චූළකම්මවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් සුභ සූත්‍රය මෙසේ අසන ලදි. එහි සුභොති ඔහු වනාහි ප්‍රසාද එළවන දැකුම්කළු වූයේ වෙයි. එහෙයින් ඔහුට ශරීරාවයවයන් හොඳ බැවින් සුභ යන නම විය. මාණවොති ඔහු තරුණ කාලයෙහි ව්‍යවහාර කළාහ. ඔහු මහළු කාලයේ ද ඒ ව්‍යවහාරයෙන් ම ව්‍යවහාර කරයි. තොදෙය්යපුත්තොති තෝදෙය්‍ය නම් පසේනදී රජුගේ පුරෝහිත බමුණාගේ පුතායි. සැවැත්නුවරට සමීපයෙහි තුදි නම් ගමක් ඇත. එයට අධිපති හෙයින් තෝදෙය්‍ය යන නමට ගියේය. අසූහත් කෝටියක් පමණ මහත් වස්තු ඇත්තෙකි. ඉතා ලෝභීය. දෙන්නාගේ වස්තුව ක්ෂය නොවීමක් නම් නැතැයි සිතා කිසිවෙකුට කිසිවක් නොදෙයි. මෙය කියන ලදි.
අඳුන් ක්ෂයවීමත් වේයන්ගේ රැස් කිරීමත් මී මැස්සන්ගේ එකතු කිරීමත් දැක පණ්ඩිතයා ගිහිගෙයි වසන්නේය.
මෙසේ නොදීම ම ඉගැන්වීය. ළඟ විහාරයෙහි වැඩ වසන බුදුරදුන්ට කැඳ ටිකක්වත් බත් හැන්දක්වත් නොදී ධන ලෝභයෙන් මැරී ඒ ගෙදර ම බල්ලෙක් ව උපන්නේ ය. සුභ තෙමේ ඒ බල්ලාට ඉතා ප්‍රියයි. තමා කන ආහාර ම කවයි. ඔසවා හොඳ සයනාසනවල ම සතපයි. එකල්හි බුදුරදුන් එක් දවසක් උදෑසන ලොව බලන්නේ ඒ බල්ලා දැක තෝදෙය්‍ය බමුණා ධන ලෝභයෙන් තමන්ගේ ගෙදර ම බල්ලෙක් ව උපන්නේ ය. අද මා සුභගේ ගෙට ගිය කල්හි මා දැක බල්ලා බුරන්නේ ය. එකල මම ඌට එක වචනයක්වත් කියන්නේ ය. ඌ ශ්‍රමණ ගෞතමයෝ මා හැඳින ගත්තේ යැයි දැන ගනියි. එසේ දැන ගොස් ලිප් බොක්කෙහි ලගින්නේ ය. ඒ කාරණයෙන් සුභට මා සමඟ එක් කථාසල්ලාපයක් වන්නේ ය. ඔහු බණ අසා සරණයන්හි පිහිටන්නේය. බල්ලා මැරී නරකයෙහි උපදින්නේ ය. මේ තරුණයා සරණයෙහි පිහිටන බව දැන බුදුරදුන් ඒ දවසෙහි සිරුර පිළිලැගුම් කොට තනිවම ගමට පිවිස මාණවකයා නික්මුණු කල්හි ඒ ගෙට පිඬු පිණිස වැඩියේය.
බල්ලා බුදුරදුන් දැක බුරමින් බුදුරදුන් ළඟට ගියේය. එයින් බුදුරදුන් ඌට මෙසේ කීය. තෝදෙය්‍ය, නුඹ පෙර ද මට භෝ භෝ යි නින්දා කොට බල්ලෙක් විය. දැන් ද බුරා අවීචියට යන්නෙහිය. බල්ලා එය අසා ශ්‍රමණ ගෞතමයන් මා දනී යැයි විපිළිසර වී බෙල්ල නමාගෙන ලිපේ අළු අතරෙහි ලැග්ගේය. මිනිස්සු ඔසවා සයනෙහි සතපවන්නට උත්සාහ කළත් නොහැකි වූහ. සුභ තෙමේ ඇවිත් කවරෙක් මේ බල්ලා සයනයෙන් ඉවත් කරන ලද්දේදැයි ඇසීය. මිනිස්සු කිසිවෙක් නෙවෙයි කියා ඒ විස්තරය කීහ. තරුණයා එය අසා මාගේ පියා බඹලොව උපන්නේය. තෝදෙය්‍ය නම් බල්ලෙක් නැත. ශ්‍රමණ ගෞතමයන් පියා බල්ලෙක් කරයි. මොහු යම්කිසිවක් කටට ආ පමණින් කියයි. කිපී බුදුරදුන්ට මුසාවාදයෙන් නිග්‍රහ කරනු කැමැත්තේ විහාරයට ගොස් ඒ ප්‍රවෘත්තිය ඇසීය.
බුදුරදුන් ඔහුට ද මෙසේ ම කියා වාද නොකිරිම පිණිස මෙසේ කීය. මාණවකය, නුඹගේ පියා විසින් නොකියන ලද ධනයක් ඇත් ද? භවත් ගෞතමය, ඇත. ලක්ෂයක් වටිනා රන් මාලය, ලක්ෂයක් වටිනා රන් මිරිවැඩිසගල, ලක්ෂයක් වටිනා රන් තැලිය. ලක්ෂයක් කහවණු ඇත. යව, ඒ බල්ලා දිය නැති කිරිබතින් කවා සයනයෙහි නංවා ටිකක් නිදිගත කල්හි අසව. සියල්ල නුඹට කියන්නේය. එකල්හි මොහු මාගේ පියා යැයි දැන ගනුව. මාණවකයා ඉදින් සැබෑ නම් ධනය ලබමි, නොවේනම් ශ්‍රමණ ගෞතමයන් මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමියි කාරණා දෙකකින් සතුටු වූයේ ගොස් එසේ කළේය. බල්ලා මොහු විසින් දැන ගත්තේ යැයි දැන බුං බුං යැයි බුරමින් ධනය නිධන් කළ තැනට ගොස් පයින් පොළොව හාරා සංඥාවක් දුන්නේය. තරුණයා ධනය ගෙන භවයෙන් වැසුණු මෙබඳු සියුම් ප්රතිසන්ධීන් ශ්‍රමණ ගෞතමයන්ට ප්රකටය. මේ තෙමේ ඒකාන්තයෙන් සර්වඥය යැයි බුදුරදුන් කෙරෙහි පැහැදුණු සිත් ඇත්තේ ප්‍රශ්න දහ හතරක් ඇසුවේය. මොහු අංගවිජ්ජා පාඨකයෙකි. එහෙයින් ඔහුට මෙබඳු සිතක් විය. මේ දහම් පඬුරු ගෙන ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න අසන්නෙමියි දෙවැනි ගමනෙන් යෙන භගවා තෙනුපසංකමීති ඔහු විසින් අසන ලද ප්‍රශ්න එක පහරින් ම පළමුව විසඳන්නේ කම්මස්සකාති යනාදිය කීය.
එහි කර්මය මොවුන්ට දායාදය යනු කම්මදායාදා නමි. කර්මය මොවුන්ට දායාදය යනු කම්මදායාදා නමි. කර්මය මොවුන්ට දායාදය භාණ්ඩයන්ය යන තේරුමයි. කර්මය මොවුන්ට කාරණාවය යනු කම්මයොනි නමි. කර්මය මොවුන්ට නෑදෑයෝය යනු කම්මබන්ධු නමි. කර්මය ඥාතීය යන තේරුමයි. කර්මය මොවුන්ට පිළිසරණය. පිහිට වෙයි යනු කම්මපටිසරණා නමි. යදිදං හීනපණීතතායාති යමෙක් මෙහි නුඹ පහත්ය. නුඹ උස්සය. නුඹ අල්පායුෂය. නුඹ දීර්ඝායුෂය. -පෙ- නුඹ නුවණ තැනැත්තෙකි. නුඹ නුවණ ඇත්තෙකි. මෙසේ උස් පහත් බව බෙදීම අනෙකෙක් විසින් නොකරයි. කර්මය ම මෙසේ සත්ත්වයන් බෙදයි යන තේරුමයි. තරුණයා කියන ලද්දෙහි තේරුම දැන නොගත්තේය. ඝන රෙදි පටකින් ඔහුගේ මුඛය බැඳ මිහිරි දෙයක් ඉදිරියේ තබන ලද්දාක් මෙන් විය. මෙතෙම මාන්නක්කාර පණ්ඩිතමානි අයෙකි. දමා බලයි. එකල ඔහුට ශ්‍රමණ ගෞතමයන් කුමක් කියයි ද? මම යමක් දනිමි ද එයම කියයි. මේ මානය නොවේවායි මානය බිඳුණු පිණිස බුදුරදුන් මුල පටන් අවබෝධ නොවන සේ කොට කියන්නෙමියි එයි. භවත් ගෞතමයනි, මම නොදනිමි. මට ප්‍රකට වන සේ විස්තර කොට කියවයි මාගෙන් ඉල්ලන්නේය. එකල ඔහු ඉල්ලු කළ මම කියන්නෙමියි. මෙසේ ඔහුට සාර්ථක වන්නේ යැයි අවබෝධ නොවන සේ කොට කීය.