.
එසේ ම ය. එහි, ‘සෙනාය පසුතො’ (සේනාව සමග යන්නේ) ආදියෙහි “ගමන් කරන්නේ’’ යන අර්ථ යි. ‘සුතධම්මස්ස පස්සතො’ (ඇසූ ධර්මය දක්නහුගේ) යනාදී තන්හි ‘ප්රසිද්ධ ධර්මයේ’ යන අරුත යි. ‘අවස්සුතානවස්සුතස්ස’ (තෙත් වූ නො තෙත් වූ) යනාදී තැන්වල ‘තෙත් වූ’ යන අර්ථ යි. ‘තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං’ (ඔබලා විසින් අනල්ප වූ පිනක් රැස් කරන ලදී) ආදි තැන්වල ‘රැස් කරන ලද’ යන අර්ථ යි. ‘යෙ ඣානපසුතා ධීරා’ (නුවණ ඇති යම් කෙනෙක් ධ්යානයෙහි යෙදුනාහු) යනාදියෙහි ‘ධ්යානයෙහි යෙදුණේ’ යන අර්ථ යි. ‘දිට්ඨං සුතං මුතං’ (දක්නා ලද, අසන ලද, විඳින ලද) ආදියෙහි ශ්රෝත විඤ්ඤාණයෙන් ‘දත යුතු’ යන අර්ථ යි. ‘සුතධරො සුතසන්නිචයො’ (ඇසූ දේ දරන, ඇසූ දේ එක් රැස් කළ) ආදියෙහි ‘ශ්රෝතද්වාර අනුසාරයෙන් දත් දේ දරන’ යන අර්ථ යි. මෙහි වූ කලී ශ්රෝතද්වාර අනුසාරයෙන් මෙනෙහි කරන ලද (සලකා බලන ලද) හෝ මෙනෙහි කිරීම හෝ යන අර්ථ යි. ‘මෙ’ ශබ්දයට ‘මා විසින්’ යන අර්ථය ඇති කල, මා විසින් මෙසේ අසන ලදී - ශ්රෝතද්වාර අනුසාරයෙන් සලකා බලන ලදී යන්නෙහි යෙදේ. ‘මගේ’ යන අර්ථයෙහි වූ කල ‘මගේ ඇසීම’ මෙසේ ය - ශ්රෝතද්වාර අනුසාරයෙන් සලකා බැලීම යි යනුවෙන් යෙදේ.