2. නන්දති සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි’ ‘නන්‍දති’ සතුටට පත් වෙයි. ප්‍රීතිමත් සිත් ඇත්තෙක් වෙයි. ‘පුත්තිමා’ බොහෝ පුතුන් ඇත්තේ, ඔහුගේ සමහර පුත්තු ගොවිතැන් කොට ධාන්‍යයෙන් අටු පුරවති. සමහරු වෙළඳාම් කොට රන්රුවන් ගෙන එති. සමහරු රජුට හේවාකම් කොට යාන වාහන, ගම් නියම්ගම් ආදිය ලබත්. ඉක්බිති, ඔවුන්ගේ දක්‍ෂතාව අනුව ලත් සිරි සැප භුක්ති විඳින්නා වූ මව හෝ පියා සතුටු වෙයි. ඒ අනුව ‘නන්‍දති පුත්තෙහි පුත්තිමා’ (පුතුන් ඇත්තේ පුතුන්ගෙන් සතුටු වෙයි) යි කී ය. ‘ගොහි තථෙව’ පුතුන් ඇත්තේ පුතුන්ගෙන් මෙන් ගව හිමියා ද එසේ පරිපූර්ණ වූ ගව රැළ දැක ගවයින් නිසා ලත් පස් ගෝ රස සැපත භුක්ති විඳිමින් සතුටු වෙයි. ‘උපධීහි නරස්ස නන්‍දනා’ යන මෙහි ‘උපධි’ උපධි සතරකි. කාමූපධි, ඛන්ධූපධි, කිලෙසූපධි, අභිසංඛාරූපධි යනුවෙනි. කාමයෝ ද ‘යං පඤ්චකාම ගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං කාමානං අස්සාදො’ (පඤ්ච කාම ගුණය හේතුකොට ගෙන කිසියම් සැපයක්, සොම්නසක් ඇති වේ ද, එය කාමයන්ගේ ආස්වාදය වේ) යනුවෙන් කියන ලද සැපයෙහි පිහිටා සිටීම (පදනම වීම) හේතු කොට ගෙන, ‘උපධීයති එත්‍ථ සුඛං’ (මෙහි සැපය පිහිටයි) යන මේ වචනාර්ථයෙන් ‘උපධි’ යි කියත්. ස්කන්ධ ද ස්කන්ධමූලක දුක්‍ඛයාගේ පදනම වීමේ හේතුවෙන්, ක්ලේශ ද අපා දුක්හි පදනම වීමේ හේතුවෙන් (හා) අභිසංස්කාර ද භව දුක්‍ඛයේ පදනම වීමේ හේතුවෙන් යනු යි. මෙහි වනාහි කාමූපධි (කාම උපධි) අදහස් කරන ලදී. පඤ්ච කාම ගුණයෝ ත්‍රෛභූමක (තෙමහල්) ආදී ප්‍රාසාද, උදාර වූ ශයනයන්හි නිඳීම, වස්ත්‍ර අලංකාර නාටක පිරිවර ආදී වශයෙන් සපයනු ලැබුවාහු ප්‍රීති සෝමනස්සය ඇදගන්නාහු සතුටට පත් කරවත්. එහෙයින් පුත්‍රයෝත් ගවයෝත් යන මේ උපධීහු මිනිසාගේ සන්තුෂ්ටිය යි දත යුත්තේ ය. ‘න හි සො නන්‍දති සො නිරූපධී’ කාම ගුණ සම්පත්ති රහිත, ආහාර පාන, වස්තු දුර්ලභ දිළිඳු තැනැත්තා සතුටට පත් නො වන්නේ ම ය. මේ ආකාරයේ මනුෂ්‍ය ප්‍රේතයාත්, මනුෂ්‍ය නිරි සත්ත්වයාත් කුමක් (මඟින්) සතුටු වෙයි ද ස්වාමීනී? යි විමසී ය.
මේ අසා ශාස්තෘන් වහන්සේ මෙසේ සිතූහ: මේ දේවතාවා ශෝකය උපදවන වස්තුව ම සන්තෝෂය දෙන වස්තුව ලෙස සලකයි. ඔහුට (මේවා) ශෝක වස්තු බව දක්වන්නෙමැයි ගෙඩියෙන් ගෙඩිය කඩන්නා සේ ඒ උපමාවෙන් ම ඔහුගේ වාදය බිඳින සේක්, ඒ ගාථාව ම පරිවර්තනය කොට (සකස් කොට) ‘සොචති’ යි වදාළ සේක.
එහි ‘සොචති පුත්තෙහි’ විදේශ ගමන ආදී හේතුවෙන් පුතුන් (දක්නට) නොමැති වූ විට හෝ (පුතුන්) නො පෙනෙන විට හෝ දැන් නො පෙනෙන්නේ ය යි විනාශය ගැන සැක සිතන්නේ, ශෝක කරයි. එසේ ම මළ විට ද මැරෙන විට හෝ සොරුන් ආදීන් හා රාජපුරුෂයන් විසින් අල්ලා ගත් විට හෝ සතුරන් අතට පත් වූ විට හෝ මරණ බිය ඇත්තේ ශෝක කරයි. ගස්වලින් ඇද වැටීම ආදිය සිදු වී අත් පා ආදිය කැඩීම වශයෙන් බිඳුණු විට හෝ බිඳෙන විට බිඳීම් පිළිබඳ සාංකාවෙන් ශෝක කරයි. පුතුන් ඇත්තා පුත්‍රයන්ගෙන් යම් සේ ද, ගව හිමියා ද එසේ නව ආකාරයකින් ගවයින් නිසා ශෝක කරයි. ‘උපධීහි නරස්ස සොචනා’ පුත්‍රයෝත් ගවයෝත් යම් සේ වෙත් ද, එසේ ම පඤ්චකාම ගුණ උපධීහු ද,
‘තස්ස චෙ කාමයානස්ස ඡන්‍දජාතස්ස ජන්තුනො,
තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පති”
(කාම වස්තු කැමති වන උපන් තෘෂ්ණා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයෝ ඉදින් පිරිහෙත් නම් එකල්හි හෙතෙම විෂ සහිත උලකින් විදුනා ලද්දකු මෙන් පෙළෙයි)
යි කී ආකාරයට ශෝක කරත්. එහෙයින් මිනිසා, ‘සොචනා’ (ශෝකය) ශෝක වස්තු ම වේ ය යි දත යුතු ය. ‘න හි සො සොචති යො නිරූපධී’ (යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ ශෝක නො කරන්නේ ම ය). යමකුට වනාහි චතුර්විධ වූ මේ උපධි නැද්ද නිරූපධි වූ මහා ක්‍ෂීණාශ්‍රව තැනැත්තේ කුමකට ශෝක කරන්නේ ද? දේවතාවනි, ශෝක නො කරයි යනු යි.
දෙවැනි සූත්‍රය යි.
3. නත්ථිපුත්තසම සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි ‘නත්‍ථි පුත්තසමං පෙමං’ (පුත්‍ර ස්ථාන සම වූ ප්‍රේමයක් නැත.) විරූප වුව ද තම පුතුන් ස්වර්ණ බිම්බකයක් (රන් රුවක් මෙන් සිතයි. මල් මාලාවක් මෙන් හිස මත තබා හැසිරෙන්නාහු, ඔවුන් විසින් පහරනු ලැබුවාහු වුව ද, මුත්‍ර කරනු ලැබුවාහු වුව ද, මළ පහ කරන ලද්දාහු වුව ද, සුවඳ විලවුන් වැටුනාක් මෙන් වසා ගනිමින් සොම්නසට පත් වෙති. එහෙයින් කී ය ‘නත්‍ථි පුත්තසමං පෙමං’ ‘පුත්‍ර ප්‍රේමයට සමාන ප්‍රේමයක් නම් නැත’ යි කියන ලද්දේ වේ. ‘ගොසමිතං’ ගවයින් හා සමාන, ගව සම්පත හා සමාන අන් ධනයක් නම් නැත. ස්වාමීනි, ‘සුරියස්මා ආභා’ සූර්යාලෝකය සමාන වූ වෙනත් එළියක් නම් නැතැයි දක්වයි. ‘සමුද්දපරමා’ යම් කිසි වෙනත් විල් නම් වූවක් වේ ද, ඒ සියල්ල ‘සමුද්දපරමා’ (සමුද්‍රය උත්තම කොට ඇත්තේ) වෙයි. සමුද්‍රය ඒවාහි උත්තම ය යි කී ය. සමුද්‍රය සමාන අන් ජල නිධානයක් නම් නැත.
තමා කෙරෙහි වූ ප්‍රේමයට සම ප්‍රේමයක් නම් නැති හෙයින්, මව් පියාදීන් හැර දමා වුව ද දූ පුතුන් ආදීන් පෝෂණය නො කොට සත්ත්වයෝ තමන් ම පෝෂණය කරත්. ධාන්‍යයට සමාන ධනයක් නම් නොමැත. එවන් කලක රන්රුවන් ආදිය ද ගව මහේෂාදීන් ද ගෙන ධාන්‍ය ගැනීම පිණිස ධාන්‍ය හිමියන් වෙත ම යත්. ප්‍රඥාවට සමාන ආලෝකයක් නම් නැත. සූර්යයා ආදීහු එක් දෙසක් (පැත්තක්) පමණක් එළිය කරත්. දැන් පවත්නා වූ ම අඳුර නසා ලයි. ප්‍රඥාව වූ කලී දස සහස්‍රී ලෝක ධාතුව ඒකාලෝක කිරීමට සමත් වෙයි. අතීතංස (ඉකුත් ආත්ම භාව (ආදී)) වැසී තිබෙන අඳුර ද නසා ලයි. වර්ෂාවට සමාන විලක් නො වේ. ගංගා වැව් වේවා තටාක ආදිය වේවා වර්ෂාව සමාන විලක් නො වේ. වැහි වළාවෙන් තොර වූ කල්හි මහා සමුද්‍රයෙහි ඇඟිලි පුරුකක් තෙමන මාත්‍රයක වත් ජලය නො පවතී. වර්ෂාව පැවතීමෙන් ආභස්සර ලෝකය දක්වා එක ම ජල කඳක් වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේවතාවාට ප්‍රති ගාථාවක් (පිළිතුරු ගාථාවක්) දෙසන්නාහු, ‘නත්‍ථි අත්තසමං පෙමං’ ආදිය වදාළ සේක.
තෙවැනි සූත්‍රය යි.
4. ඛත්තිය සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි ‘ඛත්තියො ද්විපදං’ දෙපා ඇත්තවුන්ගේ රජතුමා ‘සෙට්ඨො’ (ශ්‍රේෂ්ඨ වෙයි) ‘කොමාරි’ කුමරි කාලයෙහි පාවා ගන්නා ලද්දී; මැය අනික් භාර්යාවන් අතර ‘සෙට්ඨා’ (ශ්‍රේෂ්ඨ ය) යි කියයි. ‘පුබ්බජො’ පළමු ව උපන් තැනැත්තා - කණෙකු හෝ වේවා, කොර ආදීන් අතර වෙනත් කෙනෙකු හෝ වේවා, යමෙක් පළමු ව ඉපදුනේ ද, මේ දේවතාවාගේ වාදය (මතය) අනුව ‘සෙට්ඨො’ (ශ්‍රේෂ්ඨ) නම් වේ. යම් හෙයකින් දෙපා ඇතියවුන් අතර බුද්ධාදීහු ශ්‍රේෂ්ඨ වෙත් ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ගාථාව වදාළ සේක. එහි භාග්‍යවතුන් වහන්සේ අපා, ද්විපා ආදි සියලු ම සත්ත්වයන් අතර ශ්‍රේෂ්ඨ වුව ද ඒ සියලු සත්ත්වයන්ට ශ්‍රේෂ්ඨ ව ඉපිදෙමින් දෙපා ඇත්තවුන් අතර ම උපදිති. එහෙයින් ‘සම්බුද්ධො ද්විපදං සෙට්ඨො’ යි කී සේක. දෙපා ඇත්තවුන් අතර උපන්නා වූ එතුමන්ගේ සෑම තන්හි ම වූ ශ්‍රේෂ්ඨභාවය නැසිය හැකි නො වේ. ‘ආජානීයො’ ඇතකු හෝ වේවා, අශ්ව ආදීන් අතර වෙනත් එකකු හෝ වේවා සිවුපා සතුන් අතර ආජානීය (අශ්වයා) ම ශ්‍රේෂ්ඨ වෙති යි යන කරුණ යමෙක් දකී ද යන අර්ථය යි. කූටකර්‍ණ රජතුමාගේ ගුළවර්ණ (කීකරු) අශ්වයා මෙනි. රජතුමා නැගෙනහිර දොරටුවෙන් පිට ව ගොස් චේතිය පබ්බතයට යන්නෙමැයි කදම්බ නදී තීරයට සම්ප්‍රාප්ත වූයේ, අශ්වයා ඉවුරේ සිට වතුරට බැසීමට නො කැමති වෙයි. රජතුමා අශ්වාචාර්යයා අමතා ‘අහෝ! ඔබ විසින් අශ්වයා මැනවින් පුහුණු කරන ලදී. වතුරට බැසීමට නො කැමැත්තේ ය’ යි කී ය. ආචාර්යවරයා, ‘දේවයිනි, අශ්වයා මැනවින් පුහුණු කරන ලද්දේ වේ. ඔහුගේ සිතෙහි ‘ඉදින් මම වතුරට බසින්නෙම් නම් වලිගය තෙමෙන්නේ ය. වල්ගය තෙමුණු කල රජුගේ ඇඟෙහි ජලය වැටෙන්නේ ය’ යි (සිතුවිල්ලක්) වේ. එසේ ඔබ වහන්සේගේ ශරීරයෙහි ජලය වැටීමේ භයින් නො බසින්නේ ය. වල්ගය ගනු මැනවි’ යි කීය. රජතුමා එසේ කරවී ය. අශ්වයා වේගයෙන් බැස එතෙරට ගියේ ය. ‘සුස්සූසා’ (ඇහුම්කන් දෙන්නී) කුමරි වියෙහි පාවා ගන්නා ලද්දී හෝ වේවා පසු ව ගෙනෙන ලද්දී හෝ වේවා සුරූපි හෝ විරූපි හෝ වේවා යම් තැනැත්තියක් ස්වාමියාට ඇහුම්කන් දී සතුටු කරවයි ද, ඇය භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨ ය. ‘අස්සවො’ ඇහුම්කන් දෙන්නේ (කීකරු වූයේ) - වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා යමෙකු මව්පියන්ගේ වචනය අසයි ද, පිළිගනියි ද, අවවාද පිළිගන්නෙක් වෙයි ද, ඔහු පුත්‍රයන් අතර ශ්‍රේෂ්ඨ වෙයි. දේවතාවනි, සන්ධිච්ජේදන (ගෙවල් බිඳින්නන්) ආදී අනික් සොර පුත්‍රයන්ගෙන් කවර ප්‍රයෝජනයක් ද?