ධාතුවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති යනු මා විසින් ධාතුවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි වාරිකන්ති ඉක්මණින් යන හැසිරීමය. සචෙ තෙ අගරූති ඉදින් නුඹට බැරෑරුම් නැති නම් අපහසු කිසිවක් නැත. සචෙ සො අනුජානාතීති භග්ගවයාට මෙබඳු සිතක් විය. පැවිද්දෝ නම් නොයෙක් අදහස් ඇත්තෝය. කෙනෙක් සමූහයා වෙත ඇලෙයි. කෙනෙක් තනිව සිටීමේ ඇලෙයි. ඉදින් ඔහු හුදකලාවෙහි ඇලෙන්නේ ය නම් ‘ඇවත නොපිවිසෙව මා විසින් ශාලාව ලබන ලද යැයි කියයි. මෙසේ ඇති කල්හි මම දෙදෙනාගේ විවාදය කරවන ලද්දේ වන්නෙමි. දුන්දෙය නම් දෙන ලද්දේ ම වටියි. කරන ලද්ද කරන ලද්දේම යැයි එහෙයින් කියන ලදි.
කුලපුත්තො ජාති කුලපුත්‍රයා ද ආචාර කුලපුත්‍රයා ද වෙයි. වාසුපගතො විසීමට පැමිණියේ. කුතො ආගන්‍වාති තක්‍ෂිලා නුවරින්,
එහි මේ පිළිවෙළ කථාවයි. මධ්‍යම දේශයෙහි රජගහනුවර බිම්බිසාර රජතුමා රාජ්‍ය කරවන කල්හි ප්‍රත්‍යන්තයෙහි තක්‍ෂිලා නුවර පුක්කුසාති නම් රජකෙනෙක් රාජ්‍ය කරවීය. එකල තක්‍ෂිලා නුවරින් බඩු ගෙන වෙළෙන්දෝ රජගහ නුවරට පැමිණියාහු පඬුරු ගෙන රජු හමුවූහ. රජතුමා ඔවුන් වැඳ සිටි කල්හි නුඹලා කොහේ වාසය කරන්නේදැයි ඇසීය. දේවයන් වහන්ස, තක්‍ෂිලා නුවර වාසීහුය. එකල රජතුමා ඔවුන්ගෙන් ජනපදවල නිරුපද්‍රිත බව සුභික්‍ෂිත බව ද නගරයන්හි ප්‍රවෘත්තීන් ද අසා නුඹලාගේ රජුගේ නම කුමක් දැයි ඇසීය. දේවයන් වහන්ස, පුක්කුසාති නම් වෙයි. ධාර්මික ද? එසේය, දේවයන් වහන්ස, ධාර්මිකයෙකි. සතර සංග්‍රහ වස්තුවෙන් ජනතාවට සංග්‍රහ කරයි. ලෝකයාගේ මව්පිය තනතුරෙහි සිටියේය. උකුලෙහි ඉන්නා දරුවා මෙන් ජනතාව සතුටු කරයි. කොපමණ වයස් වේද? එකල ඔහුගේ වයස කීහ. වයසින් බිම්බිසාර රජු හා සමාන වයස් විය. ඉක්බිතිව රජු ඔවුන්ට කීය. දරුවෙනි, නුඹලාගේ රජු ධාර්මික වෙයි. වයසින් ද මාගේ වයස් ප්‍රමාණය. නුඹලාගේ රජු මා හා මිත්‍ර කරන්නට හැකි වෙත් ද? දේවයන් වහන්ස, හැක්කෙමු. රජ තෙමේ ඔවුන්ට අයබදු හැර ගෙයක් දෙවා යව්. බඩු විකුණා යන කාලයෙහි මා දැක යව් යැයි කීය. ඔවුන් එසේ කොට යන කාලයෙහි රජු හමුවුහ. යව් නුඹලාගේ රජු මාගේ වචනයෙන් නැවත නැවත නිරෝගීකම විචාරා නුඹ වහන්සේ සමඟ මිතුරු බව කැමැති යැයි කියවයි කීය.
ඔවුහු යහපති යි පිළිතුරු දී ගොස් බඩු තැන්පත් කොට අනුභව කළ උදේ ආහාරය ඇත් රජු වෙත ගොස් වැන්දාහ. රජ තෙමේ සගයෙනි, නුඹලා මෙතෙක් කල් කොහි ගියේදැයි ඇසීය. ඔවුහු සියලු විස්තරය දැන්වූහ. රජතුමා හොඳය දරුවනි, නුඹලා නිසා මා මධ්‍යම දේශයෙහි රජු හා මිත්‍ර බව ලද්දෙමියි සතුටු විය. මෑත කාලයෙහි රජගහ නුවර වෙළෙන්දෝ තක්‍ෂිලාවට ගියාහ. ඔවුහු පඬුරු ගෙන පැමිණි කල්හි පුක්කුසාති රජතෙමේ කවර තැනකින් පැමිණියේදැයි අසා රජගහ නුවරින් යැයි අසා මාගේ මිත්‍රයාගේ නුවරින් නුඹලා ආවාහු ද? දේවයන් වහන්ස එසේය, මාගේ මිත්‍රයාගේ නිරෝගීකම කෙසේදැයි නිරෝගීබව අසා අද පටන් මාගේ මිත්‍රයාගේ නුවරින් පයින් හෝ කරත්තවලින් හෝ වෙළෙන්දෝ එත් ද? ඒ සියලු දෙනාටම මාගේ විජිතයට පැමිණි කාලයේ පටන් වසන තැන්හි ගෙවල් ද රාජ භාණ්ඩාගාරයෙන් ආහාර ද දෙත්වා. අයබදු හරීවා. කිසිදු උවදුරක් නොකරත්වායි බෙර හැසිරවීය. බිම්බිසාර රජ තෙමේ ද තමන්ගේ නුවර එසේ බෙර හැසිරවීය.