3. නත්ථිපුත්තසම සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි ‘නත්ථි පුත්තසමං පෙමං’ (පුත්‍ර ස්ථාන සම වූ ප්‍රේමයක් නැත.) විරූප වුව ද තම පුතුන් ස්වර්ණ බිම්බකයක් (රන් රුවක් මෙන් සිතයි. මල් මාලාවක් මෙන් හිස මත තබා හැසිරෙන්නාහු, ඔවුන් විසින් පහරනු ලැබුවාහු වුව ද, මුත්‍ර කරනු ලැබුවාහු වුව ද, මළ පහ කරන ලද්දාහු වුව ද, සුවඳ විලවුන් වැටුනාක් මෙන් වසා ගනිමින් සොම්නසට පත් වෙති. එහෙයින් කී ය ‘නත්ථි පුත්තසමං පෙමං’ ‘පුත්‍ර ප්‍රේමයට සමාන ප්‍රේමයක් නම් නැත’ යි කියන ලද්දේ වේ. ‘ගොසමිතං’ ගවයින් හා සමාන, ගව සම්පත හා සමාන අන් ධනයක් නම් නැත. ස්වාමීනි, ‘සුරියස්මා ආභා’ සූර්යාලෝකය සමාන වූ වෙනත් එළියක් නම් නැතැයි දක්වයි. ‘සමුද්දපරමා’ යම් කිසි වෙනත් විල් නම් වූවක් වේ ද, ඒ සියල්ල ‘සමුද්දපරමා’ (සමුද්‍රය උත්තම කොට ඇත්තේ) වෙයි. සමුද්‍රය ඒවාහි උත්තම ය යි කී ය. සමුද්‍රය සමාන අන් ජල නිධානයක් නම් නැත.
තමා කෙරෙහි වූ ප්‍රේමයට සම ප්‍රේමයක් නම් නැති හෙයින්, මව් පියාදීන් හැර දමා වුව ද දූ පුතුන් ආදීන් පෝෂණය නො කොට සත්ත්වයෝ තමන් ම පෝෂණය කරත්. ධාන්‍යයට සමාන ධනයක් නම් නොමැත. එවන් කලක රන්රුවන් ආදිය ද ගව මහේෂාදීන් ද ගෙන ධාන්‍ය ගැනීම පිණිස ධාන්‍ය හිමියන් වෙත ම යත්. ප්‍රඥාවට සමාන ආලෝකයක් නම් නැත. සූර්යයා ආදීහු එක් දෙසක් (පැත්තක්) පමණක් එළිය කරත්. දැන් පවත්නා වූ ම අඳුර නසා ලයි. ප්‍රඥාව වූ කලී දස සහස්‍රී ලෝක ධාතුව ඒකාලෝක කිරීමට සමත් වෙයි. අතීතංස (ඉකුත් ආත්ම භාව (ආදී)) වැසී තිබෙන අඳුර ද නසා ලයි. වර්ෂාවට සමාන විලක් නො වේ. ගංගා වැව් වේවා තටාක ආදිය වේවා වර්ෂාව සමාන විලක් නො වේ. වැහි වළාවෙන් තොර වූ කල්හි මහා සමුද්‍රයෙහි ඇඟිලි පුරුකක් තෙමන මාත්‍රයක වත් ජලය නො පවතී. වර්ෂාව පැවතීමෙන් ආභස්සර ලෝකය දක්වා එක ම ජල කඳක් වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේවතාවාට ප්‍රති ගාථාවක් (පිළිතුරු ගාථාවක්) දෙසන්නාහු, ‘නත්ථි අත්තසමං පෙමං’ ආදිය වදාළ සේක.
තෙවැනි සූත්‍රය යි.
4. ඛත්තිය සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි ‘ඛත්තියො ද්විපදං’ දෙපා ඇත්තවුන්ගේ රජතුමා ‘සෙට්ඨො’ (ශ්‍රේෂ්ඨ වෙයි) ‘කොමාරි’ කුමරි කාලයෙහි පාවා ගන්නා ලද්දී; මැය අනික් භාර්යාවන් අතර ‘සෙට්ඨා’ (ශ්‍රේෂ්ඨ ය) යි කියයි. ‘පුබ්බජො’ පළමු ව උපන් තැනැත්තා - කණෙකු හෝ වේවා, කොර ආදීන් අතර වෙනත් කෙනෙකු හෝ වේවා, යමෙක් පළමු ව ඉපදුනේ ද, මේ දේවතාවාගේ වාදය (මතය) අනුව ‘සෙට්ඨො’ (ශ්‍රේෂ්ඨ) නම් වේ. යම් හෙයකින් දෙපා ඇතියවුන් අතර බුද්ධාදීහු ශ්‍රේෂ්ඨ වෙත් ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ගාථාව වදාළ සේක. එහි භාග්‍යවතුන් වහන්සේ අපා, ද්විපා ආදි සියලු ම සත්ත්වයන් අතර ශ්‍රේෂ්ඨ වුව ද ඒ සියලු සත්ත්වයන්ට ශ්‍රේෂ්ඨ ව ඉපිදෙමින් දෙපා ඇත්තවුන් අතර ම උපදිති. එහෙයින් ‘සම්බුද්ධො ද්විපදං සෙට්ඨො’ යි කී සේක. දෙපා ඇත්තවුන් අතර උපන්නා වූ එතුමන්ගේ සෑම තන්හි ම වූ ශ්‍රේෂ්ඨභාවය නැසිය හැකි නො වේ. ‘ආජානීයො’ ඇතකු හෝ වේවා, අශ්ව ආදීන් අතර වෙනත් එකකු හෝ වේවා සිවුපා සතුන් අතර ආජානීය (අශ්වයා) ම ශ්‍රේෂ්ඨ වෙති යි යන කරුණ යමෙක් දකී ද යන අර්ථය යි. කූටකර්ණ රජතුමාගේ ගුළවර්ණ (කීකරු) අශ්වයා මෙනි. රජතුමා නැගෙනහිර දොරටුවෙන් පිට ව ගොස් චේතිය පබ්බතයට යන්නෙමැයි කදම්බ නදී තීරයට සම්ප්‍රාප්ත වූයේ, අශ්වයා ඉවුරේ සිට වතුරට බැසීමට නො කැමති වෙයි. රජතුමා අශ්වාචාර්යයා අමතා ‘අහෝ! ඔබ විසින් අශ්වයා මැනවින් පුහුණු කරන ලදී. වතුරට බැසීමට නො කැමැත්තේ ය’ යි කී ය. ආචාර්යවරයා, ‘දේවයිනි, අශ්වයා මැනවින් පුහුණු කරන ලද්දේ වේ. ඔහුගේ සිතෙහි ‘ඉදින් මම වතුරට බසින්නෙම් නම් වලිගය තෙමෙන්නේ ය. වල්ගය තෙමුණු කල රජුගේ ඇඟෙහි ජලය වැටෙන්නේ ය’ යි (සිතුවිල්ලක්) වේ. එසේ ඔබ වහන්සේගේ ශරීරයෙහි ජලය වැටීමේ භයින් නො බසින්නේ ය. වල්ගය ගනු මැනවි’ යි කීය. රජතුමා එසේ කරවී ය. අශ්වයා වේගයෙන් බැස එතෙරට ගියේ ය. ‘සුස්සූසා’ (ඇහුම්කන් දෙන්නී) කුමරි වියෙහි පාවා ගන්නා ලද්දී හෝ වේවා පසු ව ගෙනෙන ලද්දී හෝ වේවා සුරූපි හෝ විරූපි හෝ වේවා යම් තැනැත්තියක් ස්වාමියාට ඇහුම්කන් දී සතුටු කරවයි ද, ඇය භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨ ය. ‘අස්සවො’ ඇහුම්කන් දෙන්නේ (කීකරු වූයේ) - වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා යමෙකු මව්පියන්ගේ වචනය අසයි ද, පිළිගනියි ද, අවවාද පිළිගන්නෙක් වෙයි ද, ඔහු පුත්‍රයන් අතර ශ්‍රේෂ්ඨ වෙයි. දේවතාවනි, සන්ධිච්ජේදන (ගෙවල් බිඳින්නන්) ආදී අනික් සොර පුත්‍රයන්ගෙන් කවර ප්‍රයෝජනයක් ද?
සිව් වැනි සුත්‍රය යි.
5. සනමාන සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි ‘ඨිතෙ මජ්ඣන්තිකෙ’ ‘සිරි මද්දහනේ, ‘සන්නිසීවෙසු’ සුව පහසු ස්ථානයකට පැමිණ ඉසුඹු ලමින් (විවේක සුවයෙන් ගත කරමින්) සිටින; ‘ඨිතමජ්ඣන්තිකකාලො’ (සිරි මද්දහන කාලය) යන මෙය සියලු සත්ත්වයන්ගේ ඉරියව් දුබල කාලය වේ. මෙහි වනාහි පක්ෂීන් කෙරෙහි ම (විශේෂයෙන්) දක්නා ලැබේ. ‘සන්තෙව’ හඬ නගනු මෙන්, මහා ඝෝෂාවක් මෙන් ය යි කියනු ලැබේ. ‘සනමානං’ හඬ නගමින්) යන්න මෙහි ‘සන්තෙව’ (හඬ නගයි) කියන ලදී. මෙය ‘තප්පටිභාග’ (ඊට සමාන) නමි. ග්‍රීෂ්ම සමයෙහි ඨිතමජ්ඣන්තික කාලයෙහි සිවු පා ගණයා ද පක්ෂි ගණයා ද වැතිර සිටි කල්හි, වාතයෙන් පිරුණු සිදුරු සහිත ගස්වලත් සිදුරු වූ උණ පුරුක්වලත්, කඳින් කඳ අත්තෙන් අත ගැටෙන ගස්වලත්, මහා ශබ්දයක් හට ගනී. ඒ අරභයා මෙය කියන ලදී. ‘තං භයං පටිභාති මං’ ඒ ආකාර අවස්ථාවෙහි මහා වනයෙහි ශබ්ද නගන එය මා හට භයක් ව පවතී. (එය මට බියක් ඇති කරයි.) නුවණ නැති ඒ දේවතාවිය ඒ මොහොතේ තමාගේ නිසජ්ජා (හිඳ ගැනීමේ) පහසුවත් දෙවනු කථා පහසුවත් නො ලබන්නී මෙසේ කීවා ය. මක් නිසා ද යත්, එබඳු අවස්ථාවක පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ විවේකී අරණ්යායතනයෙහි කමටහන් ගෙන සිටින භික්ෂුවට අනල්ප වූ සුවයක් හට ගනී. ඒ අරභයා කියන ලදී.
“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනො,
අමානුසී රතී හොති සම්මා ධම්මං විපස්සතො”
අමානුසී රතී හොති සම්මා ධම්මං විපස්සතො”
“පුරතො පච්ඡතො වා’පි අපරො වෙ න විජ්ජති,
අතීව ඵාසු භවති එකස්ස වසතො වනෙ”
අතීව ඵාසු භවති එකස්ස වසතො වනෙ”
(හිස් ගෙයකට (පාලු නිවසකට) ගියා වූ ද, ශාන්ත සිත් ඇත්තා වූ ද, මැනවින් ධර්මය විමසා බලන්නා වූ ද භික්ෂුවට මානුෂීය නො වූ රතියක් ඇති වේ. ඉදිරියෙන් හෝ පිටු පසින් හෝ වෙනත් කිසිවෙකු නො දක්නා ලැබේ. එකලා ව වනයෙහි වසන්නහුට බොහෝ පහසුවක් වේ.)
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දෙවැනි ගාථාව වදාළ සේක. එහි ‘සා රති පටිහාති මං’ මෙබඳු අවස්ථාවක දී හුදෙකලා වූවහුගේ ‘නිසජ්ජා’ නම් වූ ඒ රතිය මා වෙත එළැඹි සිටී යනු අර්ථය යි. සෙස්ස ද එපරිද්දෙනි.
පස් වැනි සූත්‍රය යි.
6. නිද්දාතන්දී සූත්‍ර වර්ණනාව
හය වැන්නෙහි ‘නිද්දා’ ‘අභිජානාමහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ -පෙ- නිද්දං ඔක්කමිතා’ (අග්ගිවෙස්සන, ගිම්හානයෙහි අවසන් මාසයෙහි ... නිදා ගැනීම අනුදනිමි.) මෙබඳු වූ අව්‍යාකෘත නිද්‍රාවෙහි පූර්ව භාග අපර භාගයන්හි ශෛක්ෂ හා පෘථග්ජනයන්ගේ සසංඛාරික අකුශල චිත්තයෙහි උපන් ථීන මිද්ධය වේ. ‘තන්දි’ අතිශය කුසගින්න, අතිශය ශීතල වාතය ඇති කාලවල හටගත් ආගන්තුක වූ අලස බව යි. එය මෙසේ කියන ලදී. ‘තත්ථ කතමා තන්දි? යා තන්දි තන්දියනා තන්දියනතා ආලස්සං ආලස්සායනා ආලස්සායිතත්තං, අයං වුච්චති තන්දී’ (එහි ‘තන්දි’ යනු කවරේ ද? මැළි බව, මැළි බවට පත්වීම, මැළි බවෙන් යුතු වීම, අලස බව, අලස බවට පත්වීම, අලස බවෙන් යුතු වීම ය. මෙය ‘තන්දි’ යි කියනු ලැබේ.)
‘විජම්භිකා’ ශරීරයේ ඇඟමැලි කැඩීම (හිරි ඇරීම) ය. ‘අරති’ කුශල පක්ෂයෙහි උකටලී බව (නො ඇල්ම) ය. ‘භත්තසම්මදො’ බත් මතය, ආත්ම ක්ලමථය, චිත්තදරථ (සිතේ කාංසාව), ආතතිය ආදී අවස්ථාවෙහි ඇති වන ඒවා, ‘තත්ථ කතමා විජම්භිකා? යා කායස්ස ජම්භනා’ (එහි ‘විජම්භිකා’ (ඇඟමැළි කඩා ඈනුම් ඇරීම යනු කවරේ ද? ශරීරයේ යම් හිරි ඇරීමක් වේ ද) ආදී ක්‍රමයට අභිධර්මයේ දැක්වේ ම ය. ‘එතෙන’ මේ නිද්‍රා ආදී උපක්ලේශවලින් කිළිටි වූ, වැළකුණු ස්වභාවය පහළ වීම ය. ‘නප්පකාසති’ නො බබළයි, පහළ නො වේ යන අර්ථය යි. ‘අරියමග්ගො’ ලෝකෝත්තර මාර්ගය; ‘ඉධ’ මේ ලෝකයෙහි; ‘පාණිනං’ සත්ත්වයන්ගේ ‘විරියෙන’ මාර්ග සමග උපන් වීර්යයෙන්; ‘නං පනාමෙත්වා’ ඒ හටගත් ක්ලේශය බැහැර කොට ‘අරියමග්ගො’ ලෝකෝත්තර මාර්ගය යි. මෙසේ මාර්ගයෙන් ම උපක්ලේශයන් බැහැර කොට මාර්ගයෙහි විශුද්ධිය කියන ලදී.