2. නන්දන වර්ගය
1. නන්දන සූත්‍ර වර්ණනාව
නන්‍දන වර්ගයේ පළමු වැන්නෙහි ‘තත්‍ර’ ඒ ආරාමයෙහි ‘ඛො’ ව්‍යංජන සිලිටි බව උදෙසා වූ නිපාත මාත්‍රයකි. ‘හික්‍ඛූ ආමන්තෙසි’ පිරිස අතර ජ්‍යෙෂ්ඨයන් වූ භික්‍ෂූන්ට දැන්වූ සේක. ‘භික්‍ඛවො’ ඔවුන් ආමන්ත්‍රණය කරන ආකාරය දැක්වීම යි. ‘හදන්තෙ’ පිළිවදන් දීම යි. ‘තෙ භික්‍ඛු’ එහි සම්මුඛ ව සිටි ධර්මය පිළිගන්නා භික්‍ෂූහු ‘භගවතො පච්චස්සොසුං’ භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනයට (‘පති අස්සොසුං’) පිළිවදන් දුන්හ, අභිමුඛයෙහි සිට ඇසූහ, පිළිගත්හ යන අරුත යි. ‘එතදවොච’ මෙය දැන් කිව යුතු, පෙර සිදු වූවකි ආදි වචන කී ය. එහි ‘තාවතිංසකායිකා’ තාවතිංස (තව්තිසා) කායෙහි උපන්; ‘තාවතිංසකාය’ නම් දෙවන දෙව් ලොව යි කියනු ලැබේ. මඝ මාණවකයා සමග මචල ග්‍රාමයෙහි කාල ක්‍රියා කොට එහි උපන් තෙතිස් දේව පුත්‍රයන් හේතු කොට ගෙන මේ දෙව් ලොවට මේ නම උපනැයි කියත්. යම් හෙයකින් සෙසු සක්වළෙහි ද කාමාවචර දේව ලෝක හයක් වේ ද, එය (මෙසේ) පවසන ලදී: ‘චාතුර්මහා රාජික දහසක්, තාවතිංස දහසක්’ යි. එහෙයින් ඒ දෙව් ලොවට මේ නම් පටබැඳීම වී යයි දත යුතු ය. මෙසේ නිර්දේශ පදයක් වේ.
‘නන්‍දනෙ වනෙ’ මෙහි ඒ වනයට පිවිසි පිවිසි අය ආනන්දයට පත් කරති යි, සන්තෝෂයට පත් කරති යි නන්දන වේ. මරණ නිමිති පහ හටගත් කල්හි සම්පත් හැර දමා චුත වන්නෙමු, චුත වන්නෙමු යි වැළපෙන දෙවියන්ට ශක්‍ර දේවේන්ද්‍රයා, “නො වැළපෙනු, නො බිඳෙන ස්වභාව ඇති සංස්කාරයක් නම් නැත” යි අවවාද දී එහි ඇතුළු කරවා ලයි. ඔවුන්ගෙන් සමහර දේවතාවන් විසින් අතින් අල්ලා ගෙන ඇතුළු කරවනු ලැබුව ද එහි සම්පත් දැක ම මරණ ශෝකය සමනය වෙයි. ප්‍රීති ප්‍රමුදිත භාවය ම උපදියි. ඉක්බිති එහි කෙළි සෙල්ලමෙහි යෙදෙන්නාහු ම, උෂ්ණයෙන් උණු වුණු හිම පිඬක් මෙන් දිය වී යත්. වාතයෙන් නිවී ගිය පහන් දැල්ලක් මෙන් නිවී යත්. මෙසේ ඇතුළට පිවිසි කෙනෙකු ආනන්දයට පත් කරවති යි සන්තෝෂයට පත් කරවති යි නන්දන නමි. ඒ නන්දන වනයෙහි; ‘අච්ඡරාසංඝපරිවුතො’ ‘අච්ඡරා’ (අප්සරා) යනු දෙව් දියණියන්ට නමකි. ඔවුන් සමූහයක් විසින් පිරිවරන ලද,
‘දිබ්බෙහි’ දෙව් ලොව උපන්; ‘පඤ්චහි කාමගුණෙහි’ මන පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සංඛ්‍යාත පඤ්ච කාම බන්ධනයෙන්; කාම කොට්ඨාසවලින් හෝ ‘සමප්පිතා’ යුත්, අනික (අනෙක් වචනය) ද ඊට ම සමානාර්ථවාවී ය. ‘පරිචාරයමානා’ පිනවමින්, ඒ ඒ රූපාදියෙහි ඉන්‍ද්‍රියයන් යොදවමින් හෝ, ‘තායං වෙලායං’ එසේ ඉන්‍ද්‍රියයන් පිනවන කාලයෙහි; ඒ වූ කලී මේ දේව පුත්‍රයාගේ වත්මන් - යළි උපන් - කාලය බව දත යුතු ය. ඔහුගේ ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි ම රන් රුවන් කඳක් මෙන් බබළමින් ගවු තුනක් පමණ වූ ශරීරය පහළ විය. හේ දිව්‍ය වස්ත්‍ර හඳින්නේ, දිව්‍යාලංකාරයෙන් සැරසුණේ, දිව්‍ය මාලා ගන්ධ විලේපන දරන්නේ, දිව්‍ය සඳුන් සුණෙන් මැනවින් විසුරුවනු ලබන්නේ, දිව්‍ය පංචකාම බන්ධනයෙන් වැසුනේ, පිරිවරන ලද්දේ, වට කරන ලද්දේ, ලොබින් මැඩපවත්වනු ලැබූයේ, ලෝභය දුර ලූ නිර්වාණය නො දක්නේ, නිර්භීත වචන පවසන්නකු මෙන් මහා ශබ්දයකින් ‘න තෙ සුඛං පජානන්ති’ යන මේ ගාථාව ගයමින් නන්දන වනයෙහි සැරි සැරී ය. එහෙයින් ‘තායං වෙලායං ඉමං ගාථං අභාසි’ (මේ අවස්ථාවේ මේ ගාථාව පැවසී ය) යි කියන ලදී.
‘යෙ න පස්සන්ති නන්‍දනං’ එහි සිටින්නාහු, පංචකාම ගුණ භුක්ති විඳීම් හේතුවෙන් නන්දන වනය නො දකිති. ‘නරදෙවානං’ යනු දේව නරයන්ගේ, දේව පුරුෂයන්ගේ යන අර්ථ යි. ‘තිදසානං’ දහයේ ඒවා තෙවරක් (තිහක්), ‘යසස්සිනං’ පරිවාර සංඛ්‍යාත යශසින් සමන්විත වූ,
‘අඤ්ඤතරා දෙවතා’ එක් ආර්ය ශ්‍රාවක වූ දේවතාවෙක් ‘පච්චහාසී’ මේ මෝඩ දේවතාවා මේ සම්පත්තිය නිත්‍ය, නො සෙල්වෙන (දෙයක් කොට) සිතයි. ඡේදන (කැපෙන), භේදන (බෙදෙන), විද්ධංසන (විනාශ වන) ධර්මතාව නො දන්නේ ය යනු අදහස යි. විවෘත කර පෙන්වමින්, ‘න ත්‍වං බාලෙ’ යන මේ ගාථාවෙන් පිළිවදන් දුන්නේ ය. ‘යථා අරහතං වචො’ රහතුන් වහන්සේලාගේ වචන යම් සේ ද, ඒ ආකාරයට ඔබ නො දන්නෙහි ය යි මෙසේ ඔහුගේ අදහස ප්‍රතික්‍ෂේප කොට දැන් රහතුන් වහන්සේලාගේ වචන පෙන්වන්නේ ‘අනිච්චා’ ආදී වචන පැවසී ය. එහි ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ සියලු ත්‍රෛභූමක සංඛාර බවට පත් ව අභාවයට යන අර්ථයෙන් අනිත්‍ය ය. ‘උප්පාදවයධම්මිනො’ උත්පාද (ඉපදීම- හටගැනීම) ව්‍යය (නැසී යාම) ස්වභාව කොට ඇති; ‘උප්පජ්ජිත්‍වා නිරුජ්ඣන්ති’ යන මෙය මුල් වචනවලට සමානාර්ථවාචී වේ. යම් හේතුවකින් ඉපිද නිරුද්ධ වෙත් ද, එහෙයින් උත්පාද - ව්‍යය ස්වභාව කොට ඇත්තේ වෙයි. උත්පාද - ව්‍යය ගැනීමෙන් මෙහි ඊට අනතුරු ව වූ අවස්ථාව ද ගන්නා ලද්දේ ම ය. ‘තෙසං වුපසමො සුඛො’ ඒ සංස්කාරයන්ගේ සංසිඳීම් සංඛ්‍යාත වූ නිර්වාණය ම සැප වේ. මෙය රහතුන් වහන්සේලාගේ වචන වේ යනු යි.