2. මච්ඡරී සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි : මච්ඡෙරා ච පමාදා ච - තම සම්පත් සැඟවීම් ලක්ෂණ සහිත මසුරු බවින් ද සිහිය නොමැති බව ලක්ෂණ කොට ගත් ප්‍රමාදයෙන් ද, සමහරෙක්, දෙන්නාවූ මගේ මේ (ධනය) පිරිහීමට පත් වන්නේ ය, මට හෝ ගෙදර මිනිසුන්ට හෝ සංග්‍රහයක් නො වන්නේ යයි මසුරු බවින් දන් නො දෙති. කෙනෙක්, ක්‍රීඩා ආදියෙහි යෙදීම නිසා දානයක් දිය යුතු ය යන සිතුවිල්ල පවා උපදවා නො ගනිති. එවං දානං න දීයති මෙසේ කීර්තිය දෙන, සම්පත් දෙන, සැප දෙන දානය නො දෙන්නේ යි නො දෙන කරුණ පවසයි. පුඤ්ඤං ආකඞ්ඛමානෙන පූර්ව චේතනා ආදී ප්‍රභේද සහිත පින් කැමැත්තන් විසින්, දෙය්‍යං හොති විජානතා දානයේ ඵලයක් ඇත යනුවෙන් දන්නා තැනැත්තා විසින් දෙනු ලැබිය යුත්තේ යැයි පවසයි.
තමෙව බාලං ඵුසති ඒ බාලයා ම මෙහිත් පරලොවෙහිත් කුසගින්න හා පිපාසාව ස්පර්ශ කෙරේ. ලුහු බඳියි, හැර නො යයි. තස්මා යම් හෙයකින් ඔහු ම ස්පර්ශ කෙරේ ද එහෙයින් විනෙය්‍ය මච්ඡෙරං මසුරු මළ නසා, දජ්ජා දානං මලාභිභු (මසුරු) මළ මැඩ ලන පුද්ගලයකු වී, ඒ මසුරු මළ මැඩ පවත්වා දන් දෙන්නේ ය.
තෙ මතෙසු න මීයන්ති නො දෙන සුලු බව නිසා මරණයෙන් මියගියවුන් අතර නො මැරෙත්, යම් සේ මළ පුද්ගලයෙක් පිරිවරා ගෙන, බොහෝ ආහාර පාන ආදිය තැබූ කල්හි මෙය මොහුට වේවා මෙය මොහුට (වේවා) යනුවෙන් නැඟිට බෙදීමක් නො කරයි ද, අදානසීල (නො දෙන සුලු) තැනැත්තා ද එසේ යයි මිය ගිය තැනැත්තාගේත් නො දෙන්නාගේත් භෝගයෝ එක සමාන වෙත්. එහෙයින් දෙන අය සුලු අය ඒ ආකාරයේ මළවුන් අතර නො මියෙත් යනු අර්ථ යි. පන්‍ථානංච සහබ්බජං අප්පස්මිං යෙ පවච්ඡෙන්ති යම් සේ මහ මග කාන්තාර මාර්ගයේ එකට ගමන් කරන මගීහු තමන් හා එකට ගමන් කරන මගීන් හට සුළු හෝ මඟට අවශ්‍ය දෑ බෙදා දෙත් ද, එසේ අනමතග්ග වූ සංසාර කාන්තාරයෙහි එකට ගමන් කරන්නාහු එක් ව යන්නන් හට සුළු හෝ දෙය්‍ය ධර්ම බෙදා දෙන්නෝ ම ය. ඔවුහු මළවුන් අතර නො මියෙත්.
එස ධම්මො සනන්තනො මේ පෞරාණික ධර්මය යි. ‘සනන්තනානං’ පණ්ඩිතයන්ගේ හෝ ධර්මය මෙය වේ. අප්පස්මෙකෙ - අල්ප වූ දෙය්‍ය ධර්මයෙහි කෙනෙක්, පවෙච්ඡන්ති - දෙත්. බහුනෙකෙ න දිච්ඡරෙ බොහෝ භෝගවලින් යුක්ත වූ සමහරෙක් නො දෙත්. සහස්සෙන සමං මිතා දහසක් සමගින් ප්‍රමාණ කරන ලද, දහසකින් දෙන ලද දානය හා සමාන වේ.
දුරන්නයො - අනුගමනය නො කරන; පිරීම දුෂ්කර වේ යන අරුත යි. ධම්මං චරෙ - කුසල කර්ම පථ ධර්මයෙහි හැසිරෙන්නේ ද, යොපි සමුඤ්ඡකං චරෙ (යො අපි) යමෙක් (ඛල මණ්ඩල) කලවිටි හෙවත් කමත ශුද්ධ කිරීම, (පලාල පොඨන) පිදුරු තැලීම ආදී වශයෙන් (සමුඤ්ජක) වැටුණු ගොයම් කරල් ඇහිඳීමේ කටයුතුවල යෙදෙන්නේ ය. දාරඤ්ච පොසං දරුවන් ද පෝෂණය කරමින්, දදමප්පකස්මිං කොළ ඉත්තක් පමණ වූ ස්වල්පයක් ඇති කල්හි පවා බෙදමින් දෙන්නේ ම ධර්මයෙහි හැසිරෙයි. සතං සහස්සානං දහස දහස කොට ගණන් කරන ලද පුරුෂයන්ගේ සියයක්, ශත සහස්‍ර (ලක්ෂය) යන අර්ථය යි. සහස්සයාගිනං භික්ෂූන් සහස්‍රයකගේ යාගය හෝ කහවනු සහස්‍රයකින් පවත්වනු ලැබූ යාගය හෝ සහස්‍රයාගය වේ. එය ඔවුනට ඇත්තේ නුයි සහස්‍රයාගීහු වෙත්. ඒ සහස්‍රයාගීන්ගේ; එයින් කහවණු කෝටි දහයක පිණ්ඩපාතය හෝ දක්වන ලදි. යම් කෙනෙක් එපමණ දෙත් ද තෙ කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස යි කී ය. යම් ඒ පුද්ගලයෙක් වැටුණු ගොයම් කරල් එකතු කිරීමෙහි හැසිරෙන්නේ ම ධර්මයෙහි නියුතු වේ ද අඹුදරුවන් පෝෂණය කරමින් ස්වල්පයක් ඇති කල්හිත් දන් දෙන්නේ ද, සහස්‍රයාගීහු ඒ ආකාර වූ තැනැත්තාගේ කලාවක් වත් නො වටිත්. ඒ දිළින්දා විසින් එක් කොටසක් පමණ වූ හෝ සලාක බතක් පමණ වූ හෝ දෙන ලද යම් දානයක් වේ ද ඔහුගේ දානයේ කලාවක් වත් ඒ සියලු ම දෙනාගේ දානය නො වටී. ‘කලං’ (කලාව) යනු දහසයෙන් පංගුව හෝ සියයෙන් පංගුව හෝ දහසෙන් පංගුව හෝ වේ. මෙහි සියයෙන් පංගුව ගන්නා ලදි. ඔහු විසින් දෙන ලද යම් දානයක් වේ ද එය සියයෙන් බෙදූ කල්හි, අන් අයගේ දශකෝටි සහස්‍ර දානය එයින් එක් කොටසක් වත් නො වටී යි කී ය.