6. නිද්දාතන්දී සූත්‍ර වර්ණනාව
හය වැන්නෙහි ‘නිද්දා’ ‘අභිජානාමහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ -පෙ- නිද්දං ඔක්කමිතා’ (අග්ගිවෙස්සන, ගිම්හානයෙහි අවසන් මාසයෙහි ... නිදා ගැනීම අනුදනිමි.) මෙබඳු වූ අව්‍යාකෘත නිද්‍රාවෙහි පූර්ව භාග අපර භාගයන්හි ශෛක්‍ෂ හා පෘථග්ජනයන්ගේ සසංඛාරික අකුශල චිත්තයෙහි උපන් ථීන මිද්ධය වේ. ‘තන්‍දි’ අතිශය කුසගින්න, අතිශය ශීතල වාතය ඇති කාලවල හටගත් ආගන්තුක වූ අලස බව යි. එය මෙසේ කියන ලදී. ‘තත්‍ථ කතමා තන්‍දි? යා තන්‍දි තන්‍දියනා තන්‍දියනතා ආලස්සං ආලස්සායනා ආලස්සායිතත්තං, අයං වුච්චති තන්‍දී’ (එහි ‘තන්දි’ යනු කවරේ ද? මැළි බව, මැළි බවට පත්වීම, මැළි බවෙන් යුතු වීම, අලස බව, අලස බවට පත්වීම, අලස බවෙන් යුතු වීම ය. මෙය ‘තන්දි’ යි කියනු ලැබේ.)
‘විජම්භිකා’ ශරීරයේ ඇඟමැලි කැඩීම (හිරි ඇරීම) ය. ‘අරති’ කුශල පක්‍ෂයෙහි උකටලී බව (නො ඇල්ම) ය. ‘භත්තසම්මදො’ බත් මතය, ආත්ම ක්ලමථය, චිත්තදරථ (සිතේ කාංසාව), ආතතිය ආදී අවස්ථාවෙහි ඇති වන ඒවා, ‘තත්‍ථ කතමා විජම්භිකා? යා කායස්ස ජම්භනා’ (එහි ‘විජම්භිකා’ (ඇඟමැළි කඩා ඈනුම් ඇරීම යනු කවරේ ද? ශරීරයේ යම් හිරි ඇරීමක් වේ ද) ආදී ක්‍රමයට අභිධර්මයේ දැක්වේ ම ය. ‘එතෙන’ මේ නිද්‍රා ආදී උපක්ලේශවලින් කිළිටි වූ, වැළකුණු ස්වභාවය පහළ වීම ය. ‘නප්පකාසති’ නො බබළයි, පහළ නො වේ යන අර්ථය යි. ‘අරියමග්ගො’ ලෝකෝත්තර මාර්ගය; ‘ඉධ’ මේ ලෝකයෙහි; ‘පාණිනං’ සත්ත්වයන්ගේ ‘විරියෙන’ මාර්ග සමග උපන් වීර්යයෙන්; ‘නං පනාමෙත්‍වා’ ඒ හටගත් ක්ලේශය බැහැර කොට ‘අරියමග්ගො’ ලෝකෝත්තර මාර්ගය යි. මෙසේ මාර්ගයෙන් ම උපක්ලේශයන් බැහැර කොට මාර්ගයෙහි විශුද්ධිය කියන ලදී.
හය වැනි සූත්‍රය යි.
7. දුක්කර සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි: ‘දුත්තිතික්‍ඛං’ ක්‍ෂමා කළ නො හැකි, ඉවසිය නො හැකි ‘අබ්බ්‍යත්තෙන’ බාලයා විසින් ‘සාමඤ්ඤං’ ශ්‍රමණ ධර්මය, මෙයින් දේවතාවා: ‘පණ්ඩිත වූ කුල පුත්‍රයෝ වර්ෂ දහයක්, විස්සක්, හැටක් පවා දතින් දත තබා දිවෙන් තල්ල ගටා, සිතෙන් සිතට නිගරු කොට ඒකාසන ව එක් වේලක් පමණක් වැළඳීමෙහි යෙදෙමින් දිවි හිමියෙන් යම් බ්‍රහ්මචර්යයක් පුරමින් ශ්‍රමණ භාවය පුරත් ද, අව්‍යක්ත වූ බාලයා එය කිරීමට අසමත් වෙයි’ යන මෙය පෙන්නුම් කරයි. ‘බහූ හි තත්‍ථ සම්බාධා’ ඒ ශ්‍රමණභාව සංඛ්‍යාත ආර්ය මාර්ගයෙහි බොහෝ බාධක වේ. මාර්ගාධිගමනයට පිළිපන්නහුට පූර්ව භාගයෙහි බොහෝ අවහිරතා ඇතැයි දක්වයි.
‘චිත්තං චෙ න නිවාරයෙ’ ඉදින් අයෝනිසෝව හේතුවෙන් උපන් සිත නො වළකයි ද, කී දිනක් ශ්‍රමණ භාවයෙහි හැසිරෙයි ද? එක් දිනක් හෝ නො හැසිරෙයි. සිතේ වසඟයට පත් වූ තැනැත්තා ශ්‍රමණ ධර්මය පැවැත්වීමට නො සමත් වේ. ‘පදෙ පදෙ’ ආරම්මණයක් ආරම්මණයක් පාසා ය. මෙහි ‘පදං’ යනුවෙන් ආරම්මණය අදහස් කරන ලදී. යම් යම් ආරම්මණයක ක්ලේශ හට ගනී ද ඒ ඒ තන්හි බාලයා පසු බසී නමි. ඉරියව් (ලෙස ගැනීම) ද සුදුසු වේ. ගමන් ආදියෙහි යම් යම් තැන කෙලෙස් උපදී ද, ඒ ඒ තැන්වල පසු බසී’ නමි. ‘සඞ්කප්පානං’ කාම සංකල්ප ආදීන්ගේ;
‘කුම්මොව’ ඉදිබුවකු මෙන් ‘අඞ්ගානි’ ග්‍රීවය පස් වැන්න කොට ඇති අවයව ‘සමොදහං’ එකතු කරන්නේ (අකුලා ගන්නේ), එකතු කර හෝ; ‘මනොවිතක්කෙ’ සිතෙහි උපන් විතර්ක මෙයින් මෙපමණක් දක්වයි: ඉදිබුවකු යම් සේ ග්‍රීවය පස් වැන්න කොට ඇති අවයව තම ඉබි කටුව ඇතුළට ඇද ගනිමින් (රුවා ගනිමින්) සිවලාට පිවිසීමක් නො දෙයි ද, රුවා ගෙන ඔහුගේ මැඩ පැවැත්වීමකට නො පැමිණේ ද, එසේ ම භික්‍ෂුව ද මනා සේ උපන් විතර්ක, සිය ආරම්මණ නමැති කබලෙහි එකතු කරගනිමින් මාරයාට පිවිසීමක් නො දෙයි, ඔහුගේ මැඩපැවැත්වීමකට ද නො පැමිණෙයි යනු යි. ‘අනිස්සිතො’ තණ්හා දිට්ඨි නිඃශ්‍රයෙන් නො පිහිටා ‘අහෙඨයානො’ හිංසා නො කරමින් ‘පරිනිබ්බුතො’ කෙළෙස් පිරිනිවීමෙන් පිරිනිවුණේ වෙයි. ‘න උපවදෙය්‍ය කඤ්චි’ අන් කිසි පුද්ගලයෙකු ආචාර, විපත්ති ආදියෙහි දී යම් ලෙසකින් අසතුට පළ කිරීමට කැමති වී නො කියයි ද ‘කාලෙන වක්‍ඛාමි නො අකාලෙන’ (සුදුසු වේලාවට පවසමි. නො සුදුසු වේලාවේ නො වේ) ආදී කරුණු පහ සිත තුළට ගෙන උදව් කිරීම් ස්වභාවය සළකුණු වූ සිතින් කාරුණිකභාවය හේතුකොට ගෙන පවසයි ද යනු යි.