එයින් මෙසේ දස පාරමිතා පුරා තුසිත දිව්‍ය ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය. මෙසේ ලෝක විවරණය විය. මව්කුස වසන කල්හි මේ නම විය. ගෙහි වසන කල්හි මේ නම විය. මෙසේ මහා අභිනිෂ්ක්‍රමණයෙන් නික්මෙන්නේ මහත් වීර්ය කළේය. දුෂ්කරතා ක්‍රියා කොට මහ බෝ මැඩ පහරදීමක් නැති ආසනයෙහි සිටියේ සර්වඥතා ඥානය අවබෝධ කළේය. සර්වඥතා ඥානය අවබෝධ කරන්නහුට මෙසේ ලෝකය විවරණය විය. දෙවියන් සහිත ලෝකයෙහි මෙබඳු වෙනත් රත්නයක් නැත.
මේ ලෝකයෙහි හෝ පරලොව හෝ ස්වර්ගයෙහි හෝ යම්කිසි වස්තුවක් උතුම් රත්නයක් ඇත් ද ඒවා බුදුරදුන් හා සමාන නොවෙයි. මේ බුද්ධරත්නය ම උතුම්ය. මේ සත්‍යයෙන් යහපතක් ම වේවා.
මෙසේ එක් දේශයකින් බුදුගුණ ලියා දෙවනුව ධර්ම රත්නයට ස්තූති කරන්නේ බුදුරදුන්ගේ ධර්මය ස්වාක්ඛාතය -පෙ- නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුතුය. සතර සතිපට්ඨානය -පෙ- ආර්ය අෂ්ඨාංගික මාර්ගය යැයි බුදුරදුන් විසින් දේශනා කරන ලද ධර්මය නම් මෙබඳු සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් එක් දේශයකින් ලියා -
උතුම් බුදුරදුන් විසින් සියුම් වූ යම් ධර්මයක් ඒ ඒ තැන්වල දී වර්ණනා කළේ ද? ඒ ධර්මය ආනන්තරීය සමාධිය යැයි කීහ. ඒ සමාධිය හා සමාන සමාධියක් නොවෙයි. මේ ධර්ම රත්නයම උතුය. මේ සත්‍යයෙන් යහපතක්ම වේවා.
මෙසේ එක් දේශයකින් ධර්ම ගුණ ලියා එයින් තුන්වෙනි සංඝ රත්නය ස්තූති කරන්නේ බුදුරදුන්ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නය -පෙ- ලෝකයාට පුණ්‍ය ක්ෂේත්‍රයකි. කුල පුත්‍රයෝ නම් බුදුරදුන්ගේ ධර්ම කථා අසා ගිහි ගෙයින් නික්මී පැවිදි වෙත්. සමහරෙක් රජකම ද හැර පැවිදි වෙත්. සමහරෙක් යුව රජකම ද සමහරෙක් සෙනෙවි තනතුරු ආදිය ද හැර පැවිදි වෙත්. පැවිදි වී මේ පිළිවෙත් පුරත්. චූලසීල මධ්‍යමසීල මහාසීල ආදිය එක් දේශයකින් ලියා සදොර සංවරය ද සතිසම්පජඤ්ඤය ද සිව්පසෙහි සන්තෝසය ද භාවනාවෙහි ඇලීම ද නව වැදෑරුම් සෙනසුන් ද නීවරණ ප්‍රහීණ පරිකර්ම ධ්‍යාන අභිඥා තිස් අටක් කමටහන් යන මේවා කෙලෙස් ක්‍ෂය කිරීම දක්වා එක් දේශයකින් ලිවීය. ආනාපානසති කමටහන විස්තර වශයෙන් ලියා බුදුරදුන්ගේ ශ්‍රාවකසංඝයා නම් මෙබඳු ගුණයන්ගෙන් යුක්තය.
යම් අෂ්ඨාංගික පුද්ගලයෙක් ප්‍රශංසා කරන ලද්දේ ද ඔවුහු යුගල වශයෙන් හතරක් වෙත්. ඒ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ දක්‍ෂිණාර්හය. ඔවුන් දෙන ලද්ද මහත් ඵල වෙයි. මේ සංඝරත්නය උතුම්ය. මේ සත්‍යයෙන් යහපතක්ම වේවා.
මෙසේ එක් දේශයකින් සඟගුණ ලියා බුදුරදුන්ගේ අනුශාසනය මනාකොට දේශනා කරන ලදි. නෛර්යානිකය. ඉදින් මාගේ මිත්‍රයා හැකිනම් නික්ම පැවිදි වේවයි ලිවීය. ලියා රන්පට අකුලා සියුම් කම්බිලියකින් වෙලා කරඬුවක බහා ඒ කරඬුව රන් කරඬුවක ද රන් කරඬුව රිදී කරඬුවක ද රිදී කරඬුව මැණික් කරඬුවක ද, මැණික් කරඬුව එක් ප්‍රවාල එකක ද ප්‍රවාල එක ලෝහිතංකයක ද ලෝහිතංකය මසාරගල්ලයෙහි ද මසාරගල්ලය ඵලිතයෙහි ද ඵලිතය දන්තමය එකක ද දන්තමය එක රුවන් කරඬුවක් ද, රුවන් කරඬුව කලාල වලින් කරන ලද පෙට්ටියක ද එය සාර කරඬුවෙහි ද තැබීය.
නැවත සාර කරඬුව රන්කරඬුවකැයි පළමු ක්‍රමයෙන් ම ගෙන ගොස් වස්ත්‍ර වෙලා රාජ මුද්‍රිකාව ගස්වා ඇමතියන්ට අණ කළේය. මාගේ අණ පවතින ස්ථානයෙහි මාර්ගය සරසව් මඟුල් ඇතා සරසවා ඌගේ පිටෙහි ආසනයක් සාදා සේසත් ඔසවා නුවර වීදි නොයෙක් ආකාරයෙන් සරසා තම තමාගේ අනෙත් පළාත්වල මෙසේ පූජා කරන්නාහ. අභ්‍යන්තර රහස් දූතයෙක් යවා තමා සර්වාකාරයෙන් සැරසී බලසේනා පිරිවරා පඬුරු යවන්නෙමියි තමාගේ ප්‍රදේශයේ කෙළවරට ගොස් ඇමතියන්ට ප්‍රධාන හස්න දුන්නේය. දරුවනි, මාගේ මිත්‍ර පුක්කුසාති තෙමේ මේ පඬුර වැසුණේ අන්තඃපුර ස්ත්‍රීන් මැද විවෘත නොකර මහළට නැග භාරගනීවායි මෙසේ හස්න දී ප්‍රත්‍යන්ත දේශයට බුදුරදුන් වඩී යයි පසඟ පිහිටුවා වැඳ නැවතුණේය. අභ්‍යන්තර ආරක්‍ෂකයෝ ඒ ක්‍රමයෙන් මාර්ගය පිළියෙළ කොට පඬුරු පැමිණ වූහ.
පුක්කුස තෙමේ ද තමාගේ රාජ්‍ය සීමාවේ පටන් ඒ ක්‍රමයෙන් මාර්ගය පිළියෙළ කොට නුවර සරසවා පඩුරුවලට පෙර ගමන් කළේය. පඬුර තක්‍ෂිලාවට පැමිණෙන්නේ පොහෝ දවස ද පැමිණුනේය. පඬුර ගෙන ගිය ඇමතියා රජු පණිවිඩය දැන්වීය. රජු එය අසා පඬුර සමඟ පැමිණි අයට කළ යුතු වැඩ විචාරා පඬුර රැගෙන මහළට ගොස් මෙහි කිසිවෙක් නොපැමිණේවයි දොර රැකවල් කරවා සීමැඳුර හැර පඬුර උස් ආසනයක තබා තෙමේ පහත් ආසනයක හිඳ මුද්‍රාව බිඳ වස්ත්‍රය ඉවත් කොට කළාල පෙට්ටිය පටන් පිළිවෙළින් අරින්නේ අරටුවෙන් කළ කරඬුව දැක මෙසේ සිතීය. මහා ආරක්‍ෂාවකි. මෙය වෙන රත්නයක් නොවේ. ඒකාන්තයෙන් මධ්‍ය දේශයේ උපන් රත්නයක් යැයි ඇසිය යුත්තාහ. ඉක්බිතිව ඔහු කරඬුව හැර රාජ මුද්‍රාව බිඳ සියුම් කම්බිලිය දෙපැත්තෙන් අයින් කොට රන්පත්‍රය දැක්කේය.