7. දුක්කර සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි: ‘දුත්තිතික්‍ඛං’ ක්‍ෂමා කළ නො හැකි, ඉවසිය නො හැකි ‘අබ්බ්‍යත්තෙන’ බාලයා විසින් ‘සාමඤ්ඤං’ ශ්‍රමණ ධර්මය, මෙයින් දේවතාවා: ‘පණ්ඩිත වූ කුල පුත්‍රයෝ වර්ෂ දහයක්, විස්සක්, හැටක් පවා දතින් දත තබා දිවෙන් තල්ල ගටා, සිතෙන් සිතට නිගරු කොට ඒකාසන ව එක් වේලක් පමණක් වැළඳීමෙහි යෙදෙමින් දිවි හිමියෙන් යම් බ්‍රහ්මචර්යයක් පුරමින් ශ්‍රමණ භාවය පුරත් ද, අව්‍යක්ත වූ බාලයා එය කිරීමට අසමත් වෙයි’ යන මෙය පෙන්නුම් කරයි. ‘බහූ හි තත්‍ථ සම්බාධා’ ඒ ශ්‍රමණභාව සංඛ්‍යාත ආර්ය මාර්ගයෙහි බොහෝ බාධක වේ. මාර්ගාධිගමනයට පිළිපන්නහුට පූර්ව භාගයෙහි බොහෝ අවහිරතා ඇතැයි දක්වයි.
‘චිත්තං චෙ න නිවාරයෙ’ ඉදින් අයෝනිසෝව හේතුවෙන් උපන් සිත නො වළකයි ද, කී දිනක් ශ්‍රමණ භාවයෙහි හැසිරෙයි ද? එක් දිනක් හෝ නො හැසිරෙයි. සිතේ වසඟයට පත් වූ තැනැත්තා ශ්‍රමණ ධර්මය පැවැත්වීමට නො සමත් වේ. ‘පදෙ පදෙ’ ආරම්මණයක් ආරම්මණයක් පාසා ය. මෙහි ‘පදං’ යනුවෙන් ආරම්මණය අදහස් කරන ලදී. යම් යම් ආරම්මණයක ක්ලේශ හට ගනී ද ඒ ඒ තන්හි බාලයා පසු බසී නමි. ඉරියව් (ලෙස ගැනීම) ද සුදුසු වේ. ගමන් ආදියෙහි යම් යම් තැන කෙලෙස් උපදී ද, ඒ ඒ තැන්වල පසු බසී’ නමි. ‘සඞ්කප්පානං’ කාම සංකල්ප ආදීන්ගේ;
‘කුම්මොව’ ඉදිබුවකු මෙන් ‘අඞ්ගානි’ ග්‍රීවය පස් වැන්න කොට ඇති අවයව ‘සමොදහං’ එකතු කරන්නේ (අකුලා ගන්නේ), එකතු කර හෝ; ‘මනොවිතක්කෙ’ සිතෙහි උපන් විතර්ක මෙයින් මෙපමණක් දක්වයි: ඉදිබුවකු යම් සේ ග්‍රීවය පස් වැන්න කොට ඇති අවයව තම ඉබි කටුව ඇතුළට ඇද ගනිමින් (රුවා ගනිමින්) සිවලාට පිවිසීමක් නො දෙයි ද, රුවා ගෙන ඔහුගේ මැඩ පැවැත්වීමකට නො පැමිණේ ද, එසේ ම භික්‍ෂුව ද මනා සේ උපන් විතර්ක, සිය ආරම්මණ නමැති කබලෙහි එකතු කරගනිමින් මාරයාට පිවිසීමක් නො දෙයි, ඔහුගේ මැඩපැවැත්වීමකට ද නො පැමිණෙයි යනු යි. ‘අනිස්සිතො’ තණ්හා දිට්ඨි නිඃශ්‍රයෙන් නො පිහිටා ‘අහෙඨයානො’ හිංසා නො කරමින් ‘පරිනිබ්බුතො’ කෙළෙස් පිරිනිවීමෙන් පිරිනිවුණේ වෙයි. ‘න උපවදෙය්‍ය කඤ්චි’ අන් කිසි පුද්ගලයෙකු ආචාර, විපත්ති ආදියෙහි දී යම් ලෙසකින් අසතුට පළ කිරීමට කැමති වී නො කියයි ද ‘කාලෙන වක්‍ඛාමි නො අකාලෙන’ (සුදුසු වේලාවට පවසමි. නො සුදුසු වේලාවේ නො වේ) ආදී කරුණු පහ සිත තුළට ගෙන උදව් කිරීම් ස්වභාවය සළකුණු වූ සිතින් කාරුණිකභාවය හේතුකොට ගෙන පවසයි ද යනු යි.
සත් වැනි සූත්‍රය යි.
8. හිරි සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි ‘හිරි නිසෙධො’ ලජ්ජාව හේතුකොට ගෙන අකුශල ධර්ම නිශේධනය කරති යි (වළක්වා ලති යි) ‘හිරි නිසෙධො, ‘කොචි ලොකස්මිං විජ්ජති’ එබඳු වූ කිසිවෙකු ලෝකයෙහි විද්‍යමාන වේ දැයි විමසයි. ‘යො නින්‍දං අපබොධති’ යමෙකු ගර්හාව බැහැර ලමින් වටහා ගනී ද? ‘අස්සො භද්‍රො කසාමිව’ යහපත් වූ ආජානීය අශ්වයා කසය බැහැර ලමින් වටහා ගනී; කෙවිටේ සෙවනැල්ල දැක සංවේග වෙමින් මෙන් කසයෙන් තමාට තැලීමට ඉඩ නො දෙයි ද, එලෙස ඒ භික්‍ෂුව සිදුවූ දේ පිළිබඳ ව දශ ආක්‍රෝශ වස්තුවලට තමා වෙත වැටෙන්නට ඉඩ නො දෙන්නේ, නින්දාව ‘අපබොධති’ බැහැර ලමින් වටහා ගනී. එබඳු කිසියම් ක්‍ෂීණාශ්‍රව තැනැත්තෙක් වේ දැයි විමසයි. අභූත ලෙස ආක්‍රෝශ කිරීමෙන් සහමුලින් මිදුණු තැනැත්තෙකු නම් නැත. ‘තනුයා’ තනුක ය (ස්වල්ප ය). ලජ්ජාවෙන් අකුශල ධර්ම වළක්වා හැසිරෙන්නා වූ ක්ෂීණාශ්‍රව වූවෝ නම් අල්ප වෙත් යනු අර්ථය යි. ‘සදා සතා’ සැම කල්හි සිහිය විපුල බවට පත්වීමෙන් යුක්ත වූ; ‘අන්තං දුක්‍ඛස්ස පප්පුය්‍ය’ සසර දුකෙහි කෙළවර වූ - අන්තය වූ - නිර්වාණයට පැමිණ. ඉතිරි කොටස පෙර කියන ලද පරිදි ම ය.
අට වැනි සූත්‍රය යි.
9. කුටිකා සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි ‘කච්චි තෙ කුටිකා’ මේ දේවතාවා, දස මසක් අභ්‍යන්තරයෙහි වසන ස්ථානයක අර්ථයෙන් මව කුටියක් කොට - යම් සේ පක්‍ෂීහු දවල් කාලයෙහි ගොදුරු සෙවීමෙහි යෙදී රාත්‍රියෙහි කූඩුවක ලගින්නෝ ද, එසේ ම සත්ත්වයෝ ද ඒ ඒ තැන්වල ගියෝ වුව ද, ගැහැනිය කරා එති, නිවස වශයෙන් බිරිඳ කුටිය කොට - කුල ප්‍රවේණිය පෙළපත් පැවතීම් අර්ථයෙන් පුතුන් පෙළපත ගෙන යන්නන් කොට, තව බන්ධනයක් කොට, ගාථා බන්ධනයෙන් මේ ප්‍රශ්න එක්තැන් කොට, භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද එය විසඳන්නාහු ‘තග්ඝ’ ආදිය වදාළ සේක. එහි ‘තග්ඝ’ යනු ඒකංස වචනයෙහි නිපාතයකි (ඒකාන්ත වශයෙන්), ‘නත්‍ථි’ හැර දමා, පැවිදි බව හේතුවෙන් සසරෙහි හෝ යළි මව් කුසෙහි වාසය කිරීමත් දරුවන් රැකබලා ගැනීම පුතුන් සෑදීම හෝ නොමැති බැවින් ‘නැත’.
දේවතාවා, මා විසින් සන්නාහයක් බැඳ (ගැට ගසා) ගූඪ ප්‍රශ්න අසන ලදී. මේ ශ්‍රමණ තෙමේ ප්‍රශ්න ඇසූ පමණින් ම විසඳී ය. මගේ අදහස දැන ගෙන ම පැවසී ද, නැතහොත් නො දැන කථා කළේ ද, කටට ආ කුමක් හෝ කීවේ දැයි සිතා යළිත් ‘කින්තාහං’ ආදිය පැවසී ය. එහි ‘කින්තාහං’ ‘කිං තෙ අහං’ (මම කුමක් ඔබ වහන්සේට) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම දේවතාවාට කරුණු පැහැදිලි කරමින් ‘මාතරං’ ආදිය කී සේක. ‘සාහු තෙ’ ගාථාවෙන් අනුමෝදන් කොට පැහැදීමට පත් ව භාග්‍යවතුන් වහන්සේට වැඳ ගන්ධමාලා ආදියෙන් පූජා කොට සිය දේවස්ථානය වෙත ම ගියේ වෙයි.