චක්‍ෂුර් ආයතනාදිය විසුද්ධිමාර්ගයෙහි විස්තර කරන ලදි. චක්‍ඛු විඤ්ඤාණන්ති කුසලාකුසල විපාකයෙන් චක්‍ෂුර් විඥාන දෙකයි. සෙසු ප්‍රසාද විඥානයන්හි ද මේ ක්‍රමයයි. මේ දහය හැර මෙහි සෙස්ස මනෝවිඥාන නමි.
චක්‍ඛුසම්ඵස්සොති ඇසෙහි ස්පර්ශයයි. චක්‍ෂුර් විඥානයෙන් යුක්ත ස්පර්ෂයට මෙය නමකි. සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.
චක්‍ඛුනා රූපං දිස්වාති චක්‍ෂුර් විඥානයෙන් රූපය දැක සියලු තැන්හි ම මේ ක්‍රමයයි. සොමනස්සට්ඨානීයන්ති සොම්නසට අරමුණු වශයෙන් කාරණා වු උපවිචරතීති එහි විචාර පැවතීමෙන් හැසිරෙයි. විතර්කය එය හා යුක්ත වූයේ ද යන මේ ක්‍රමයෙන් දහ අටක් විතර්ක විචාර නම් මනෝපචාරයෝ දත යුතුයි. ඡසොමනස්සුපචාරාති මෙහි සොම්නස සමඟ හැසිරෙන්නේය යනු සෝමනස්සුපචාර නමි. සෙසු දෙකෙහි ද මේ ක්‍රමයයි.
ගෙහසිතානීති කාම ගුණ ඇසුරු කළ නෙක්කම්මසිතානීති විදර්ශනාව ඇසුරු කළ ඉට්ඨානන්ති සොයන්නවුන්ගේ කන්තානන්ති කැමතිවුන්ගේ මනොරමානන්ති සිත මොවුන් කෙරෙහි ඇලෙනුයේ මනෝරමානි නමි. එහි ඇලුණුවන්ගේ ලොකාමිසපටිසංයුත්තානං තෘෂ්ණාවෙන් යුක්ත වූවන්ගේ අතීතනං ලැබුවා වූ වර්තමානය අරබයා සතුට උපදින්නට අතීතයෙහි කෙසේ උපදීදැයි අතීතයෙහි යම්සේ මම ඉෂ්ට අරමුණු අනුභව කරම් ද පෙරත් එසේම අනුභව කළෙම් යැයි සිහි කරන්නා හට බලවත් සතුටක් උපදියි.
අනිච්චතං අනිත්‍යාකාරය. විපරිනාම විරාගනිරෝධං ප්‍රකෘතිය හැරීමෙන් විපරිනාමයයි. පහවීමෙන් විරාගයයි. නිරුද්ධයෙන් නිරෝධයයි. පඤ්ඤායාති විදර්ශනා ප්‍රඥාවෙන් ඉදං වුච්චති නෙක්කම්මසිතං සොමනස්සං මෙය රජුගේ ශ්‍රී සම්පත්තිය බලමින් සිටිය දී මෙන් විදර්ශනාව පිහිටුවා සිටියහුගේ සංස්කාරයන්ගේ බිඳීම බලන්නේ සංස්කාරගත තියුණු දක්‍ෂ විදර්ශනා ඥානයන් උසුලන කල්හි උපන් සතුට නෙක්ඛම්මසිත සෝමනස්සය යැයි කියයි. මෙය කියන ලදි -
ශුන්‍යගාරයට පිවිසුණු ශාන්ත සිතැති මනාකොට ධර්මය බලන භික්‍ෂුවට මනුෂ්‍ය නොවන ඇලීමක් වෙයි.
යම් පරිද්දකින් ස්ඛන්ධයාගේ උදයව්‍යය සිහි කෙරේ ද? ඒ අමෘතය දන්නාහුන් ප්‍රීති ප්‍රමෝද ලබත්.
ඉමානි මේ ෂට් වාරයන්හි ඉෂ්ටාරම්මණයෙන් ඇස් හමු වූ කල්හි අනිත්‍යාදී වශයෙන් විදර්ශනා වඩා සිටියහුට ඉපදුණු හය වැදෑරුම් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කල සෝමනස්සයයි.
අතීතං වර්තමානය ඒ තාක් ප්‍රාර්ථනා කොට නොලබන්නා හට නොසතුට උපදීවා. අතීතයෙහි කෙසේ උපදීදැයි අතීතයෙහි මම දැන් යම් සේ ද ඉෂ්ටාරම්මණය පතා නොලබමි. මෙසේ පෙරත් පතා නොලබත්. සිහිකරන්නා හට බලවත් නොසතුට උපදියි.
අනුත්තරෙසු විමොක්ඛෙසුති උතුම් විමෝක්‍ෂය නම් රහත් බවට පැමිණීමය. ප්‍රාර්ථනාව තබන්නහුගේ යන තේරුමයි. ආයතන යනු රහත් බවට හේතු වූ පිහං උපට්ඨාපයතොති ප්‍රාර්ථනාව තබන්නාට ඒ මේ ප්‍රාර්ථනාව තබන්නාට උපදයි. (ප්‍රාර්ථනා කොට නොලබන්නාට ද උපදියි). මෙසේ ප්‍රාර්ථනාව මුල් හෙයින් කැමති වන්නේ උවටැන් කරන්නේ යැයි කියයි. ඉමානි ඡ නෙක්ඛම්මසිතානීති දොමනස්සානීති මේවා මෙසේ ෂට් ද්වාරයන්හි ඉෂ්ට අරමුණු ඇස් හමු වූ කළ රහත් බවෙහි සතුටු වන්නේ පිහිටා එය අවබෝධය පිණිස අනිත්‍යාදී වශයෙන් විදර්ශනාව පිහිටුවා මන්දෝත්සාහී වීමට නොහැකි වන තැනැත්තාට මේ පක්‍ෂය මේ මාසය මේ වර්ෂය රහත් බවට පැමිණීමට නොහැකි වෙත්. ශෝක කිරීමෙන් ග්‍රාමන්ත පබ්භාර වාසී මහාසිව තෙරුන්ට මෙන් කඳුළු ධාරා පැවැත්වීම් වශයෙන් උපන් දොම්නසය ෂට් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළ දොම්නස යැයි දත යුතුයි. කථා වස්තුව සුමංගලවිලාසිනි දික්සඟි අටුවාවෙහි සක්කපඤ්හ වර්ණනාවෙහි විස්තර කරන ලදි. කැමැත්තහු විසින් එයින් දත යුතුයි.
උප්පජ්ජති උපෙඛාති මෙහි උපේක්‍ෂා නම් රහත්බව අනුව බැලීමයි. අනොධිජිනස්සාති කෙලෙස් නැමැති මුහුද දිනා සිටි බැවින් රහතන් වහන්සේ ඔධිජින නම් වෙයි. එහෙයින් රහත් නොවූ අයගේ යන තේරුමයි. අවිපාකජිනස්සාති මෙහි ද මතු විපාකය දිනා සිටි බැවින් රහතන් වහන්සේ විපාකජින නම් වේ. එහෙයින් රහත් නොවූ අයගේ යන තේරුමයි. අනාදීනවදස්සාවිනොති ආදීනවය උපද්‍රවය නොබලන්නහුගේ ඉමා ඡ ගෙහසීති උපෙක්ඛාති මෙසේ ෂට් ද්වාරයන්හි මේ ඉෂ්ට අරමුණු ඇස් හමුවට පැමිණි කල්හි හකුරු පිඬක සැඟවුණු මැස්සන් මෙන් රූපාදීන් නොහික්මවා එහි ලැග උපන් අපේක්‍ෂාව ඡ ගේහසිත් උපේක්‍ෂාව යැයි දත යුතුයි.
රූපංසාඅතිවත්තනීති එහි නියම වශයෙන් නොසිටියි. ඉමා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛාති මෙසේ ෂට් ද්වාරයන්හි මේ ඉෂ්ට අරමුණු ඇස් හමුවට පැමිණි කල්හි ඉෂ්ටයෙහි නොඇලෙන අනිෂ්ටයෙහි දුෂ්‍ය නොවන්නහුගේ නොබැලීමෙන් මුළා නොවන්නහුට උපන් විදර්ශනාවයි. නුවණින් යුතු ෂට් නෛෂ්ක්‍රම්‍ය සිත උපේක්‍ෂාව යැයි දත යුතුයි.