7. සමය සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි සක්කෙසු “සක්‍යා වත භො රාජකුමාර (පින්වත් රාජකුමාරය, ශාක්‍යයෝ) යන උදානය හේතුකොට ගෙන ‘සක්කා’ (හැකි, ශාක්‍ය) යි නම් ලද රජකුමාරවරුන්ගේ නිවෙස්න වූ එක් ජනපදයකි. රූඪී ශබ්දයෙන් ‘සක්කා’ ය කියනු ලැබේ. එහි, ශාක්‍ය ජනපදයෙහි; මහාවනෙ ඉබේ හටගත්, රෝපණය නො කළ, හිමවතත් සමග ඒකාබද්ධ වූ මහවනයෙහි; සබ්බෙහෙව අරහන්තෙහි මේ සූත්‍රය දේශනා කළ දිනයේ ම පැමිණි අරහත් භාවය ඇතියවුන් සමග,
එහි අනුපූර්ව කථා මෙසේ ය - ශාක්‍ය කෝලිය වැස්සෝ කපිලවස්තු නගරයටත් කෝලිය නගරයටත් අතර රෝහිණී නම් නදිය එක ම බැම්මකින් බැඳ ගොවිකම් කටයුතු කරවත්. ඉක්බිති පොසොන් මස ගොයම් මැළවී යන විට නගර දෙකේ ම වැසියන්ගේ කම්කරුවෝ එක්රැස් වූහ. එහි දී කෝලිය නගරවාසීහු මෙසේ පැවසූහ. “මේ ජලය දෙපැත්තෙන් ම ගෙන යනවිට ඔබලාට වත් අපට වත් ප්‍රමාණවත් නො වේ. අපේ ගොයම් එක් ජල මුරයකින් ම පැහෙන්නේ ය. මේ ජලය අපට දෙනු මැනවි.” කපිල වස්තු පුර වැසියෝ මෙසේ කීහ. “ඔබලා අටු කොටු පුරවා ගෙන සිටින විට රන්රුවන් නිල් මැණික් කහවනු රැගෙන පෙට්ටි පසුම්බි ආදිය ගත් අතින් යුතුව ඔබලාගේ ගෙවල ගැවසෙන්නට අපට නුපුළුවන් වන්නේ ය. අපේ ගොයම් ද එක් ජල මුරයකින් පැසෙන්නේ ය. මේ ජලය අපට දෙනු මැනවි” “අපි නො දෙන්නෙමු” මෙසේ කථාව දිග් ගැසී එකෙක් නැඟිට එකෙකුට පහරක් ගැසී ය. ඔහු ද තවෙකකුට (ගැසීය.) මෙසේ උනුනුත් පහර දී රාජකුලයන්ගේ ජාතිය (කුල මළ) ගටමින් කලහ වැඩි කළහ.
කෝලිය වැසි කම්කරුවෝ කියති: තොපගේ කපිලවස්තු වැසියන් ගෙන ගර්ජනා කරන්නහු ය. යමෙක් බලු කැනහිල් ආදීන් මෙන් තම තම නැගණියන් සමග සංවාසයේ යෙදුනෝ ද, ඔවුන්ගේ ඇත්තුත්, අශ්වයෝත් හෙල්ල ආයුධ ආදියත් අපට කුමක් කරත් ද? ශාක්‍ය කම්කරුවෝ කියති. තොපි දැන් කුෂ්ටයාගේ දරුවන් රැගෙන ගොරවන්නහුය! යමෙක් අනාථව දුක්ඛිතව තිරිසනුන් මෙන් ඩෙබර (-මසන්) ගසක විසුවෝ ද, ඔවුන්ගේ ඇත්තුත් අශ්වයෝත් හෙල්ල ආදී ආයුධත් අපට කුමක් කරත් ද? ඔව්හු ගොස් තමන් වැඩවල යෙදූ අමාත්‍යවරුනට කීහ. ශාක්‍ය්‍යන් සොයුරියන් සමග සංවාසය කළවුන්ගේ තරමත් හයියත් පෙන්වන්නෙමු යි යුදට සැරසී පිට ව ගියහ. කෝලියයෝත් ඩෙබර ගසේ සිටි වැසියන්ගේ තරමත් හයියත් පෙන්වන්නෙමු යි යුදට සැරසී නික්ම ගියහ.
භාග්‍යවතුන් වහන්සේ ද රාත්‍රියෙහි අළුයම් සමයෙහි ම මහා කරුණා සමාපත්තියෙන් නැඟී ලෝකය දෙස විමසිල්ලෙන් බලන සේක්, මොවුන් මෙසේ යුදට සැදී නික්මෙනු දුටු සේක. දැක මා ගිය කල මේ කලහය සමනය නො වන්නේ දැයි බලන සේක් මම මෙහි ගොස් කලහ සමනය කරනු වස් ජාතක කථා තුනක් පවසන්නෙමි. එයින් කලහය සමනය වන්නේ ය. ඉක්බිති සමගිය උද්දීපනය කරනු වස් ජාතක දෙකක් දෙසා අත්තදණ්ඩ සූත්‍රය දේශනා කරන්නෙමි. දේශනාව අසා නගර දෙක්හි ම වැසියෝ කුමාරවරුන් දෙසිය පනහක් දෙසිය පනහක් දෙන්නෝ ය. මම ඔවුන් මහණ කරන්නෙමි, මහා සභා රැස්වීමක් වන්නේ යයි සනිටුහන් කළ සේක. එහෙයින් යුදට පෙළගැසී මොවුන් පිටත් වූ පසු කිසිවකුටත් නො දක්වා හුදෙකලා ව පාසිවුරු රැගෙන වැඩ සේනා දෙක මැද අහසෙහි පළක් බැඳ ෂඩ් වර්ණ රශ්මිය විහිදුවා සිටි සේක.
කපිල වස්තු වාසීහු භාග්‍යවතුන් වහන්සේ දුටුවෝ ම අපගේ ඥාති ශ්‍රේෂ්ඨ වූ ශාස්තෘෘන් වහන්සේ පැමිණි සේක. උන්වහන්සේ විසින් අප කලහ කරන බැව් දුටු සේක් වනැයි සිතා භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හි අප විසින් අනුන්ගේ සිරුරෙහි ආයුධ හෙළනු ලැබීමට හෝ කෝලිය නගරවාසීනට අප විනාශ කරන්නට හෝ හිරිහැර කරන්නට හෝ නො හැක්කේ යයි ආයුධ හැර දමා භාග්‍යවතුන් වහන්සේට වැඳ හිඳ ගත්හ.
භාග්‍යවතුන් වහන්සේ (කාරණය) දක්නා සේක් ම, “මහරජතුමනි, කුමන කරුණක් නිසා පැමිණියෙහි දැයි විමසූ සේක. “භාග්‍යවතුන් වහන්ස, තීර්ථ ක්‍රීඩාව පිණිස හෝ පර්වත ක්‍රීඩාව පිණිස හෝ නදී ක්‍රීඩාව පිණිස හෝ පර්වත දකිනු රිසියෙන් හෝ නො වේ. මේ ස්ථානයේ සංග්‍රාමයක් හට ගැනී පැමිණියෙම් වෙමි යි කී ය.
“මහරජ, කලහය කුමක් හේතුකොට ගෙන හට ගැනිණි ද?”
“ජලය (හේතු කොට ගෙන ය) ස්වාමීනි”
“මහරජ, ජලය කොපමණ අගී ද?”
“ස්වල්පයකි, ස්වාමීනි”
“මහරජ, පෘථිවිය නම් කොපමණ අගීද?”
“ස්වාමීනි, අනර්ඝයය”
“ක්‍ෂත්‍රියෝ කොපමණ අගිත් ද?”
“ක්‍ෂත්‍රියයෝ නම් අනර්ඝ වෙත්, ස්වාමීනි”
“මහරජ, නො වටිනා ජලය හේතු කොට කුමන ලාභයකට අනර්ඝ වූ ක්‍ෂත්‍රියයන් මරහු ද? කලහයේ ආස්වාදයක් නම් නැත. කලහ වශයෙන් මහරජතුමනි, අස්ථානයෙහි වෛර කොට එක් වෘක්ෂ දේවතාවකු විසින් කළු සිංහයකු හා ඇති කරගත් බද්ධ වෛරය මේ මුළු කල්පය පුරා පැවතුනේ ම යයි දක්වා ඵන්දන ජාතකය වදාළ සේක. එහෙයින් මහරජවරුනි, වෙනෙකෙකු විසින් මෙහෙයවනු නො ලැබිය යුතු ය. වෙනෙකෙකු විසින් මෙහෙයවීම නිසා එක් හාවකුගේ කථාවකින් යොදුන් තුන් දහසක් පුළුල් වූ හිමවතේ සිවු පා සමූහයා මහා සමුද්‍රයට පැන්නෝ ය. එහෙයින් අනුන්ගේ මෙහෙයවීමට යටත් නො විය යුතු යයි දක්වා පඨවි උද්‍රියන ජාතකය වදාළ සේක. එසේ ම මහරජවරුනි, කිසියම් දිනෙක දුර්වලයා වුව ද මහ බලවතකුගේ හිඩැසක් විවරයක් (ප්‍රමාද තැනක්) දකියි. කිසි යම් දිනෙක මහ බලවතා ද දුබලයකුගේ (හිඩැසක් විවරයක් දකියි) කැට කිරිල්ලියක් වුව ද විශාල ඇතෙකු ඝාතනය කළා යයි ලටුකික ජාතකය වදාළ සේක. මෙසේ කලහය සංසිඳවීම පිණිස ජාතක කථා තුනක් දේශනා කොට සමගිය උද්දීපනය කරනු පිණිස ජාතක දෙකක් වදාළ සේක. කෙසේ ද? මහරජවරුනි, සමගි වූවන්ගේ කිසියම් ප්‍රමාද තැනක් නම් දැකීමට නො හැක්කේ යැයි පවසා රුක්ඛධම්ම ජාතකය වදාළ සේක. එහෙයින් මහරජවරුනි, සමගි වූවන්ගේ කිසියම් විවරයක් දකිනු නො හැක. යම් කිසි දිනෙක අන්‍යෝන්‍යයන් හා විවාදයක් කළාහු ද එකල වැදිපුත්‍රයා ඔවුන් මරණයට පත්කොට ගෙන ගියේ ය. විවාදයෙහි ආස්වාදයක් නම් නැත්තේ යයි පවසා වට්ටක ජාතකය වදාළ සේක. මෙසේ මේ ජාතක පහ දේශනා කොට අවසානයෙහි දී අත්තදණ්ඩ සූත්‍රය දේශනා කළ සේක.