විභඞ්ග වර්ගය
භද්දේකරත්ත සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මාවිසින් භද්දේකරත්ත සුත්‍රය මෙසේ අසන ලදි. එහි භද්දෙකරත්තස්සාති විදර්ශනා භාවනාවෙහි යුක්ත යහපත්ව ඇළුනහුගේ උද්දෙසන්ති මාතෘකාවයි. විභංගන්ති විස්තර බෙදිය යුතු.
අතීතන්ති පසුගිය ස්කන්ධ පසෙහි නාන්‍වාගමෙය්‍යාති තෘෂ්ණා දෘෂ්ටිවලින් අනුව නො යන්නේය. න පටිකංඛෙති තෘෂ්ණා දෘෂ්ටියෙන් ප්‍රාර්ථනා නො කරන්නේය. යදතීතන්ති මෙහි මේ කාරණා වචනයයි. යම් හෙයකින් යමක් පසුගියේ ද එය ප්‍රහීනය. නිරුද්ධය. අස්තයට ගියේය. එහෙයින් එය අනුව නො යන්නේය. යම්හෙයකින් යමක් නො පැමිණියේ ද එය නො පැමිණියේය. නො ඇතිවිය. නො ඉපදුණේය. එහෙයින් එය ද නො පතන්නේය.
තත්‍ථ තත්‍ථාති වර්තමාන වූ ධර්මයක් යම් යම් තැනක උපදී ද එහි එහිම එය අනිත්‍යානුපස්සනාදී වූ සප්ත අනුපස්සනාවන්ගෙන් යමෙක් විදර්ශනා කරයි. ආරණ්‍යයෙහි හෝ ඒ ඒ තැන විදර්ශනා කරයි. අසංහීර අසංකුප්පන්ති මෙය විදර්ශනාව දැක්වීම පිණිස කියන ලදි. විදර්ශනාව වනාහි රාගාදීන්ගෙන් වෙනස් නොවෙයි. අසංකීර අසංකුප්ප නම් වේ. එය වර්ධනය කරන්නේ යැයි කියන ලදි. නොහොත් නිවන රාගාදීන්ගෙන් වෙනස් නොවෙනුයේ යැයි අසංහීර අසංකුප්ප නම් වේ. එය දැන පණ්ඩිත මහණ තෙමේ නැවත නැවත ඒ අරමුණ ඵල සමාපත්තියට පමුණුවමින් වඩන්නේ ය යන තේරුමයි.
එය වඩන්නහුගේ අර්ථය පිණිස අජ්ජෙව කිච්චං ආතප්පන්ති කෙලෙසුන්ගේ තැවීමෙන් ආතප්ප යැයි ලබන ලද නම වීර්ය කළ යුතු යැයි දක්වයි. කො ජඤ්ඤා මරණං සුවෙති හෙට මරණය හෝ ජීවත්වීම හෝ කවරෙක් දනී ද? අද දන් හෝ දෙමි. සිල් හෝ රකිමි. වෙනත් කුසලයක් හෝ කරන්නෙමි. අද ප්‍රමාදයක් ඇත. හෙට හෝ වෙන දවසක හෝ දැන ගන්නෙමි. සිත නූපදවා අද අද ම කරන්නෙමියි මෙසේ වීර්ය කළ යුතු යැයි දක්වයි. මහාසෙනෙනාති ගිනි විස ආයුධ ආදී නොයෙක් මරණයට හේතු වූ ඒ සේනාවයි. ඒ මහත් සේනාව වශයෙන් මහාසේන නමි. මෙබඳු මාරයා සමඟ දවස් කිහිපයක් බලාපොරොත්තු වෙව. යම්තාක් මම බුද්ධ පූජා ආදී වූ තමාට අවශ්‍ය කර්ම කරමි. මෙසේ මිත්‍රයෙකු ආකාරයැයි කියන ලද මේ සියය හෝ දහස හෝ ගෙන කිහිප දවසක් බලාපොරොත්තු වෙවයි මෙසේ අල්ලස් දීමකින් හෝ යම් සෙනගෙන් ප්‍රතිබාහනය කරමියි හෝ මෙසේ බල සමූහයයි කියන ලද යුද්ධයක් හෝ නැත. සංගාරොති මිත්‍රයෙකු ආකාර යැයි කියන ලද මෙය අල්ලස් දීමකින් හෝ මේ සෙනගෙන් හෝ එහෙයින් මේ අර්ථයෙන් කියන ලදි.
අතන්‍දිතන්ති අනලස්ව උත්සාහයෙන්, මෙසේ පිළිපන්න බැවින් යහපත් ඇලීම මොහුගේ යනු භද්දෙකරත්තො යන්නයි. මෙසේ පිළිපන්න ඒ පුද්ගලයා මේ භද්දෙකරත්තයයි. රාගාදියෙන් සංසිඳුණු හෙයින් ශාන්ත වූ බුදුරදුන් කියයි.
එවං රූපොති යනාදියෙහි කාලයට සමාන ඉඳුනිල් මැණිකක් පැහැය වුයෙමියි. මෙසේ මනෝඥරූප වශයෙන් මෙබඳු වූයෙමි. කුසල් සැප සොම්නස් විඳීම් වශයෙන් ම මෙසේ වේදනා නමි. එය යුක්ත සංඥා ආදීන්ගේ වශයෙන් මෙසේ සංඥාවන්ය. සංස්කාරය ද මෙසේමය. විඥානය ද මෙසේමය. අතීත කාලය වූයෙමි.
එහි නන්‍දිං සමන්‍වානෙතීති ඒ රූපාදීන්හි තෘෂ්ණාවෙන් සමන්විතයි. දෘෂ්ටිය අනුව පවතියි. හීනරූපාදී වශයෙන් ද මෙබඳු විය. -පෙ- මෙසේ විඥානය වේ යැයි නොසිතයි.
නන්‍දිං න සමන්‍වානෙතීති තෘෂ්ණාව හෝ තෘෂ්ණාවෙන් යුක්ත දෘෂ්ටිය හෝ අනුව නොපවතියි.
එවංරූපො සියන්ති ආදියෙහි ප්‍රණීත මනෝඥ රූපාදී වශයෙන් තෘෂ්ණාදෘෂ්ටි පැවතීම් සංඛ්‍යාත නන්දිය ම සමන්විත යැයි දත යුතුයි.
කතඤ්ච භික්ඛවෙ පච්චුප්පන්නෙසු ධම්මසු සංහීරතීති මේ වර්තමාන වූ යම් ධර්මයක් ඒ ඒ තැන්වල විදර්ශනා කරයි. අසංහීරං අසංකුප්පන්ති උද්දේශයාගේ නිර්දේශය පිණිස කියන ලදි. මෙහි කාමය ද මහණෙනි, කෙසේද? වර්තමාන වූ ධර්ම විදර්ශනා නොකෙරේ ද? යනාදිය කිව යුතුයි. යම්හෙයකින් අසංහීරය ද අසංකුප්පය ද විදර්ශනාවෙන් කියන ලදි. එහෙයින් එහි මෙසේ නොවීම ද වීම ද දක්වන්නට සංහීරති නසංහීරති යන මාතෘකා ගෙන විස්තර වශයෙන් කියන ලදි. එහි සංහීරති යන්න විදර්ශනාව නොවැඩීමෙන් තෘෂ්ණා දෘෂ්ටියෙන් අදියි. නසංහීරති යන්න විදර්ශනාව වැඩීමෙන් තෘෂ්ණා දෘෂ්ටියෙන් නොඅදියි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.