ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් ලොමසකංගියභද්දේකරත්ත සූත්‍රය මෙසේ අසන ලදි. එහි ලොමසකංගීයොති යනු මේ අංග නම් තෙරුන් වහන්සේගේ ශරීරයේ ඊතල ආකාර ලෝම ඇති හෙයින් ලොමසකංගිය යැයි ප්‍රසිද්ධ විය. චන්‍දනො දෙවපුත්තොති මොහු කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි මහත් ධනය ඇති චන්දන නම් උපාසකයෙක් විය. තෙරුවන්ට සිව්පසයෙන් උපස්ථාන කොට දිව්‍ය ලෝකයෙහි උපන්නේ ය. පළමු නමින් ම චන්දන දේවපුත්‍රයා යන නමට ගියේය. පණ්ඩුකම්බලසිලායන්ති රතු කම්බිලි ගලෙහි. ඒ රතුකම්බිලිය දෑ සමන් මල් සමූහයකගේ පැහැය ඇති බැවින් පණ්ඩුකම්බලපිලාය යැයි කියයි.
කවරදාක එහි බුදුරදුන් වැඩි සිටියේ ද? බුද්ධත්වයෙන් හත්වන වර්ෂයෙහි සැවැත්නුවර ඇසළ පොහොයේ දී දෙළොස් යොදුන් පිරිස මැද යමාමහ පෙළහර කොට බැස ගණ්ඩබ්බ අඹගස මුල පණවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ දහම් දෙසීමෙන් මහජනයා මහත් දුකින් උදුරා බුදුවරු නම් යම්හෙයකින් පෙළහර කොට මිනිස් පථයෙහි නොවසත්. එහෙයින් ඒ ජනයා බලාසිටිය දී ම ත්‍රිපද වික්‍රමය කොට තව්තිසා භවනෙහි පරසතුගස මුල පඬුපුල් ගලෙහි වස් එළඹියේය. ඒ කාලයෙහි විසීය.
තත්‍ර භගවාති බුදුරදුන් එහි වන්නේ. බොහෝ සෙයින් දස දහසක් සක්වළින් රැස් වූ දෙවියන් විසින් පිරිවරණ ලද්දේ මව කාය සාක්‍ෂිකොට අභිධර්ම පිටකය දේශනා කරන්නේ ගැඹුරු වූ සියුම් වූ ත්‍රිලක්‍ෂණ සහිත වූ රූපාරූප පරිච්ඡේද කථාව අවබෝධ කරන්නට නොහැකි වූ දෙවියන්ට සංවේග ඉපදවීම පිණිස අතරතුර භද්දේකරත්තයෙහි උද්දේශය ද විභංගය ද දේශනා කළේය. එහි මේ දෙව්පුත් තෙමේ ඉගෙන ගන්නේ මේ ගාථා සමඟ විභංගය ඉගෙන ගත්තේය. දිව්‍ය පුත්‍රයා වනාහි ප්‍රමාද අධිෂ්ඨාන හෙයින් දිව්‍ය අරමුණු වලින් මඩිනු ලබන්නේ පිළිවෙළින් සුත්‍රය මුළා වූයේ ගාථා පමණක් දැරීය. එහෙයින් කීය. එවං ඛො අහං භික්‍ඛු ධාරෙමි හද්දෙකරත්තියො ගාථාති
උග්ගණ්හාහි ත්‍වන්ති ආදියෙහි නිශ්ශබ්දව හිඳගෙන අසමින් ඉගෙන ගනියි. වචනයෙන් සජ්ඣායනා කරන්නේ ඉගෙන ගත්තේ නමි. අනුන්ට කියවන්නේ දරයි නමි. ඉතිරිය ආනන්ද භද්දේකරත්තය හා සමානය.
ලොමසකංගියහද්දේකරත්ත සූත්‍ර වර්ණනාව නිමි.
චූළකම්මවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් සුභ සූත්‍රය මෙසේ අසන ලදි. එහි සුභොති ඔහු වනාහි ප්‍රසාද එළවන දැකුම්කළු වූයේ වෙයි. එහෙයින් ඔහුට ශරීරාවයවයන් හොඳ බැවින් සුභ යන නම විය. මාණවොති ඔහු තරුණ කාලයෙහි ව්‍යවහාර කළාහ. ඔහු මහළු කාලයේ ද ඒ ව්‍යවහාරයෙන් ම ව්‍යවහාර කරයි. තොදෙය්‍යපුත්තොති තෝදෙය්‍ය නම් පසේනදී රජුගේ පුරෝහිත බමුණාගේ පුතායි. සැවැත්නුවරට සමීපයෙහි තුදි නම් ගමක් ඇත. එයට අධිපති හෙයින් තෝදෙය්‍ය යන නමට ගියේය. අසූහත් කෝටියක් පමණ මහත් වස්තු ඇත්තෙකි. ඉතා ලෝභීය. දෙන්නාගේ වස්තුව ක්‍ෂය නොවීමක් නම් නැතැයි සිතා කිසිවෙකුට කිසිවක් නොදෙයි. මෙය කියන ලදි.
අඳුන් ක්‍ෂයවීමත් වේයන්ගේ රැස් කිරීමත් මී මැස්සන්ගේ එකතු කිරීමත් දැක පණ්ඩිතයා ගිහිගෙයි වසන්නේය.
මෙසේ නොදීම ම ඉගැන්වීය. ළඟ විහාරයෙහි වැඩ වසන බුදුරදුන්ට කැඳ ටිකක්වත් බත් හැන්දක්වත් නොදී ධන ලෝභයෙන් මැරී ඒ ගෙදර ම බල්ලෙක් ව උපන්නේ ය. සුභ තෙමේ ඒ බල්ලාට ඉතා ප්‍රියයි. තමා කන ආහාර ම කවයි. ඔසවා හොඳ සයනාසනවල ම සතපයි. එකල්හි බුදුරදුන් එක් දවසක් උදෑසන ලොව බලන්නේ ඒ බල්ලා දැක තෝදෙය්‍ය බමුණා ධන ලෝභයෙන් තමන්ගේ ගෙදර ම බල්ලෙක් ව උපන්නේ ය. අද මා සුභගේ ගෙට ගිය කල්හි මා දැක බල්ලා බුරන්නේ ය. එකල මම ඌට එක වචනයක්වත් කියන්නේ ය. ඌ ශ්‍රමණ ගෞතමයෝ මා හැඳින ගත්තේ යැයි දැන ගනියි. එසේ දැන ගොස් ලිප් බොක්කෙහි ලගින්නේ ය. ඒ කාරණයෙන් සුභට මා සමඟ එක් කථාසල්ලාපයක් වන්නේ ය. ඔහු බණ අසා සරණයන්හි පිහිටන්නේය. බල්ලා මැරී නරකයෙහි උපදින්නේ ය. මේ තරුණයා සරණයෙහි පිහිටන බව දැන බුදුරදුන් ඒ දවසෙහි සිරුර පිළිලැගුම් කොට තනිවම ගමට පිවිස මාණවකයා නික්මුණු කල්හි ඒ ගෙට පිඬු පිණිස වැඩියේය.
බල්ලා බුදුරදුන් දැක බුරමින් බුදුරදුන් ළඟට ගියේය. එයින් බුදුරදුන් ඌට මෙසේ කීය. තෝදෙය්‍ය, නුඹ පෙර ද මට භෝ භෝ යි නින්දා කොට බල්ලෙක් විය. දැන් ද බුරා අවීචියට යන්නෙහිය. බල්ලා එය අසා ශ්‍රමණ ගෞතමයන් මා දනී යැයි විපිළිසර වී බෙල්ල නමාගෙන ලිපේ අළු අතරෙහි ලැග්ගේය. මිනිස්සු ඔසවා සයනෙහි සතපවන්නට උත්සාහ කළත් නොහැකි වූහ. සුභ තෙමේ ඇවිත් කවරෙක් මේ බල්ලා සයනයෙන් ඉවත් කරන ලද්දේදැයි ඇසීය. මිනිස්සු කිසිවෙක් නෙවෙයි කියා ඒ විස්තරය කීහ. තරුණයා එය අසා මාගේ පියා බඹලොව උපන්නේය. තෝදෙය්‍ය නම් බල්ලෙක් නැත. ශ්‍රමණ ගෞතමයන් පියා බල්ලෙක් කරයි. මොහු යම්කිසිවක් කටට ආ පමණින් කියයි. කිපී බුදුරදුන්ට මුසාවාදයෙන් නිග්‍රහ කරනු කැමැත්තේ විහාරයට ගොස් ඒ ප්‍රවෘත්තිය ඇසීය.