ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා.
මජ්ඣිම නිකාය
මූලපණ්ණාසකය අටුවාව
ග්‍රන්ථ ආරම්භ කථා
1. කරුණාවෙන් තෙත් වූ ළයක් ඇති, ප්‍රඥා නමැති පහනින් නැසූ මෝහාන්ධකාර ඇති, දෙවිමිනිසුන් සහිත ලෝවැසියනට ගුරු වූ නිරයාදී ගතීන්ගෙන් වෙසෙසින් මිදුනු සුගතයන් වහන්සේට මම වඳිමි.
2. බුදුරජාණන් වහන්සේ ද, අරිඅටඟි මඟ වැඩීමෙන්ද නිවන් පසක් කිරීමෙන් ද, සම්මා සම්බුදු පදවියට පැමිණි සේක් ද, පහවූ රාගාදී මල ඇති, ඒ ලොව්තුරු දහම් වඳිමි.
3. සුගතයන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ කෙලෙස් මරුන් පැරදවූ, ඒ අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නය සිරසින් වඳිමි.
4. මෙසේ පැහැදුනු සිත් ඇති මගේ තුණුරුවන් වැඳීමෙන් ජනිත වූ යම් පිනක් වේද, ඒ පින් බෙලෙන් මනාව නසන ලද උවදුරු ඇතිව,
5. මෙහි මැදුම් ප්‍රමාණයෙන් ලකුණු කරන ලද්දා වූ, බුදුරදුන් හා මහා ශ්‍රාවකයන් විසින් වර්ණනා කරන ලද, පරවාදයන් විලෝපනය කරන්නා වූ මජ්ඣිමාගම නම් වූ උතුම් මජ්ඣිම නිකායෙහි.
6. අරුත් ප්‍රකාශ කරනු සඳහා යම් අර්ථ කථාවක් තොමෝ පන්සියයක් මහරහතුන් විසින් ආදියෙහි (පළමු ධර්ම සංගායනාවේදී) අරුත් පළකරන ලද්දේද දෙවන තුන්වන සංගායනාවලදී අනුසංගායනා කරන ලද්දේ ද,
7. (පසුව) මහා මහින්ද මහරහතන් වහන්සේ විසින් සීහළ දීපයට ගෙන එන ලදුව, ලක්වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා සිංහල භාෂාවෙන් තබන ලද්දේද,
8. (බුද්ධඝෝෂ වූ) මම ඒ අර්ථ කථාවන් සිංහල භාෂාව අතහැර පෙළදහමට අනුකූල වූ සිත්කලු වූ මගධ භාෂාවට නගන්නෙමි.
9. ආචාර්ය පරම්පරාවට ප්‍රදීපයක් බඳු වූ ඉතා සියුම් වූ ධර්ම විනිශ්චයක් ඇති. මහාවිහාරවාසී වූ තෙරවරුන්ගේ පිළිගැනීම්වලට විරුද්ධ නොවෙමින්,
10. සාධු ජනයාගේ සතුට පිණිසද, ධර්මයාගේ බොහෝකල් පැවැත්ම පිණිස ද, නැවත, නැවත කියන ලද අර්ථය අත්හැර (මධ්‍යම නිකාය) අර්ථ කථාව ප්‍රකාශ කරන්නෙමි.
11. ශීලයාගේ විස්තර කථාවද, ධුතාංග ධර්ම ද, සියලු කමටහන්ද, චරියා විධාන සහිත සියලු කමටහන් ද, ධ්‍යාන සමාපත්තීන්ගේ විස්තර ද
12. සියලු අභිඥාවන් ද, ඒකවිධ ආදී භේදගත ප්‍රඥාවගේ සංකලනය වූ විනිශ්චය ද ඛන්‍ධ-ධාතු-ආයතන-ඉන්‍ද්‍රිය යන මොවුන් ද
13. චතුරාර්ය සත්‍ය ධර්මයද, ඉතා පිරිසිදු සියුම් නය ඇති, පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න ධර්මයන් සම්බන්ධ පච්චයාකාර දේශනා ද, නොහරණ ලද දෙසුම් මඟ ඇති විපස්සනා භාවනාවද,
14. මෙසේ මේ සියල්ල විසුද්ධි මාර්ගයේ දී මා විසින් ඉතා සුපිරිසිදුව කියන ලදි. එහෙයින් මෙහිදී එය බොහෝසෙයින් නැවත නැවත විමසීම් නොකරන්නෙමි.
15. දීඝ, මජ්ඣිම ආදී සතර ආගම (නිකාය) මැද මෙම විසුද්ධි මාර්ගය වේ. එහි වර්ණනා කළ අර්ථ හැර මෙය පවසමි.
16. මෙසේ විසුද්ධි මාර්ගයම සාධාරණ තන්හි තබා කරන ලද්දේද, එබැවින් එම විසුද්ධි මාර්ගයම මෙම මජ්ඣිම නිකාය අට්ඨකථාව සමග ගෙන මජ්ඣිම නිකාය පිළිබඳ අර්ථ කථාව දැනගනු මැනවි.
නිදාන වර්ණනා
මෙම මජ්ඣිම නිකාය වූ කලී පණ්ණාසක වශයෙන්, මූල පණ්ණාසක, මජ්ඣිම පණ්ණාසක, උපරි පණ්ණාසක යයි පණ්ණාසක තුනකින් සංග්‍රහ වන්නීය. වර්ග වශයෙන් එක එක පණ්ණාසකයෙහි වර්ග පසක් බැගින් වර්ග පසළොසකින් යුක්ත වන්නීය. සූත්‍ර දේශනාවෝ එකසිය පනස් දෙකෙක් වෙති. පද වශයෙන්, තෙවිස්සකට වැඩි වූ පන්සියයක් අධික කොට ඇති, අසූ පද දහසක් වෙති. එහෙයින් පොරාණයෝ කීහ.
“අසීතිපද සහස්සානි භිය්‍යො පඤ්ච සතානිච
පුන තෙවීසති වුත්තා පදමෙවං වවත්‍ථිතං”
පුන තෙවීසති වුත්තා පදමෙවං වවත්‍ථිතං”
අසූ පද දහසක් ද, නැවත පන්සියයක් ද, නැවත තෙවිස්සක් ද කියන ලද්දාහුය. මෙසේ පද ව්‍යවස්ථා කරන ලදි. මෙයින් අසූදහස් පන්සිය තෙවිසි පද කෙනෙක් කියන ලද්දාහු වෙති. අක්‍ෂර වශයෙන් අක්‍ෂර පන්සිය දහසක්ද, සතලිස් දහසක් ද, තෙපනස් අකුරෙක් ද වෙති.
මේ අයුරින් අකුරු සත්ලක්‍ෂ සතලිස් දහස් තෙපනසකැයි දක්වන ලදි. බණවර වශයෙන් අසූ බණවරක් ද තෙවිසි පදයක් අධික කොට ඇති, අඩ බණවරක් ද වේ. අනුසන්ධි වශයෙන්, පුච්ඡානු සන්ධි, අජ්ඣාසයානු සන්ධි, යථානු සන්ධි යයි සැකෙවින් තුන් අනුසන්ධියකි. විස්තර වශයෙන් අනුසන්ධීහු තුන්දහසක් ද නවසියයක් ද වෙති. එහෙයින් කීහ, පොරාණයෝ -
“තීණි සන්‍ධි සහස්සානි - තථානව සතානිච
අනුසන්‍ධි නයා එතෙ - මජ්ඣිමස්ස පකාසිතා”
අනුසන්ධි නයා එතෙ - මජ්ඣිමස්ස පකාසිතා”
යනුවෙන් (මජ්ඣිම නිකායයාගේ අනුසන්ධි තුන්දහසක්ද, එසේම නවසියයක්ද යන මේ අනුසන්ධි ක්‍රමයන් ප්‍රකාශ කරන ලද්දාහුය. මෙයින් මජ්ඣිම නිකාය පිළිබඳ වූ මේ තුන්දහස් නවසියයක් සම්බන්ධ අනුසන්ධි ක්‍රමයක් ප්‍රකාශ කරන ලද බැව් පෙනේ.
එහි පණ්ණාසක අතුරෙන් මූලපණ්ණාසක ආදියයි වර්ග අතුරෙන් මූලපරියාය ආදියයි. සූත්‍රයන් අතුරෙන් මූලපරියාය සූත්‍රය පාදයයි. එම සූත්‍රයාගේ ද ‘එවං මෙ සුතං’ යනුවෙන් දැක්වෙන අනඳ තෙරුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංගායනාවේදී වදාළ නිදාන ආදිය වෙයි.
එම ධර්ම සංගීති කථා තොමෝ සුමංගල විලාසිනී දීඝනිකායට්ඨ කථාවේ විස්තර කරන ලද්දේය. එහෙයින් එය එහි විස්තර කළ අයුරින් දත යුත්තේය.
මූල පරියාය වර්ගය
මූල පරියාය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනුවෙන් යම් නිදානයක් වේද එහි එවං යනු නිපාත පදයකි. මෙති යනාදීහු නාම පදයෝය. උක්කට්ඨායං විහරති - මෙහි ‘වි’ යනු උපසර්ග පදයකි. හරති යනු ආඛ්‍යාත පදයකි. මෙම ක්‍රමයට පද විභාගය දතයුත්තේය.
අර්ථ වශයෙන් එවං ශබ්දය, උපමා-උපදේශ, සතුටුවීම්, නින්දා, වචන පිළිගැනීම, ආකාර, නිදර්ශන අවධාරණ ආදී නොයෙක් ප්‍රභේදයෝ වෙති. ඒ මෙසේ යැ. ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ මේ ආදී තන්හි උපමා අර්ථයෙහි වැටේ. එවං තෙ අභික්කමිතබ්බං එවං පටික්කමිතබ්බං මේ ආදී තන්හි උපදේශ අර්ථයෙහි වැටේ. එව මෙතං භගවා එවමෙතං සුගතා, යන තන්හි සතුටුවීම් අර්ථයෙහි වේ. එවමෙවම්පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති, යනාදී තන්හි නින්‍දා කිරීම් අර්ථයෙහි වේ. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං යනාදී තන්හි වචන පිළිගැනීම් අර්ථයෙහි වේ. එවං ව්‍යා ඛො අහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ යනාදී තන්හි ආකාර අර්ථයෙහි වේ. ‘එහි ත්‍වං මාණවක යෙන සමණො ආනන්‍දො තෙනුපසංකමිං උපසංකමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප්පබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසු විහාරං පුච්ඡ, සුභො මාණවො තොදෙය්‍ය පුත්තො භගවන්තං ආනන්‍දං අප්පාබාධං, -පෙ- ඵාසුවිහාරං පුච්ඡතීති එවඤ්ච වදෙහි සාධුකිර භවං ආනන්‍දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු. අනුකම්පං උපාදාය ආදී තන්හි නිදර්ශනාර්ථයෙහි වේ.
තං කිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති. අකුසලා භන්තෙ සාවජ්ජා අනවජ්ජාවාති සාවජ්ජා භන්තෙ, විඤ්ඤුගරහිතා වා විඤ්ඤු පසත්‍ථා වාති විඤ්ඤු ගරහිතා භන්තෙ, සමන්නා සමාදිණ්ණා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. නොවා තථං වා එත්‍ථ හොතීති සමත්තා භන්තෙ සමාදිණ්ණා අහිතාය දුක්ඛාය සංවත්තන්ති එවං නො එත්‍ථ හොති ආදී තන්හි අවධාරාණාර්ථයෙහි වේ. මෙහි එවං ශබ්දය ආකාර, නිදර්ශන අවධාරණ අර්ථයන්හි යෙදෙන බව දතයුතුය.