6. සද්ධා සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - සද්ධා දුතියා පුරිසස්ස හොති දෙව් ලොවෙහි මෙන් ම මිනිස් ලොවෙහිත් නිවනට යන පුරුෂයාට ‘සද්ධා’ ශ්‍රද්ධාව; දුතියො හොති (දෙවැන්නකු සේ) සහාය කාර්යය සලසයි, නො චෙ අස්සද්ධියං අවතිට්ඨති ඉදින් අශ්‍රද්ධාවෙහි නො පිහිටයි ද, යසො පිරිවර, කිත්ති වර්ණනා කිරීම, තත්‍වස්ස හොති (තතො අස්ස) එයින් ඔහුට වෙයි.
නානුපතන්ති සංගා රාග සංගා ආදි ඇලීම් පහ නො වැටෙත්. පමාදමනුයුඤ්ජන්ති යම් කෙනෙක් ප්‍රමාද කරත් ද (ප්‍රමාදයෙහි) පවතිත් ද, ඔවුහු එය යොදවත් නම් වේ. ධනං සෙට්ඨංව රක්‍ඛති. මුතු මැණික් මසාරගල්ල මෙන් එය (ප්‍රමාදය) ආරක්ෂා කරයි.
ඣායන්තො ලක්ෂණ උපනිජ්ඣානයෙන් හා ආරම්මණ උපනිජ්ඣාජනයෙන් දැහැන් වඩන්නේ, එහි ලක්ෂණ උපනිජ්ඣානය, නම් විදර්ශනා මාර්ග ඵල යි. විදර්ශනාවෙන් ත්‍රිලක්ෂණ භාවනා කරතියි ලක්ෂණ උපනිජ්ඣානය වේ. මාර්ගය විපස්සනාවෙන් පැමිණි කාර්යය සිද්ධ කරතියි ලක්ෂණ උපනිජ්ඣානය යි. ඵලය යථා ලක්ෂණය වූ නිරෝධ සත්‍යය භාවනා කරති යි ලක්ෂණ “උපනිජ්ඣාන” යි. අෂ්ට සමාපත්තිය කසිණාරම්මණය භාවනා කිරීමේ හේතුවෙන් ආරම්මණ උපනිජ්ඣාන යි දත යුතු ය. පරමං සුඛං අරහත් සුවය අදහස් කරන ලදි.
සයවැනි සූත්‍රය යි.
7. සමය සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි සක්කෙසු “සක්‍යා වත භො රාජකුමාර (පින්වත් රාජකුමාරය, ශාක්‍යයෝ) යන උදානය හේතුකොට ගෙන ‘සක්කා’ (හැකි, ශාක්‍ය) යි නම් ලද රජකුමාරවරුන්ගේ නිවෙස්න වූ එක් ජනපදයකි. රූඪී ශබ්දයෙන් ‘සක්කා’ ය කියනු ලැබේ. එහි, ශාක්‍ය ජනපදයෙහි; මහාවනෙ ඉබේ හටගත්, රෝපණය නො කළ, හිමවතත් සමග ඒකාබද්ධ වූ මහවනයෙහි; සබ්බෙහෙව අරහන්තෙහි මේ සූත්‍රය දේශනා කළ දිනයේ ම පැමිණි අරහත් භාවය ඇතියවුන් සමග,
එහි අනුපූර්ව කථා මෙසේ ය - ශාක්‍ය කෝලිය වැස්සෝ කපිලවස්තු නගරයටත් කෝලිය නගරයටත් අතර රෝහිණී නම් නදිය එක ම බැම්මකින් බැඳ ගොවිකම් කටයුතු කරවත්. ඉක්බිති පොසොන් මස ගොයම් මැළවී යන විට නගර දෙකේ ම වැසියන්ගේ කම්කරුවෝ එක්රැස් වූහ. එහි දී කෝලිය නගරවාසීහු මෙසේ පැවසූහ. “මේ ජලය දෙපැත්තෙන් ම ගෙන යනවිට ඔබලාට වත් අපට වත් ප්‍රමාණවත් නො වේ. අපේ ගොයම් එක් ජල මුරයකින් ම පැහෙන්නේ ය. මේ ජලය අපට දෙනු මැනවි.” කපිල වස්තු පුර වැසියෝ මෙසේ කීහ. “ඔබලා අටු කොටු පුරවා ගෙන සිටින විට රන්රුවන් නිල් මැණික් කහවනු රැගෙන පෙට්ටි පසුම්බි ආදිය ගත් අතින් යුතුව ඔබලාගේ ගෙවල ගැවසෙන්නට අපට නුපුළුවන් වන්නේ ය. අපේ ගොයම් ද එක් ජල මුරයකින් පැසෙන්නේ ය. මේ ජලය අපට දෙනු මැනවි” “අපි නො දෙන්නෙමු” මෙසේ කථාව දිග් ගැසී එකෙක් නැඟිට එකෙකුට පහරක් ගැසී ය. ඔහු ද තවෙකකුට (ගැසීය.) මෙසේ උනුනුත් පහර දී රාජකුලයන්ගේ ජාතිය (කුල මළ) ගටමින් කලහ වැඩි කළහ.
කෝලිය වැසි කම්කරුවෝ කියති: තොපගේ කපිලවස්තු වැසියන් ගෙන ගර්ජනා කරන්නහු ය. යමෙක් බලු කැනහිල් ආදීන් මෙන් තම තම නැගණියන් සමග සංවාසයේ යෙදුනෝ ද, ඔවුන්ගේ ඇත්තුත්, අශ්වයෝත් හෙල්ල ආයුධ ආදියත් අපට කුමක් කරත් ද? ශාක්‍ය කම්කරුවෝ කියති. තොපි දැන් කුෂ්ටයාගේ දරුවන් රැගෙන ගොරවන්නහුය! යමෙක් අනාථව දුක්ඛිතව තිරිසනුන් මෙන් ඩෙබර (-මසන්) ගසක විසුවෝ ද, ඔවුන්ගේ ඇත්තුත් අශ්වයෝත් හෙල්ල ආදී ආයුධත් අපට කුමක් කරත් ද? ඔව්හු ගොස් තමන් වැඩවල යෙදූ අමාත්‍යවරුනට කීහ. ශාක්‍ය්‍යන් සොයුරියන් සමග සංවාසය කළවුන්ගේ තරමත් හයියත් පෙන්වන්නෙමු යි යුදට සැරසී පිට ව ගියහ. කෝලියයෝත් ඩෙබර ගසේ සිටි වැසියන්ගේ තරමත් හයියත් පෙන්වන්නෙමු යි යුදට සැරසී නික්ම ගියහ.
භාග්‍යවතුන් වහන්සේ ද රාත්‍රියෙහි අළුයම් සමයෙහි ම මහා කරුණා සමාපත්තියෙන් නැඟී ලෝකය දෙස විමසිල්ලෙන් බලන සේක්, මොවුන් මෙසේ යුදට සැදී නික්මෙනු දුටු සේක. දැක මා ගිය කල මේ කලහය සමනය නො වන්නේ දැයි බලන සේක් මම මෙහි ගොස් කලහ සමනය කරනු වස් ජාතක කථා තුනක් පවසන්නෙමි. එයින් කලහය සමනය වන්නේ ය. ඉක්බිති සමගිය උද්දීපනය කරනු වස් ජාතක දෙකක් දෙසා අත්තදණ්ඩ සූත්‍රය දේශනා කරන්නෙමි. දේශනාව අසා නගර දෙක්හි ම වැසියෝ කුමාරවරුන් දෙසිය පනහක් දෙසිය පනහක් දෙන්නෝ ය. මම ඔවුන් මහණ කරන්නෙමි, මහා සභා රැස්වීමක් වන්නේ යයි සනිටුහන් කළ සේක. එහෙයින් යුදට පෙළගැසී මොවුන් පිටත් වූ පසු කිසිවකුටත් නො දක්වා හුදෙකලා ව පාසිවුරු රැගෙන වැඩ සේනා දෙක මැද අහසෙහි පළක් බැඳ ෂඩ් වර්ණ රශ්මිය විහිදුවා සිටි සේක.